සිරිලක්වාසී ජනතාවට මේ අප්‍රේල් හෙවත් බක් මාසය වසරේ සුවිශේෂතම මාසයයි. ඒ, මෙය රජ මැඳුරේ සිට පැල්පත දක්වා සියල්ලන් එකට එක්ව මහත් උනන්දුවෙන් අලුත් අවුරුද්ද සමරන සමය වන බැවිනි. ඈත අතීතයේ පටන් සමරනු ලබන මේ උත්සවය හෙළයේ මහා කලා මහෝත්සවය ලෙස සලකනු ලබන අතර, මේ හා බැඳුණු විවිධ චාරිත්‍ර වාරිත්රද රාශියකි. මේ සිරිත් විරිත් ඇතැම් විට පළාතෙන් පළාතටද විවිධත්වයක් ගනිමින්, අපේ සංස්කෘතියට මහත් අපූර්වත්වයක් එක් කරයි. සිරි ලක සිව්කොන අපේ ඇත්තන් තම ගම් දනව්වල ඒ විචිත්‍ර අවුරුදු සිරිත් විරිත් ගැන සිළුමිණට පැහැදිලි කළේ මෙලෙසිනි.
සිරිපා වන්දනා වාරය ආරම්භ වීමත් සමඟ සිරිපා මළුවෙන් දැල්වෙන පහනින් දෙයියන්ගේ රටම එළිය වන බව සබරගමුවේ පැරණියන්ගේ විශ්වාසයයි. සබරගමුවේ වැඩි වැඩියෙන් මැණික් ඉල්ලම් මතු වන්නේද එම කාලයටය. මහ කන්නය නිමා කර, බැත ගෙදරට ආ පසු පුරන් කුඹුරින්ද මැණික් හාරා වාසනාව උරගා බලන්නට බොහෝ අය පුරුදුව සිටින්නේ බොහෝ දුරට එය අත්දුටු සත්‍යයක්ද වන නිසාය.
සබරගමුවේ අලුත් අවුරුද්ද සමරන්නේ පාරම්පරික පුද සිරිත්වලට ද මුල්තැන දෙමින් ය. විශේෂයෙන් ම සමන් දෙවියන්ගේ රටේ සිදු වන හැම දෙයක්ම දේවාශීර්වාදය මතම සිදු විය යුතුය යන පාරම්පරික සිතවිල්ලේ සිටිමින් ඔවුන් අවුරුද්දට සූදානම් වන්නේ කට වරද්දාගන්නත් වැඩ වරද්දාගන්නත් ඇති බිය නිසාය. එයට සරිලන ලෙස පේ වන සබරගමු ගැමියාගේ අත මිට සරු වන්නේ පල බර වසන්තයත් සමඟය. කල් තියාම අවුරුද්දට ඕනෑ කරන ඇඳුම්-පැලඳුම්, කෑම්-බීම් ටිකෙන් ටික ගෙට එන්නේ මඩිස්සලයටද බරක් නොදැනෙන පරිද්දෙනි.
වත්ත-පිටියත්, ගේදොරත් එළ්-පෙහෙළි වන්නේ දෙන්න-දෙමහල්ලන්ගේ මහන්සියෙනි. මුළුතැන්ගෙය භාර ගන්නේ ගෘහිණියයි. හොඬපොර ගුළි සහ පැණිවළලු, කැවුම්, කොකිස්, මුං, අතිරස සහ කොකිස් පිළියල කරනු ලබයි. ගොම-මැටි ගා බිම සකසා අලුත් ළිපක අලුත් අවුරුද්දට ගිනි මොළවන්නටද ගෘහිණිය සූදානම්ය. එරබදු මල් අතර සැඟවුණු කොහා හඬ දෙද්දී කන් පුපුරුවමින් රතිඤ්ඤා හඬ තළන්නේ අලුත් අවුරුද්ද උදා වූ බව ගමටම කියමිනි. ඒ වන විට නිවෙසේ සැදුණු රස කැවිලි ගෙන් ගෙට හුවමාරු වී හමාරය.
පාරම්පරික අවුරුදු උත්සව ජන ක්‍රීඩා රබන් වැයීම් වැනි පාරම්පරික ක්‍රීඩා අදටත් සබරගමුවේ දැකගත හැකිය. ඒ හැරුණු විට පහන් මඩු, පොරපොල් ගැසීම්, කතුරු ඔංචිල්ලා වැනි ක්‍රීඩාද තවමත් නොනැසී පවතින්නේ සබරගමු ජනතාව තුළ සමන් දෙවියන්ට පවත්නා ගරු බුහුමන තරමටම පත්තිනි මාතාව කෙරෙහිද පවත්නා භක්තිය නිසාය.
විශේෂයෙන් මැණික් ආර්ථිකයක් පවතින රත්නපුර සහ අවට පවතින සිරිතකි ඇති හැකි අය නැති බැරි අයට මිල මුදලින් සහ ආහාරපාන ඇතුළු බඩු මුට්ටුවලින් සංග්‍රහ කිරීම. අවුරුද්ද උදාවීගෙන එද්දී සුවි සල් මැඳුරු අබියස දිගින් දිගට පෝලිම් ගැහෙන්නේ දෑතේ හයියෙන් අවුරුදු කන්නට නොහැකි අයයි. ඇතැම් විට අතක් බරට බඩුමල්ලක් සමඟ දාහේ කොළ ඇඟිලි අතර හිර වන්නේ නොදැනුවත්වමය.