අලුත් අවුරුදු කියූ සැණින් බාල, තරුණ, මහලු කාගෙත් සිතට එන්නේ මුලින්ම අලුත්ම රෙදිපිළිය. මෙයට කලක ඉහත ලංකාවේ සෑම පළාතකම ජනතාව අලුත් අවුරුද්දට රෙදිපිළි ගන්න ආවේ පිටකොටුවටය. ඒ කාලේ පිටකොටුවේ රෙදිපිළි අලෙවිය කොතරම් සරුවට කෙරුණාදැයි කිවහොත් පිටකොටුවේ විශාල ප්‍රදේශයක් ආවරණය කෙරෙන පරිදි ‘ස්පීකර් සැට්’ ලයිට් කණුවල බැඳ දුරබැහැරින් එන ජනතාවට තම මුදල් පසුම්බි පරිස්සම් කරගන්නා ලෙස කිහිපවිටක් ප්‍රචාරය කරන්නට පොලීසියට සිදු විය.
“පිටකොටුවේ රෙදිපිළි මිල දී ගන්නට දුරබැහැර සිට පැමිණෙන පාරිභෝගිකයන්ට කෙරෙන නිවේදනයයි. කරුණාකර ඔබේ මුදල් පසුම්බිය ප්‍රවේසම් කරගන්න. එමෙන්ම වටිනා රත්‍රං ආභරණ පැලඳීමෙන් වළකින්න.”
එහෙත් පසු කලෙක මේ පිටකොටුවේ රෙදිපිළි අධිරාජ්‍යය බිඳවැටීමට ප්‍රධාන හේතුවක් වූයේ වාහන තදබදය හා වාහන නැවැත්වීමේ පහසුකම් නැති නිසා ගම් දනව්වල ජනතාව පිටකොටුවට ඒම ප්‍රතික්ෂේප කිරීමය.
පිටකොටුවේ අලුත් අවුරුදු රෙදිපිළි අධිරාජ්‍යයට මුලින්ම අභියෝග කළේ මහරගම පමුණුව රෙදිපිළි ව්‍යාපාරයයි. අද ව්‍යවහාරයේ පමුණුව වෙළෙඳපොළ කියා කිවුවාට පමුණුව හන්දිය ඇත්තේ මහරගම දුම්රියපොළේ සිට සෑහෙන දුරිනි. එහෙත් පමුණුවට යන පාරේ ඇති රෙදිපිළි වෙළෙඳසල් අන්තිමට පමුණුව වෙළෙඳපොළ බවට පරිවර්තනය විය.
කොළඹ පිටකොටුවේ රෙදිපිළි අධිරාජ්‍යයට ඊළඟට අභියෝග කරන ලද්දේ කිරිබත්ගොඩ නගරයේ රෙදිපිළි වෙළෙන්දන් විසිනි. ඊටත් පසු ප්‍රාදේශීයව නුගේගොඩ, හොරණ, මීගමුව, ගම්පහ ආදී ප්‍රධාන නගරවල රෙදිපිළි අධිරාජ්‍යයන් ගොඩනැඟීම මෙන්ම නුවර, මාතර, ගාල්ල, අනුරාධපුර, යාපනය ආදි ප්‍රධාන නගරවල රෙදිපිළි අධිරාජ්‍ය ගොඩනැඟීම නිසා ඔය හිතන තරම් පිටකොටුවේ රෙදිපිළි අධිරාජ්‍යයේ බිඳවැටීමක් සිදු වූයේ නැත. ඊට ප්‍රධාන හේතුවක් වූයේ ප්‍රධාන බස් නැවතුම්පොළ සහ ප්‍රධාන දුම්රිය ස්ථානය කොටුවේ පිහිටීමය. රටේ කොයි තැනක සිට අලුත් අවුරුද්දට තම ගම්බිම් බලා යන ජනතාව තම දරුවන්ට, බිරියට, අම්මාට, තාත්තාට හෝ හිත මිතුරාට තෑගි දෙන්නට රෙදිපිළි මිල දී ගන්නට තවමත් පිටකොටුවට එන්නේ මේ නිසාය.
