මේ අලුත් අවුරුදු සමයයි; හිතවත්කම, මිත්‍රත්වය, ආදරය බෙදා හදා ගන්නා වසරේ සුන්දරම දීන කිහිපයයි. ආදරය, මිත්‍රත්වයට අමතරව විවිධ කෑම-බීම බෙදාහදා ගැනීමටද ගෙදරට එන අමුත්තන්ට රසවත් කෑම බීමවලින් සංග්‍රහ කිරීමටද මේ දිනවල බොහෝ දෙනෙක් පෙලඹෙති. වෙනදාට නිවෙසේ සාදන්නේ නැති කැවුම්, අතිරස, කේක් වැනි කෑම වර්ග සෑදීමට මෙසමයේදී ගෘහිණියන් තුළද ඇත්තේ නොමඳ ආශාවකි. මේ ආහාර වර්ගවල රස බැලීමට පුංචි දරුවන් මෙන්ම වයස්ගත වැඩිහිටියෝද බොහෝ කැමැත්තක් දක්වති.
එහෙත් අවුරුදු කෑම මේසය වෙනුවෙන් පිළියෙල වන මේ බොහෝ කෑම වර්ගවල ඇත්තේ සීනි, පිටි, ලුණු සහ තෙල්ය. දියවැඩියාව, අධිරුධිර පීඩනය, ආඝාතය වැනි බෝ නොවන රෝග රැසකට අත වනන්නේ සීනි, පිටි, ලුණු සහ තෙල්ය. මේ ආහාර වර්ග ඉහත සඳහන් කළ බෝ නොවන රෝග ඇති කිරීමට හේතු වේ. දැනටමත් මේ රෝගවලින් එකක් හෝ ඇත්නම්, එම රෝගි තත්ත්වය උත්සන්න වීමට හේතු වේ. අලුත් අවුරුදු සමය නිම වන විට ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වී ඇත්නම්, රුධිර පීඩනය වැඩි වී ඇත්නම්, ස්ථුල වී ඇත්නම් ඒ අවුරුදු සැමරීමෙන් පලක් නැත. ඒ ඉහත රෝගි තත්ත්වයන්ගෙන් ඔබ පීඩා විඳින විට එය ඔබේත්, ඔබේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේත් මානසික නීරෝගිභාවය නැති වීමට හේතු වන නිසාය.
2021 වසරේදී බෝ නොවන රෝගවලට හේතු වන අවදානම් සාධකවලට ගොදුරු වී ඇතිදැයි සෙවීමට සමීක්ෂණයක් සිදු කර ඇත. එහිදී හෙළි වී ඇති තොරතුරු අනුව වයස අවුරුදු 18 – 69 අතර වයසේ පසු වන පුරුෂයන්ගෙන් 30%ක් ද, ස්ත්‍රීන්ගෙන් 47.6%ක් ද බර වැඩි සහ තරබාරු ගණයට අයත් වූහ. 38%ක පිරිසකගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ ගොස් ඇත. රුධිර පීඩනය වැඩි වී ඇති පිරිස 54%කි. අධික බරෙන් යුතු දරුවන්ගේ සංඛ්‍යාව 10%කි. මේ තත්ත්වය ඔවුන් අතර දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ, අංසබාගය, ශ්වසන රෝග, වකුගඩු රෝග මෙන්ම පිළිකා වැනි රෝගි තත්ත්වයන් ඇති වීමට හේතු වන බවද පැහැදිලි වී ඇත. එම සමීක්ෂණයේදී පැහැදිලි වූයේ ලුණු, තෙල්, සීනි, භාවිතය වැඩිවීම ක්‍රියාශීලි නොවීම, මත්පැන් පානය, දුම් පානය ආදිය මේ තත්ත්වයට හේතු වී ඇති බවයි.
එසේ නම් අලුත් අවුරුදු සමයේදී අවුරුදු කැවිලිවල රස බැලීමට හැකියාවක් ඇත්තේම නැත්ද? නැත. එසේ විය යුතු නැත. ඒ සඳහා සරළ පිළයම් කිහිපයක් ඇත. අවුරුදු රසකැවිලි වෙනදාට වඩා කුඩාවට සකසා ගැනීම ඊට කදිම පිළියමකි. ලොකු කොණ්ඩා කැවුමක්, ලොකු අතිරසයක්, ලොකු අළුවා කෑල්ලක් වෙනුවට එම රස කැවිලි කුඩාවට සකසා ගැනීමෙන් එම කැවිලි ආහාරයට ගන්නා ප්‍රමාණය අඩු කරගත හැකි වනු ඇත. එසේම කෑම මේසයේ ඇති සෑම රස කැවිල්ලකම රස බැලීමට නොගොස් කැමතිම එක් රස කැවිල්ලක පමණක් රස බැලීමට සිත පාලනය කරගත යුතුය.
