Home » අකල්හි නිහඬ වූ තුන් කෝරළේ රිදී සීනුව කෝසල ජයවීර

අකල්හි නිහඬ වූ තුන් කෝරළේ රිදී සීනුව කෝසල ජයවීර

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment
සුභද්‍රා දේශප්‍රිය

යුක්තිය රජයන පාලන ක්‍රමය පෙරළා දැමීමට ප්‍රගතිශීලි දේශපාලන පරිවර්තනයක් කරා රට ගෙන යෑමට බොහෝ කැප වීම් කර එහි පල නෙළාගැනීම තෙක් පීඩිත මිනිසුන් වෙනුවෙන් ඔහු මනුෂ්‍යත්වයේ දෑත් දිගු කළේය. ස්වාර්ථය පමණක් කේන්ද්‍ර කරගත් ප්‍රතිගාමි පාලනයට එරෙහිව ඔහු හඬ අවදි කළේය. නිතර මුව රැඳුණ ළෙන්ගතු සිනාව සරල ජීවන පිළිවෙත, කාරුණික සාවධාන බව බොහෝ දෙනකුගේ ආදරයට පාත්‍ර වීමට හේතු විය. ලොව ඇත්තේ යෑම සහ ඒම පමණක් බව සිහිපත් කරමින් ඉතා කෙටි දුරකින් ඔහු තම ගමන නතර කළේය.

ඔහු මානවවාදි දේශපාලනයෙන් සන්නද්ධව තැළෙන පෑගෙන මිනිසුන් වෙනුවෙන් යහපත් සමාජයක් ගොඩනැඟීමට කැප වූ ජනතා හදවත් තුළ සදාතනික මතකයන් රැසක් ඉතිරි කළේය. ඒ නිහතමානි මිනිසා පිළිබඳ මේ සටහන තබන්නට සිදු වන්නේ ඔහුගේ හදිසි නික්ම යෑම නිසාය.

නිරන්තරයෙන් තම පන්තියේ මිනිසුන් සමඟ එක පෙළට සිට ගනිමින්, පැවැති ආණ්ඩු යන්ත්‍රණය මෙන්ම සමාජ සහ දේශපාලන අර්ථ ක්‍රමයෙහි පූර්ණ පරිවර්තනයක් කරා ගෙනයන ගමනට ඔහු සිය උපරිම ශක්තිය දුන්නේය. එවන් මිනිසුන්ට සිනා සිය හැකි හෙට දිනක් උදා වන තෙක් ඔහු අපේක්ෂාවේ දෑස් දල්වා බලා සිටියේය. තම පන්තියේ මිනිසුන්ගේ ගමන් සගයකු වූ ඔහු, ඔහුගේ භූමිකාව හොඳින් වටහාගෙන සිටියේය. කෝසල සහෝදරයාගේ කෙටි ජීවන ගමන තුළ උපයා ගත් මානව සබඳතා කෙබදු ද යන්න ඔහු ජීවත්ව සිටි කාලයටත් වඩා පසක් වනුයේ නික්මීමෙන් පසුවය. අයුක්තිය අසාධාරණයේ දරාගත නොහැකි අභියෝග හමුවේ ඔහු දෙපයින් නැඟී සිට පරාර්ථකාමි මෙහෙවරක නියැළෙමින් සිටියේය. කෝසල අපෙන් සදාතනිකව වෙන් වූ පසු ඇති වූ රික්තකය කොතරම්ද යන්න කීමට අසීරුය. එසේම සහෘදයන්ගේ හද පාරවන පාළුව දරා ගැනීම, මේ තරම් දුෂ්කර ද යන බවත් මිනිස් හදවතට ඔහු කොතරම් සමීප ද යන්නත් පසක් වන්නේ සදහටම ඔහුගේ සමු ගැනීමෙන් අනතුරුවය. මෙකී උත්තරීතර මානව සබඳතා අමිලය. කෝසල සහෝදරයාගේ දයාර්ද්‍ර හදවතේ මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ වෙනුවෙන් තවමත් මිනිසුන් හඬා වැටෙනු ඇත.