පිටකොටුවේ ප්‍රධානම රෙදිපිළි අලෙවිසල ලෙස එදා වැජඹුණේ ‘ලෝක වෙළෙඳපොළ’ ය. ‘ලෝක වෙළෙඳපොළේ’ කරක්ගැසූ අපට අද අපේ සුපිරි රෙදිපිළිහල්වල දක්නට ලැබුණු නවීනතම විලාසිතා දැකගත හැකි විය.
“කොහොමද මේ ඊයේ ජනප්‍රියතම සුපර්මාකට් එකක තිබ්බ අලුත්ම ෆැෂන් දවස් දෙක තුනකින් වර්ල්ඩ් මාකට් එකේ තියෙන්නේ?” මම එහි වෙළෙන්දකුගෙන් අසා සිටියෙමි.
“ඔය ලොකු නම් තියෙන සුපර්මාකට්වලට එන අලුත් ඩිසයින් සමහර ඒවා සුපර්මාකට් එකටත් කලින් ඔත්තුව අපට එන්නේ සබ් ගාමන්ට් කන්ට්‍රැක්ට් ගත්ත කට්ටියගෙන්. ඔය ලොකු සුපර් මාකට්කාරයෝ රෙදි දීලා කෑලි ගාණට මස්සවාගන්නවා. අපිත් ඉතිං ඊට සමාන රෙදි අරන් වැඩේට සූදානම් වෙනවා. අපේ විකුණන ගාණ සුපර්මාකට් එකේ ගාණෙන් හතරෙන් එකක් විතර අඩුයි. මොකද අපිට ඒසී බිල්, ලක්ෂ ගණන් කඩ කුලී නැති නිසා.”
ඉන්පසු අප පිටකොටුවේ පැරණිතම රෙදිපිළි තොග වෙළෙන්දකු හමුවූයේ රෙදිපිළි අලෙවියේ අතීත තොරතුරු විමසා සිටීමටය.
“රෙදිපිළි ගන්න තාමත් පිටකොටුවට සෙනඟ එනවා. මොනවා වුණත් තාම රෙදිපිළි තොග මාකට් බසාර් එක තියෙන්නේ කොළඹ. දැන් පමුණුව මාකට් එකට මෙහෙනුත් බඩු ගන්නවා. පමුණුව මාකට් එකෙන් මෙහෙටත් බඩු එනවා බාටා සිස්ටම් (භාණ්ඩ හුවමාරුව) තාමත් නුගේගොඩ, කිරිබත්ගොඩ, නුවර, ගාල්ල, මාතර වාගේ හැම පළාතකටම රෙදිපිළි තොග වෙළෙඳාම කෙරෙන්නේ පිටකොටුව හරහා තමයි.”
කරුණු සෙවීමේදී අපට පෙනී ගියේ සියල්ල මෙහෙයවන්නේ වට්ස්අැප් මාර්ගයෙන් බවය. නුවර, ගාල්ල, මාතර, අනුරාධපුර රෙදිපිළි වෙළෙන්දා තම ඇණවුම පිටකොටුවේ තොග වෙළෙන්දාට යොමු කළ විට එය ඝනකම් ඇති ෆොයිල කඩදාසියේ ඔතා ඒවා අදාළ ප්‍රදේශයට යවන ‘ට්‍රාන්ස්පෝට් සර්විස්’ එකට භාර දෙයි. මෙය සාමාන්‍ය කුරියර් සේවාවකට සමානය. රත්නපුර ට්‍රාන්ස්පෝට්, නුවර ට්‍රාන්ස්පෝට්, ජැෆ්නා ට්‍රාන්ස්පෝට් ආදී ලෙස ඇති මේ ලොරි සේවාව අය කරන්නේ කෑලි ගානටය. භාණ්ඩ ලැබුණු පසු ඔන්ලයින් හෝ ගිණුමට මුදලින් මුදල් බැර කෙරේ. ඒ නිසා දැන් රෙදිපිළි තොග ගන්නට දුරබැහැර රෙදි වෙළෙන්දාට කොළඹ පැමිණ රස්තියාදු වන්නට අවශ්‍ය නැත.