තේ, කෝපි පානය කිරීමේදී සීනි නැතිව ඒවා පානය කිරීමෙන් ශරීරගත වන සීනි ප්‍රමාණය අවම කරගත හැකිය. බත්, එළවළු, මාළු පිළියෙල කිරීමේදී ලුණු අඩුවෙන් පාවිච්චි කළ හැකිය. අධිකව සීනි යෙදූ අතුරුපස, අයිස්ක්‍රීම් ආදිය වෙනුවට පලතුරු කපා සීනි, ලුණු, උකු කිරි යොදා ගැනීමක් නැතිව පලතුරු සලාදයක් සේ සකසාගත හැකිය. එසේම කෘත්‍රිම පාන වර්ග වෙනුවට පිරිසුදු පලතුරුවලින් පිළියෙල කළ ලුණු, සීනි නොයෙදූ පලතුරු යුෂ වීදුරුවක් සාදාගත හැකිය. මෙලෙස ආහාර පාන පිළියෙල කරගැනීම තම පවුලේ උදවියටත්, අමුත්තන්ටත් ඉතා සුදුසුය.
මේ දිනවල දරුවන්ව ක්‍රියාශ්‍රීලි ක්‍රීඩා කටයුතුවලට යොමු කළ හැකිය. එය දරුවන් ගන්නා ආහාරවල ඇති තෙල්, සීනි, දහනය වීමට උපකාරි වේ.
විශේෂයෙන්ම දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ, අංසබාගය වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පවුලේ සාමාජිකයන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින්, ඔවුන්ගේ ආහාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත්ය.
එක් වේලකට පැණි රස ආහාර වේලක් ගන්නේ නම්, ඊළඟ ආහාර වේලට එළවළු, පලා වර්ග ඇතුළත් ආහාරයක් සකසාගත හැකිය. විවිධ රෝග තත්ත්වයන්ට ගොදුරු වූ සාමාජිකයන් තම පවුල තුළ සිටියද අවුරුද්දේ සතුට ඔවුන්ටද දිය යුතු නිසා උපක්‍රමශීලිව විවිධ ආහාර රස විඳීමට අවස්ථාව සලසා දෙන්න.
“මේ රසකැවිලි දියවැඩියාව තිබෙන අයට හොඳ නැහැ” යනුවෙන් පවසා ඔවුන්ගේ සිත රිදවන්නේ නැතිව, ඒ කැවිලි කුඩාවට සකසා ඔවුන්ටද ඒවා රස විඳීමට අවස්ථාව සලසා දෙන්න. එසේම, ඊළඟ ආහාර වේලට ඒ ආහාර ඇතුළත් නොකිරීමට වගබලා ගන්න.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන
එමෙන්ම ඔවුන් නිසි අයුරින් ඖෂධ ලබා ගන්නේ දැයි පරීක්ෂාකාරි වන්න. ජලය, තැඹිලි, බෙලිමල් වැනි ස්වාභාවික පාන වර්ග ගැනීමට නිතර පෙලඹෙන්න.
සීනි අධික ආහාරයක් කෑමෙන් පසුව තමන් දිනපතා ගන්නා ‘මෙට්ෆෝමින්’ වැනි ඖෂධයක මාත්‍රා දෙකක් පමණ එක්වර ගැනීමට ඇතැම්හු පෙලඹෙති. එසේම, ඉන්සියුලින් ඖෂධය වෙනදාට වඩා වැඩි ප්‍රමාණයක් ශරීරයට විදගැනීමට අයෙක් පෙලඹී සිටිති. ඊට අමතරව තෙල් අධික ආහාරයක් කෑමෙන් පසුව කොලොස්ටරෝල් පාලනයට ගන්නා ඖෂධ පෙති දෙකක් එක්වර ගැනීමටද ක්‍රියා කරති.
මෙලෙස වෛද්‍යවරයා නිර්දේශ කර ඇති ඖෂධ මාත්‍රවාට වඩා වැඩියෙන් ගැනීම ඉතාම නුසුදුසුය. වෛද්‍යවරයා එම ඖෂධ මාත්‍රාව තීරණය කරන්නේ බොහෝ කරුණු සොයා බැලීමෙන් පසුවය.
ඖෂධ මාත්‍රාව වැඩියෙන් ගත් විට ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය වෙනස් වේ. එය බෙහෙවින් ගැටලුකාරිය. එසේම තෙල් අධික ආහාරයක් කෑමෙන් පසුව උණුවතුර කෝප්පයක් බීමෙන් එම තෙල් අඩු වෙනවා යන්නද මිථ්‍යාවකි.
මේ අවබෝධය ඇතිව, උපක්‍රමශීලි වෙමින් අවුරුදු සමයේ ආහාර පිළියෙල කරගැනීමට සමත් වෙතොත් අලුත් අවුරුදු සමය ප්‍රීතිමත්ව ගත කිරීමට සැමටම අවස්ථාව සැලසෙනු ඇත.