බක් මාසය උදා වීම සලකුණු කරන්නේ කොවුල් නාදයත් සමඟිනි. ගස්වැල්වල කොළ හැලී, අලුත් කොළ දලුලා වැඩෙමින් පරිසරයට අලුත් නැවුම් බවක් එක් කරන්නේද උදා වන සිංහල අලුත් අවුරුද්දට ආශීර්වාදය එකතු කරන්නාක් මෙනි. කන්ද උඩරට ඇත්තෝ ඈත අතීතයේ පටන්ම සිංහල අලුත් අවුරුද්ද සහ බැඳුණු ප්‍රධාන චාරිත්‍රයක් හැටියට දළදා වහන්සේ වැඳපුදා අවුරුදු නැකත අරඹති. ඉන් අනතුරුව අවුරුදු චාරිත්‍ර මහ ඉහළින්ම ඉටු කරති. සෑම වසරකම බක් මාසේ ඇරඹීමත් සමඟම නිවාසවල හුනු පිරියම් කර ගෙබිම ගොම-මැටි ගාමින් නිවෙස්වලට නැවුම් මුහුණුවරක් එක් කරයි. කුඹුරුවල අස්වැන්න ගෙට ගෙනැවිත් වී සහල් බවට පත් කර ඒවා අඹරා ලබා ගන්නා පිටිවලින් අලුත් අවුරුද්ද උදා වීමට දින දෙකකට පමණ පෙර ගෙවිලියන් විසින් අතිරස, මුං කැවුම්, හැඳි කැවුම්, කොණ්ඩ කැවුම්, උඳුවැල් මෙන්ම මුංගුළිද පිළියෙල කරනු ලබයි.
කන්ද උඩරට ගම්වල බොහෝ දෙනෙක් අතීතයේ පටන්ම කෙසෙල් කැනක් නිවෙසේම ඉදවා ගනිති. ඒ, පැරණි ක්‍රම අනුගමනය කරමිනි. පොළොවේ වළක් කපා කොළ පුරවා, ඒ මත අඩිය සිදුරු කරගත් මැටි වළඳක් මුණින් අතට තබා, එහි සිදුර තුළින් දුම් ගස්සවා පස් හා කොළ ඉවත් කිරීමෙන් පසු වළ දමා තිබුණු කෙසෙල් කැන කහ පැහැයෙන් ඉදී තිබෙන අතර, ඒවායින් නැවුම් සුවඳක්ද විහිදෙයි.
අලුත් අවුරුද්දට පෙර දින අතිරස, මුං කැවුම්, කොණ්ඩ කැවුම් ආදිය හා කෙසෙල් ගෙඩි සහිත කැවිලි පාර්සලයක් ගමේ සෑම නිවෙසකටම රැගෙන යෑම නිවෙසේ සිටින දරුවන් විසින් සිදු කරනු ලබයි. ඒ චාරිත්‍රය අදටත් කන්ද උඩරට සෑම ගමකම සිදු කරන බව කවුරුත් දන්නා කරුණකි. එසේ කැවිලි රැගෙන ආ දරුවන් මුලින්ම කරන්නේ කැවිලි පාර්සලය නිවෙසේ වැඩිහිටියාට දී ඔහුට හෝ ඇයට දණ නමා ආචාර කිරීමය. ඉන් පසු නිවෙසියෝ එක්ව කැවිලි ගෙන ආ දරුවන්ට තේපැන් ආදියෙන් සංග්‍රහ කිරීමටද අමතක නොකරති. එසේ රැගෙන ආ කැවිලි ලබාගත් නිවෙස්වලින්ද ඒ අයුරින්ම කැවිලි පාර්සල් නිවාසවලට රැගෙන යෑම සිදු කරන අතර, මේ චාරිත්‍රය ගමේ සෑම දෙනාගේම සුහදත්වය වර්ධනය කරගැනීමට මහෝපකාරී වේ. අලුත් අවුරුද්ද උදාවෙන් පසු අලුත් ඇඳුම් පැලඳුම්වලින් සැරසෙන දරු දැරියන් එක්ව පංච දැමීම, ඔළිඳ කෙළිය, චක්ගුඩු පැනීම ආදියේද නිරත වෙමින් සතුටු වන්නේ අවුරුදු දින කිහිපය ඉක්මනින් ගෙවි නොයන ලෙස ප්‍රාර්ථනා කරමිනි.