පසුගිය මාර්තු 28 සිකුරාදා සහ 29 සෙනසුරාදා පිටකොටුවේ රෙදිපිළි සිල්ලර වෙළෙඳපොළ සෙනග සිටියේ අතුරුසිදුරු නැති වය. හවස් වරුවේ නොම්බි හැරීමෙන් පසු මුස්ලිම් ප්‍රජාවත් සිංහල-දෙමළ අවුරුද්දට රෙදි ගන්න කල් තියා සූදානම් වූ උදවියත් රෙදිපිළි තේරුවේ තරගයට මෙනි.
පිටකොටුවේ මේන් ස්ට්‍රීට් එකත් නොරිස් පාරත් යා කෙරෙන ප්‍රධාන වීදි කිහිපයකි. එය ආරම්භ වන්නේ මල්වත්ත පාරෙනි. ඉන්පසු පළමුවැනි හරස් වීදිය, දෙවැනි හරස් වීදිය, තෙවැනි හරස් වීදිය අතරින් රෙදිපිළි සඳහා නම් දැරූ වීදි දෙවැනි හා තෙවැනි හරස් වීදිය වේ. දෙවැනි හරස් වීදියේ ආරම්භයේ සිටම රෙදිපිළි මිල දී ගන්නට රොද බඳින පාරිභෝගිකයන්ගෙන් කිහිප දෙනකු කතාවට අල්ලාගත්තේ ඉතා අපහසුවෙනි.
හරස් වීදිය ආරම්භයේ නැවතත් අප රෙදිපිළි අලෙවිකරුවන් සොයා ගියේ පසුගිය බ්‍රහස්පතින්දාය. දෙවැනි හරස් වීදිය ආරම්භයේම සාරි අලෙවියේ නියුතු වන්නේ මහේෂ්ය.
“අවුරුද්දට සාරි මිලදී ගන්නේ ගොඩක් වේලාවට අම්මාට, බිරියට, හිතවතියකට තෑගි දෙන්න තමයි. ෆෝන් එකේ තියෙන සාරි ඩිසයින් එක තියෙනව ද අහනවා. මුළු මේන් ස්ට්‍රීට් එකේම සාරි කඩ පෙරළලා හෙවුවා, මෙතැන විතරයි තිබුණේ කියලා ගාණ අහනවා. ගාණ කිවුවම හරිද කියලා අහනවා. මොකද අපි පොඩි ගණන් තියල තමයි විකුණන්නේ. සමහර ගවුම් රෙදි, චීත්ත ගන්න ආපු අය තෑගි දෙන්න කියල සාරි දෙක තුන ගෙනියනවා.”
ඊට පසු අපට හමු වුණේ ෆයිරූස්ය. ඔහු අලෙවි කළේ සුදු බැනියම්, සුදු සරම් වැනි සිංහල, දෙමළ, මුස්ලිම් කාටත් අවුරුද්දට අවශ්‍ය රෙදිපිළිය.
“මම දැන් අවුරුදු 20ක් පේමට් බිස්නස් කරනවා. ගිය පාරට වඩා මේ පාර බඩු මිල අඩු වුණා. රුපියල් පන්සියයට තිබ්බ බැනියම් මේ සැරේ තුන්සියයි. රුපියල් හාරසීයටත් සරම් තියෙනවා. වැඩි ගණන් කිවුවොත් මිනිස්සු බඩු ගන්නේ නැහැ. පළමුවෙනි සැරේම ගාණ අඩු කරලා කියනවා. නැත් නම් ගාණ අහල බලල පස්සේ එන්නම් කියලා යනවා ගියාමයි ආෙයමත් එන්නේ නැහැ.”