සමාජය සම්බන්ධයෙන් කිසියම් අවබෝධයක් ලැබූ ශිෂ්‍ය ජීවිතයේ පටන්ම සමාජ අසාධාරණය දුටු තැන ඊට එරෙහිව සටන් වැදීමට දෙවරක් නොසිතා පෙරමුණ ගත් ඔහු මිය යන මොහොත දක්වා ඒ සටන්කාමීත්වය අත් හැර නොහැරියේය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල දෙහිඕවිට ප්‍ර‌ෙද්ශීය ලේකම් කොට්ඨාසයේ නාපාවල ගමේ වඩු කාර්මිකයකු වන එච්.ඒ. ජයවීර (64) මහතාගේ සහ එල්.ඒ. චන්ද්‍රාවතී (60) මහත්මියගේ වැඩිමහල් පුතු ලෙස මෙලොව එළිය දකින කෝසල නුවන් ජයවීරගේ පවුලේ ඔහුට බාල සහෝදරයෝ දෙදෙනෙක්ද වෙති. ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන් සාමන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇහැළියගොඩ ජාතික පාසලෙන් උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරුවේය. ඔහු 2007 අධ්‍යයන වර්ෂයේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඉංජිනේරු පාඨමාලාව සාර්ථකව හැදෑරුවේය.

මව සහ පියා

මව සහ පියා

විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සමාජවාදි ශිෂ්‍ය සංගමය හරහා දේශපාලනය පිවිසියේය. 2010 වසරේදී සමාජවාදි ශිෂ්‍ය සංගමයට නායකත්වය දුන්නේය. ඉන් අනතුරුව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික දේශපාලනයට ප්‍රවිශිෂ්ට විය.

වසර 12 පමණ වන ඔහුගේ දේශපාලන ගමනේදී 2018 සිට 2021 දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළේය. ජනතාවට ඔහු පිළිබඳ තිබූ විශ්වාසය නිසාම ජනතා විමුක්ති පෙරමුණේ දෙහිඕවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස තෝරාපත් කරගත්තේය.

ඔහු ඉන් අනතුරුව ජාතික ජන බලවේගයේ තරුණ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් පසුගිය වසරේ පැවැති මහමැතිවරණයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙවැනි මනාප හිමිකර ගනිමින් දිය වන්නාවට පිවිසුණේය.

පන්ති පරතරය සහිත සමාජයේ ඒ පාලන ක්‍රමයට එරෙහිව සමාජ අසාධාරණය ගැනත් නව‌ දේශපාලන ප්‍රවාහය අවශ්‍යතාව ගැනත් ඔහු ගමින් ගමට යමින් පොඩි මිනිසුන් ඥානනය කළේය. එපමණක් නොව, නිර්ධන පන්තියේ දුක් විඳින මිනිසුන් වෙනුවෙන් සිය ජීවිතයම කැපවීම් කළේය.

පැවැති පාලකයන්ට විරුද්ධව හඬ නඟමින් නිදහස් අධ්‍යාපනය කප්පාදුවට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සාධාරණ ඉල්ලීම් හා ශිෂ්‍යයන් මර්දනයට එරෙහිව උපවාස උද්ඝෝෂණ වර්ජන ඉදිරියෙන් ඔහු සිටියේය. කඳුළු ගෑස්, බැටන් පොලු පහර පමණක් නොව අවලාද කොතෙකුත් වින්දේය. එහෙත් පීඩිත පන්තිය රජයන දවස දක්වා අවදානම් සහගත දේශපාලන ගමනක නියැළුණේය. ඔහු ඒ අරමුණ වෙනුවෙන් සියල්ල පසෙක ලා ඒකාත්මික වුයේය.

පාලකයන් පලවා හරින තෙක් සමාජ සාධාරණත්වය යුක්තිය හා මානව අයිතීන් වෙනුවෙන් අභීතව පෙනී සිටින සටන් සගයෙක් ලෙස අරගල බිමට වැඳ සටන් වැදුණේය. මේ ජාතික අර්බුදය සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය රැකගෙන තම සගයන් සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට ඔහු සමත් විය.

ගෝඨාභය රාජපක්ෂ පාලනය පලවා හැරීමෙන් අනතුරුව මෙරට පාලන බලය ගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ජන පීඩන මර්දනකාරී පාලනයට එරෙහිව ඔහු නැඟී සිටියේය. වාමවාදී බලවේගය ජයග්‍රාහී මාවතක් දක්වා යන ගමනේ ඔහු තරුණයන් අතර පෙරගමන්කරුවකු වන්නේ එලෙසිනි. ඔහුගේ හිතෛෂීන් පවසන ආකාරයට මහමැතිවරණය වනතෙක් ඔහු තම ගමන් බිමන් ගියේ තම යතුරුපැදියෙනි.‍ මහමැතිවරණයෙන් පසුව ආසන සංවිධායකවරුන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ කෝසල සහෝදරයාට කැබ් රථයක් කුලී පදනම මත ලබා දුන්නේය.

