හෙටින් උදා වන අලුත් අවුරුද්ද පිළිගැනීමට දකුණේ සහ ඌවේ ඇත්තෝද සූදානමින් සිටිති. දකුණේද අලුත් අවුරුද්ද හා බැඳී පවතින චාරිත්‍ර වාරිත්‍ර රැසකි. එහිදී කෘෂිකාර්මික කටයුතු හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර, ආගමික විශ්වාස ප්‍රධාන වේ.
ඒ අනුව අලුත් අවුරුදු සමය ආරම්භයත් සමඟ වැඩි වැඩ කොටසක් වෙන් වන්නේ ගෘහිණියන්ටය. එහිදී ඔවුහු අලුත් අවුරුදු උදාවට සතියකට මත්තෙන් සිට නිවාස සෝදා පිරිසුදු කර, නිවෙස් අලුත්වැඩයා කර, අලුත් අවුරුදු උදාව පිළිගන්නට සැරසෙති. මෙය ඇතැම් ගැමියන් විසින් ‘කුණු මුත්තා පිදීම’ ලෙස සලකනු ලබයි. අලුත් අවුරුදු නැකතට ළිප ගිනි මෙළවීමෙන් වසරේ සියලු කටයුතු ආරම්භ කරති. ඒ අනුව ළිප ගොම-මැටි ගා පිරිසුදු කර අලුත් අවුරුදු නැකතට පළමුව ළිප ගිනි මොළවා කිරිබතක් පිස ගැනීම අනිවාර්යයෙන්ම දකුණේ ගෘහිණියන් විසින් සිදු කරනු ලබන චාරිත්‍රයකි. එය අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව සිදු කරනු ලැබේ. අතීතයේ පටන් අදටත් දකුණේ ගෘහිණියන් විසින් අවුරුදු කිරිබත පිසීම සඳහා සිය අස්වැන්නෙන් වෙන්කරගත් අලුත් සහල් යොදා ගැනිම සිරිතකි. නැකතට පිසගත් ආහාරය ආහාර අනුභව නැකත උදා වූ පසු එහි පළමු කොටස අවුරුදු කුමාරයාට පිදීම දකුණේ තවත් සිරිතකි. මේ චාරිත්‍රය විවිධ පළාත් අනුව විවිධ අයුරින් සිදු කරනු ලැබේ. මෙය නිවෙසේ පියා විසින් දරුවන් සමඟ එක්ව සිදු කරනු ලැබේ. එහිදී පිසගත් කිරිබත් හා කැවුම් සූරිය කොළ ආධාරයෙන් සකසා ගත් ගොටුවලට දමා, නිවෙසින් එළියේ නැඟෙනහිර දිසාවේ උස් ස්ථානයක තබනු ලැබේ. මෙය අවුරුදු කුමාරයා පිළිගැනීම ලෙසද සැලකේ.
අනතුරුව වසර පුරා නිවෙසට ජලය දුන් ළිඳ හා ගනුදෙනු කිරීමද අනිවාර්ය චාරිත්‍රයකි. එහිදී අඟුරු කැබැල්ලක්, කාසියක් හා මල් කිහිපයක් දමා සකස් කරන ලද පොට්ටනියක් පළමුව ළිඳට දමා ළිඳට වැඳ, ස්තුති කර, ඉන් පසු ළිඳෙන් වතුර කළයක් ගනු ලැබේ. එලෙස ගනු ලබන වතුර කළයෙන් වතුර ටිකක් බෝතලයකට දමා, එය එළඹෙන වසර දක්වා නිවෙස තුළ තබාගැනීම සිරිතකි. ඉන් පසු ‘ගේ අලෙයි කිරීම’ සඳහා නිවෙසින් බැහැර කෙනකුට පෙර තියාම කරනු ලබන ආරාධනයකට අනුව ඔහු විසින් නිවෙසට පැමිණ ගන්දෙනුු කරනු ලබයි.
අලුත් අවුරුදු කාලයේ තිස්සමහාරාමය ඇතුළු දකුණේ බොහෝ පෙදෙස්හි නිවාසවල විවිධ කැවිලි පෙවිලි නිවෙස් තුළ සකස් කරනු ලබයි. එලෙස සකස් කරනු ලබන කැවිලි අතර පැණි පුරවා සකස් කරන පැණි කැවුම් සඳහා හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. මෙය පැරණි වැඩිහිටි කාන්තාවන් විසින් අපූරුවට සකස් කරනු ලබන ප්‍රණීත කැවිල්ලකි.
නිවෙස් තුළ කැවිලි පෙවිලි වැඩි වීම නිසා කෝදුරුවන්ද වැඩි වශයෙන් නිවෙස් තුළ දැකිය හැකිය. මේ නිසා දකුණේ ගැමියන් විසින් කැවුම් සකස් කිරීමේදී සකසන පළමු කැවුම ‘කෝඳුරු කැවුම’ ලෙස නම් කර, එය නිවෙසින් පිටත ස්ථානයක වෙනම එල්ලා තබනු ලබයි. ඒ මඟින් නිවෙසේ පැණි රස කැවිලිවලට එන කොඳුරුවන් අඩු වන බවට විශ්වාසයක් පවතී. මීට අමතරව අවුරුදු උදාවෙන් පසු ඒ ඒ ගම්වල කඩමණ්ඩි අසල තැන තැන දාදුකැට ගැසීම් හා පංචා දැමීම ඉතා ඉහළින් සිදු වන්නකි. ඒ සඳහා කාන්තා, ළමා වැඩිහිටි සියලු දෙනා එක්වෙති.
සුබ නැකතට අලුත් අවුරුදු දිනයේ ආහාර අනුභව කොට ගනුදෙනු කිරීමෙන් පසුව ගෘහ මුලිකයා විසින් ළිඳ සමග ගනුදෙනු කරනු ලබයි. ඒ අනුව පිරිසිදු සුදු පැහැති රෙදි කැබැල්ලක් ගෙන වියලි මිරිස් කරලක් සහ ලුනු කැට කීපයක් එම රෙදි කැබැල්ලේ ගැට ගසා කුඩා පොට්ටනියක් සකසා එම පොට්ටනිය ගෙවත්තේ පිහිටි ළිඳට දමනු ලැබේ. අනතුරුව එම ළිඳෙන් ගත් නැවුම් වතුරෙන් බෝතලයක් පුරවා එම වතුර බෝතලය නිවසට ගෙනවිත් ආරක්ෂාකාරි තැනක තැන්පත් කරනු ලැබේ.
පුරා වසරක් තිස්සේ එසේ තැන්පත් කර තැබු වතුර බෝතලය ඊළඟ සිංහල අලුත් අවුරුදු දිනයේ ආහාර අනුභව කොට ගනුදෙනු කිරීමෙන් පසුව එළියට ගෙන එහි තිබූ වතුර ඉවතට දමා අලුත් වතුර බෝතලයක් පුරවා නිවසේ තැන්පත් කිරීම ළිඳ සමඟ ගනුදෙනු කිරීම සිදු කෙරේ.