සිංහල අවුරුද්දට නියමිත වර්ණයෙන් සරමක් හෝ අත් කොට කමිසයක් ඇඳීම ඇතැමුන්ගේ පුරුද්දය. සමහර තරුණයන් හා තරුණියන් ඩෙනිම් කලිසමක් ඇඳ නියමිත වර්ණයට ටී ෂර්ට් එකක් හෝ අත්කොට කමීසයක් හැඳීම සිරිතය. ජයනාත් පිටකොටුවේ ඩෙනිම් කලිසම් අලෙවියේ නියුතු වන්නේ වසර 25ක සිටය.
“මේ ලේඩීස් නැතිනම් ජෙන්ට්ස් ඩෙනිමක් මුල්ම කාලේ වික්කේ රුපියල් 1000කට. දැන් නම් රුපියල් 2500 – 2700 අතර තමයි විකුණන්නේ. කඩවල මේ ඩෙනිම 7000 පනිනවා. සමහර අය ඩෙනිම් අරන් යන්නේ කොට්ට පොර තරගවලට, නැතිනම් ග්‍රීස් ගහේ නඟින්න. ඩෙනිම්වලට ජාති භේදයක් නැහැනේ. සිංහල, මුස්ලිම්, දෙමළ ඕනෑම කෙනෙක් අඳිනවා.”
ජයනාත්ගේ ඩෙනිම් තට්ටුව ළඟ තිබුණේ අරුමෝසම් විලාසිතා අසුරන ලද තට්ටුවකි. එහි විශේෂයෙන් තරුණියන් ආභරණ තෝරන්නේ පොරකමිනි. ඒ බොහෝ ආභරණවල අලුත් අවුරුදු උදාවක් ගැන සංකේතාත්මක බවක් පෙනෙන්න තිබුණේ බොහෝ ආභරණවල නව වසරේ මුද්‍රාව වූ හිරු උදාව දකින්නට ලැබුණු බැවිනි.
සිංහල අවුරුද්දට බතික් සරමට හා බතික් හැට්ටයට, බතික් රෙද්දට, බතික් ගවුමට ඇත්තේ දැඩි ඉල්ලුමකි. තෙවැනි හරස් වීදියේ සරම් වෙළෙන්දන් කිහිප දෙනකුගෙන්ම ඇසූවිට හින්නි අයියා හමු වන ලෙස අපට පිළිතුරු ලැබිණි. අවසානයේ බතික් සරම්, ගවුම්, හැට්ට වටකොටගෙන සිටි හින්නි අයියා අපට සොයාගත හැකි විය.
“ආ හින්නි අයියා! කොහොමද අප්පේ මේ සැරේ අවුරුදු බිස්නස්?” මම අසා සිටියෙමි.”
“කොහොමද මගේ නම දන්නේ? හින්නි අයියා කිවුවාට මගේ නියම නම පද්මසිරි.”
හින්නි අයියාගේ බතික් එකතුවේ තරුණියන්ට බතික් සාරි, රෙද්ද හැට්ට එල්ලා තිබිණි. පිරිමින්ට බතික් සරම්, අවුරුදු ෂර්ට් අප බලා සිටියදීම තුන හතරක් අලෙවි වූයේ උණු උණුවේය.
“සාමාන්‍ය රෙදි ඩිසයින් වගේ නෙමෙයි, බතික් ඩිසයින්. දවසෙන් දවස අලුත් ඩිසයින්. මේ සැරේනම් බිස්නස් වැඩියි වගේ. මොකද සිංහල අවුරුද්දයි, මුස්ලිම්, දෙමළ අවුරුද්දයි ඔක්කෝම එකට ආවනේ.”
බතික් සරමක මිල වූයේ රුපියල් 500 – 950 දක්වාය. අවුරුදු බතික් ෂර්ට් එකක මිල වූයේ රුපියල් 1,600 සිටය. අවුරුද්ද සිහියට නැඟෙන ඉර උදාව හා කොවුලා හඬ දෙන බතික් සාරි මිල වූයේ රුපියල් 3000 සිට මිල ගණන්වලටය.
