මෙරට ආකර්ෂණීය වෙරළබඩ නගරයකි; අම්බලන්ගොඩ. ඒ, එම ප්‍රදේශයටම ආවේණික සංස්කෘතික උරුමයන් රැසකින් ද මේ නගරය සමන්විත නිසාමය. කොළඹ සිට කිලෝමීටර් 85ක් දකුණින් පිහිටි මේ ප්‍රදේශයේ වර්ග කිලෝමීටර 17ක් පමණ දුරකට නගරය විහිදෙයි. ඓතිහාසික වැදගත්කමින් සහ නවීන සංවර්ධනය නිසා මේ ප්‍රදේශය තව තවත් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇත. සාම්ප්‍රදායික වෙස් මුහුණු සෑදීම සහ විචිත්‍රවත් උත්සව සහ රූකඩ සඳහා ප්‍රසිද්ධය. අම්බලන්ගොඩ රන්වන් වැලි සහිත වෙරළ තීරයන් සහිත සුන්දර වෙරළබඩ පරිසරය සංචාරක ආකර්ෂණයට තවත් හේතු වෙයි.
අම්බලන්ගොඩ වෙරළ තීරය, එහි සංස්කෘතිකාංග සංචාරකයන්ගේ වඩා වැඩි ආකර්ෂණයන් දිනාගෙන ඇත. මෙහි පසෙකින් අභය භූමියකි. එම ප්‍රදේශය සංචාරකයන්ට ගමනාන්තයකි. එහෙත් අම්බලන්ගොඩ සුන්දර පරිසරය තරම් එහි සාම්ප්‍රදායික කර්මාන්තවල යෙදෙන මිනිසුන්ගේ ජීවිත සුන්දර නැත. සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් අම්බලන්ගොඩ මාදම්පා ගඟ අසබඩ පරිසරය දර්ශනීය කඩොලාන සහිත ජෛව විවිධත්වයක් ඇති තෙත් භූමියක් වීම නිසා මාදම්පා පරිසරයේ සුන්දරත්වය වැඩි කරයි. මේ ගඟේ සුන්දරත්වය මෙන්ම දුටුවන් විස්මයට පත් කරන තවත් සුවිශේෂ කරුණක් වෙයි. එනම් මාදම්පා ගඟේ මේ එගොඩ සිට මොගොඩට යන සංචාරකයන්ට සුවිශේෂී දසුනක් දැකගැනීමට හැකිය. ඒ සංචාරකයන්ට මාදම්පා ගඟේ බෝට්ටු පහසුකම් සපයන සුජීවා දමයන්තිය.
සංචාරකයන්ට සුජීවාගේ බෝට්ටුවට ගොඩ විය හැකිය. මේ වෙනස් අත්දැකීම විඳ ගැනීමට බොහෝ සංචාරකයන් ගොඩවන්නේ සුජීවාගේ බෝට්ටුවට වීම සුවිශේෂීත්වයකි. ඇගේ දෑත් සියුමැලි වුවද හිත සවිමත්ය. වසරක් පසා මෙරටට පැමිණෙන සංචාරකයන් ඇයට හුරුපුරුදුය. මාදම්පා ගඟේ සංචාරක බෝට්ටු සේවයක් පවත්වා ගෙන යන බෝට්ටු පදවන කාන්තාව ලෙස සුජීවා අම්බලන්ගොඩ ප්‍රදේශයේ මෙන්ම විදේශිකයන් අතරද මේ වන විට ප්‍රසිද්ධය. මෙවන් පරිසරයක් කෙරෙහි සංචාරක ආකර්ෂණය යොමුකර, එය මාදම්පා ගඟ අසබඩ සිටින බොහෝ දෙනෙකුට ආදායම් මාර්ගයක් බවට ද මාදම්පා ගඟේ බෝට්ටු සංචාරය නිසා ඉවහල් වී ඇත. මේ වන විට මෙම මාදම්පා ගගේ ඉවුරු අසබඩ සංචාරක නිකේතන රාශියක් ඉදි වී ඇත. එහෙයින්ම ඇයට එගොඩ මෙගොඩ ගෙන යාමට සංචාරකයන් විශාල ප්‍රමාණයක් දිනපතා පැමිණෙයි.
