වෘත්තීය ජීවිතය පුරා මට අලුත් අවුරුද්දට ගෙදර ඉන්න ලැබුණේ එක් වතාවකි. ඒ, මට රැකියාව අහිමි වන්නට හේතු සාදා දුන් කිහිප දෙනකුට පින් සිදු වන්නටය. අනෙක් සෑම අවුරුදු උදාවකදීම රට වටා අවුරුදු විස්තර කියන්නට කොහේ හෝ යන්නට සිදු විය; යටත් පිරිසෙන් කාර්යාලයේ හෝ රැඳී සිටින්නට සිදු විය.
අලුත් අවුරුදු උදාවේ රසවත්ම අත්දැකීම් මා ලැබුවේ, චීනයේ සේවය කළ වසර පහ තුළය. චීන අන්තර්ජාතික ගුවන්විදුලියේ සේවය කළ බොහෝ විදේශිකයන් කාර්යාලයට කැඳවා, හැකි පමණින් කිරිබත් ආදී කැවිලි පිළියෙල කොට අවුරුදු චාරිත්‍ර සිදු කිරීමට එවක අපි කටයුතු කළෙමු.
වතාවක් ගුවන්විදුලි සංස්ථාව විසින් මෙහෙයවන ලද ‘රට වටා අවුරුදු’ වැඩසටහනට මම චීනය එක් කළෙමි. සිංහල කතා කරන චීන ජාතිකයෝ, සිංහල ස්වදේශීය සේවය ඔස්සේ චීනයේ අලුත් අවුරුද්ද ගැන එදා කතා කළහ. ඔවුහු බුද්ධගජ්ජයෙන් කවි කීපයක් ද ගායනා කර පෙන්වූහ.
මේ අය කිසිවිටෙකත් ඔවුන්ගේ ඉපැරණි චාරිත්‍ර විවේචනය කරනවා මා අසා නැත.
මගේ චීන ජීවිතයේ ආරම්භක ගුරුවරයා වූ රවිමල්, මේ වන විට චීනයටම සින්න වී හමාරය. එය අපේ සුබ ප්‍රාර්ථනා සමඟ සිදුවූවකි. ඔහුට අනුව චීන ජාතිකයන් ස්වකීය සංස්කෘතික වටිනාකම්වලට වාණිජ වටිනාකම් එක් කරගෙන තිබේ. මා අත්විඳි චීන අවුරුදු උදා පහේදීම මම ඒ බව පසක් කරගත්තෙමි.
චීනයට අලුත් අවුරුදු උදාවන්නේ ජනවාරි අග හෝ පෙබරවාරි මුලදීය. ඒ, පෘථිවිය වටා හඳේ ගමන් චක්‍රය මතය. අපට අවුරුදු උදාවන්නේ අප්‍රේල් මාසයේය. ඒ හිරු වටා පෘථිවියේ ගමන් චක්‍රය මතය. අලුත් අවුරුදු ආහාරපාන, මහ පවුල එක්රැස් වීම, ඥාතීන් හමුව සහ සියලු කාර්යයන්හි නැවුම් බවක් ඇති කරගැනීම අප දෙගොල්ලන්ටම පොදුය.
“අපේ අවුරුදු උත්සවයෙන් පස්සෙ අපි හුඟක් වේලාවට බංකොලොත්…” රවිමල් කීවේය.
අවුරුදු උදා රාත්‍රියක මල් වෙඩි ඡායාරූපගත කිරීමට මට අවශ්‍ය විය. බෙයිජින් නගරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක බින්දුවටත් වඩා අඩුය. ඡායාරූප ගැනීමට අවශ්‍ය නිසා අත් ආවරණ ඉවත් කර තිබිණි. මගේ ඇඟිලි සියල්ල ගල් වී, කැමරාව දරාගත නොහැකි විය. අප චීන සහ ලංකා අවුරුදු උත්සව සසඳන්නට පටන් ගත්තේ, කැමරාව රවිමල් අතට දී අසල වූ බංකුවක වාඩිගත් මොහොතේය.
අපට කිරිබත් මෙන්, ඔවුන්ගේ ආහාරය වන්නේ ‘ජඕස’ ය. මධ්‍යම රාත්‍රී දොළහට සිදු වන අවුරුදු උදාව මහා මල් වෙඩි මංගල්‍යයකි. අවුරුදු සමය අවසන් වන්නේ, ලෝකයේ විචිත්‍රතම සැණකෙළියක් ලෙස පැවැත්වෙන පහන් කූඩු උත්සවයෙනි.