චීත්තවලට තවමත් ඉල්ලුමක් ඇති බව අපට පෙනී ගියේ පිටකොටුවේදීමය. ඉස්සර මැතිනියගේ යුගයේ ලංකාවේ නිෂ්පාදන කළ චිත්තවලට එල්ල වූ ලොකුම චෝදනාව වූයේ භූමිතෙල් ගඳ චීත්ත කියාය. චීත්ත විකුණන තැනට කිට්ටු වී චිත්ත රෙද්දක් නහයට ළං කර සුවඳ බැලීමි.
“මොකද මහත්තයෝ? ඕවා ඔක්කෝම චයිනීස්. මේවා චීත්තවලට වගේම ගවුම් මහන්නත් ගන්නවා; බ්ලවුස්වලට ගන්නවා. චීත්ත යාරේ රුපියල් 250යි. යාර දෙක හමාරක් එක්කෙනකුට ඕනැ. යාරයක් රුපියල් 250යි. තව ටිකයි තියෙන්නේ. මේ සැරේ බලං ඉන්නකොට බඩු ඉවර වෙනවා! වැස්සට කලින් චීත්ත රෙදි ටික විකුණන්න ඕනැ. වැස්සට තෙමුණොත් චීත්ත රෙදි පුස් අල්ලනවා.”
මේ පිටකොටුවේ රෙදිපිළි වෙළෙඳපොළකින් යන විට අපට දීර්ඝ කාලයක් රෙදිපිළි වෙළෙඳාමේ නියුතු ජයවීර හමු විය. ජයවීර පේමන්ට් බිස්නස් එක පටන් ගත්තේ මීට වසර 52කට පෙර එනම් 1973දීය.
“මේ පේමන්ට් එකේ බිස්නස් කරන්න ගිහින් සමහර දවසට පස් සැරේ පොලීසියෙන් අල්ලන් ගිහින් තියෙනවා. රිමාන්ඩ් එකේ ලැගලා තියෙනවා. මාත් එක්ක බිස්නස් පටන්ගත්ත සමහරු අද කෝටිපතියන් වෙලා ඉන්නවා. ඔය දාස මුදලාලි, සව්සිරි මුදලාලි වුණත් පේමන්ට් එකේ බිස්නස් පටන් ගත්ත අය.”
“කොහොමද මේ සැරේ අවුරුදු බිස්නස්?” මම අසා සිටියෙමි.
“රාමසාන් එකට නම් හොඳට බිස්නස් තිබුණා. සිංහල අවුරුද්ද තාම පටන් ගත්තා විතරයි. මේ සැරේ නම් හොඳට බිස්නස් තියෙයි. අවුරුද්ද දවසෙත් අපි පේමන්ට් එකේ තමයි ඉන්නේ. අවුරුදු නැකතට පේමන්ට් එකේ කිරි උතුරවල තමයි ගෙදර යන්නේ.”
කොතරම් සුපිරි රෙදිපිළි වෙළෙඳසල් තිබුණත්, ගමේ යන බොහෝ උදවියගේ තේරීම වන්නේ මේ පදික වේදිකාවේ රෙදිපිළි වෙෙළඳුන්ය. සමහරුන් වසර ගණනාවක් තිස්සේ නව වසරට රෙදිපිළි මිල දී ගන්නේ මේ සුපුරුදු වීදි වෙළෙන්දන්ගෙනි. මේ පාරිභෝගිකයන් හා වෙළෙන්දන් අතර කොතරම් සම්බන්ධයක් තිබේදැයි කිවහොත් ඇතැමුන් රෙදිපිළි අරන් ගියේ දින කිහිපයකින් ‘බෝනස්’ ලැබෙන දිනයට ගනුදෙනු බේරන පොරොන්දුවෙනි. මෙවැනි ගනුදෙනු දුටු විට අපට ඒත්තු ගියේ සිංහල අවුරුද්දට පෙරම අපේ උදවිය ‘ගනුදෙනු’ කරන්න පටන් ගෙන ඇත කියාය.