මාදම්පා ඟගේ සංචාරක බෝට්ටු සේවයක් පවත්වන සුජීවා දමයන්ති දරුවන් තිදෙනෙකුගේ මවකි. ඇයට පුතුන් දෙදෙනෙක් සහ දියණියකි. සැමියා නමින් දිලිප් චන්ද්‍රයි. ඔහුද එම සංචාරක බෝට්ටු සේවය හා සම්බන්ධ වි සිටී.
“මගේ ගම කරන්දෙනියේ උණගස්වල. මම උණගස්වල කනිෂ්ඨ විද්‍යාලයේ පස් වන වසර දක්වා ඉගෙනුම ලැබුවා. ඉන් පසුව කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වුණා. අපේ අම්මයි තාත්තයි රැකියාව ලෙස කළේ කුරුඳු තැළීම. මමත් ඒ කාලේ ඒ අය එක්ක කුරුඳු තැළුවා. පාසල් කාලයෙන් පසුව දිලිප් මුණගැසුණා. ඔහු සමඟ විවාහ වී පසු කලෙක අපි විදේශගත වුණ. මම ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ ජීවිත ආරක්ෂක පුහුණුව ලබා තියෙනවා. ඩුබායිවල ජීවිත ආරක්ෂක රැකියාවක් කළා. ඉන්පසුව කුවේට්, සිංගප්පූරු, ලෙබනන් රටවලත් රැකියාව කළා. පස්සේ ලංකාවට ඇවිත් මගේ ස්වාමිපුරුෂයා සමඟ මාදම්පා ගඟේ සංචාරක බෝට්ටු සේවයක් පටන් ගත්තා. ඒ කාලේ වෙනකොට මාදම්පා ගඟේ කවුරුවත් බෝට්ටු සේවයක් ආරම්භ කර තිබුණේ නෑ. අපි ඌරවත්ත පාලම අසල කොඩි ගහගෙන සංචාරකයන් දැනුම්වත් කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික සංචාරකයෝ ආවා. අපේ බෝට්ටු සේවයද දිනෙන් දින දියුණු වුණා. නමුත් මට බෝට්ටු පැදීමේ හැකියාවක් තිබුණේ නෑ. අපේ බෝට්ටු පදවන කීප දෙනෙක් හිටියා. ඒ වන විට කොරෝනා වසංගතය රටේම පැතිරුණා. වරින්වර රටද වැහුණා. අපේ ව්‍යාපාරය අඩාළ වුණා. අප යටතේ සේවය කළ අයද ඉවත්ව ගියා. ටික කාලයකට පසුව ආයෙත් රට යථා තත්ත්වයට පත්වුණා. විදෙස් සංචාරකයන් නැවත එන්න පටන් ගත්තා. අපගේ සේවක පිරිස ඉවත්ව ගොස් ඇති නිසා මගේ මහත්තයට තමයි බෝට්ටු පැදවීමේ රාජකාරිය කරන්න වුණේ. ඔහු ඒ නිසා දැඩි වෙහෙසට පත්වුණා. මට හිතුණා බෝට්ටු පදවන්න මටත් උදවු කරන්න පුළුවන්නම් හොඳයි කියලා. ඒ වන විට අපේ ලොකු පුතාත් බෝට්ටු පදවනවා. ලොකු පුතයි මගේ මහත්තයයි තමයි මට මේ බෝට්ටු පැදවීම පුරුදු කළේ. මුලින් නම් බය හිතුණා. පස්සේ මට හොඳට බෝට්ටු පදවන්න හැකි වුණා. මගේ දුව ඒ කාලයේ පොඩියි. මම කළේ ඒ දුව බේබි බෑග් එකක තියාගෙන බෝට්ටු පැද්ද එකයි. ඒ කාලේ අපිට නොයෙක් දුෂ්කරතා තිබුණා. ඒ දුෂ්කරතා මැඬගෙන අපි ඉදිරියට ආවා. දැන්නම් අපට බෝට්ටු පහක් විතර තියෙනවා. අපි පරිසරයට සහ රටට ආදරෙයි. ඒ නිසා මම සහ මගේ ස්වාමිෂුරුෂයා හුඟාක් හොඳින් සංචාරකයන්ට සලකනවා. ඒ අය ආකාර්ෂණය කරගැනීමයි අපේ අවශ්‍යතාවය.“ යැයි සුජීවා පැවසුවාය.