මේ කිසිවක් චීන ජාතිකයන්ට පමණක් සීමා වී නැත. ඒ සියල්ල විදේශ සංචාරකයන්ගේ ඉල්ලුමට සරිලන සේ සකස් කළ නවීකරණයන්ය. වෙන එකක් තබා, චීන ආදරවන්තයන්ගේ දිනය ද විදේශ වෙළෙඳපොළට විවෘත කර තිබේ. එයට පාදක වූ චීන ජන කතාවෙන් උපන්, ‘සඳ කැවුම්’ (Moon Cake) අන්තර්ජාතික වෙළෙඳපොළට සැකසෙයි.
චීන අවුරුද්ද ඇරඹෙන්නේ ‘පන්සල් සල්පිලෙනි’. අතීතයේ පන්සල් ආශ්‍රිතව ක්‍රියාත්මක වූ මේ සල්පිල වාර්තමානයේ උද්‍යාන ආශ්‍රිතව ක්‍රියාත්මක වෙයි. එය චීන නිෂ්පාදන ආර්ථිකයේ මංගල්‍යයකි. ලෝකයේ විශාලතම ආහාර සංස්කෘතිය ඇත්තේ චීනයටයි. එයට හේතුව වසර දොළහකට ආසන්න දීර්ඝ කාලයක් එහි පැවති දුර්භික්ෂයයි.
දුර්භික්‍ෂයෙන් පාඩම් ඉගෙන ගත් චීන ජාතිකයෝ ආහාරයට ගත හැකි බොහෝ දේ සොයාගත්හ. දැන් ඔවුන්ට ඕනෑ තරම් ආහාර තිබේ. එහෙත් ඔවුහු දුර්භික්‍ෂයෙන් පීඩා විඳ දිනාගත් ‘ආහාර සංස්කෘතිය’ විදේශිකයින්ට අලෙවි කරති.
චීනයේ අවුරුදු උදාව සැමරෙන්නේ එරට ආර්ථිකයට ඇතුළු කරන විටමින් එන්නතක් පරිද්දෙනි.
චීනය ඉපැරණි සිරිත්වලට වාණිජ වටිනාකම් එක් කරගත් ආකාරය අපූරුය. සෑම වසරකම ඒ වසරට හිමි සත්ත්වයෙක් සිටී. එය අපේ රාශි දොළහ වගේය. මීයා, ගොනා, හරකා, නයා, මකරා, කොටියා, හාවා, අශ්වයා, එළුවා, වඳුරා, බල්ලා සහ ඌරා ඒ සත්ත්වයෝය.
ඒ අනුව මෙවර උදා වූ වසර හිමිව ඇත්තේ නයාටය. චීනයේ සියලු සුබ පැතුම්පත්වල මෙවර ‘නයා’ය. අවුරුදු ඇඳුම්, අවුරුදු තෑගි දවටන මේ සියල්ලකම නයා දක්නට ලැබේ. තවත් බොහෝ තැන්වල නයා කැටයම් කෙරේ. එය මේ වසරෙන් අවසන් වෙයි. ලබන වසර හිමිවන්නේ අනෙක් සත්ත්වයාටය. සියල්ල වාණිජ නිෂ්පාදනයි.
“ලෝකේ නැකතට කෑම කන එකම රට අපි. අපට ඕක සුද්දන්ට මාකට් කරගන්න බැරි වුණානේ…”
“ඇත්තටම තරු පහේ සංචාරක හෝටල්වලට ඕක කරන්න පුළුවන්නෙ…”
“අලුත් අවුරුද්දෙ නැකතට කාපුවාම ආධ්‍යාත්මික බලයක් ලැබෙනවා කියලා ප්‍රචාරය කරන්න පුළුවන්. ආධ්‍යාත්මික බලය කියන එක සම්පූර්ණයෙන්ම මීඩියාවලින් හදන එකක්නෙ…”
“ඇත්තටම අපට පුළුවන් ටුවරිස්ට්ල කෝච්චියක නග්ගගෙන අවුරුදු නැකත් කරන්න එක්කගෙන යන්න. ලංකාව වටේ ඇවිදිමින් අවුරුදු කන්න. බැරිද ඒක මාකට් කරන්න…”
සීතලත්, මල්වෙඩි හඬත් අබිබවමින් රවිමල්ගේ හඬ මතුවෙයි.
“ඇත්තටම චීනගෙන් හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්.කොහේද! මෙහෙ එන එවුන් චීන මහා ප්‍රාකාරෙට නැඟලා, සිලි මාකට් එකෙන් බඩු අරගෙන ආපහු ගෙදර යනවා විතරනේ…”
ඒ කතාවේ ද සත්‍යයක් තිබේ.
අදහස් එන්නේ පිටරටවල සීතලට අතපය ගල් වුණාමය! ලංකාවට ආ විට අත-පය නිදහස් වුවද, මොළය ගල් වෙයි!