ඔහු තීරණාත්මක සමාජ දේශපාලන වටපිටාවක් ලාංකික සමාජය තුළ නිර්මාණය කිරීමට කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලියට උපරිම දායකත්වය දුන්නේය. දිවා රෑ නොබලා ගමක් ගමක් පාසා ගියේය. පසුගිය රජය සමයේදී කෑගල්ල දිස්ත්‍රික්කයට සිදු කරන ලද පරිසර හානි ස්වාභාවික සම්පත්වලට සිදුව ඇති විනාශය පිළිබඳ සොයා බලමින් නැවත කෑගල්ල සශ්‍රික දිස්ත්‍රික්කයක් කිරීමේ සිහිනය දකිමින් සිටියේය. කෑගල්ලේ උපාධිධාරීගේ විරැකියාව විසඳුම් සෙවීමටත් කෑගල්ලේ වසාදැමූ දේශීය කර්මාන්ත නැවත නඟාසිටුවීමට නිරතුරුව සටනක යෙදුණේය.

පූර්ණකාලීනව සමාජ පරිවර්තනයක් උදෙසා කොන්දේසි විරහිතව පෙනී සිටි කෝසල වටා සිටි තරුණ කණ්ඩායම්වල ආකර්ෂණීය නායකයා බවට පත්වන්නට ගත වුයේ කෙටිකාලයකි. මේ රටේ ප්‍රගතිශිලි ජනතාවට අමතක නොවන ඉතිහාස ගත වර්ෂයක් වන 2019 වසරේදී ජනතාව විමුක්ති පෙරමුණ ප්‍රමුඛව ‌ෙගාඩනැඟෙන ජාතික ජන බලවේගය නම් පුළුල් මහජන ව්‍යාපාරයට කෑගල්ල දිස්ත්‍රික්කයේ කණ්ඩායම සමඟ ජනතාව සංවිධානය කිරීම කැප වී කටයුතු කළේය.

යමක් කිරීමේ අවංක වුවමනාව සහ ඔහුට ම ආවේණික වූ වැඩ කිරීමේ කලාව කෙටිකලකින් දුරගමනක් ගෙනාවේය. ජනතාව මත වපුරා තිබූ පීඩනය විසින් දේශපාලන බල පෙරළියක් සමාජය අපේක්ෂාවෙන් සිටියේය. ඒ අනුව 2024 වසරේ ඉතිහාසයේ පළමු වතාවට මෙරට වැඩ කරන පන්තියේ සැබෑ මිනිසකු නායකයෙකු බවට පත් කර ගැනීමේ මහා කර්තව්‍යයට කෑගල්ල දිස්ත්‍රික්කයේ මහ බරක් සහෝදර කෝසලගේ උර මතට ගත්තේය. ජනාධිපතිවරණයේ තම සුපුරුදු යතුරුපැදියෙන් ගමක් නගරයක් පාසා ගමන් කළේය. ආණ්ඩු බලයද දිනාගැනීමට කෝසල කෑගල්ල දිස්ත්‍රික්කය නොගිය අස්සක් මුල්ලක් නැත.

ප්‍රගතිශීලී සමාජ ධාරාවක වෙනුවෙන් පොදු සිවිල් සමාජය එකතු කරමින් පොදු අරමුණක් වෙනුවෙන් ගොනු වූ තම දේශපාලන අරමුණ කරා යෑම ඔහුගේ ඒකායන අරමුණ විය. ඒ වෙනුවෙන් කෝසල නුවන් නම් වන දේශපාලන සගයාට, සටන් සගයාට, ඔහු පෙනී සිටි දේශපාලනය ඉදිරියටම ගෙන යාමට ශක්තිය ධෛර්යය දෙමින් ඔහුගේ දිස්ත්‍රික්කයේ ජනතාව වැඩිම දෙවන මනාප ලබා දුන්නේය. ඒ අනුව ඔහු දියවන්නාව තරණය කළේය.

ජාතික ජන බලවේග ආණ්ඩුවට මාස පහක් පමණ ගතවන තෙක් පාර්ලිමේන්තුවේද ඉන් පිටතද තරුණ ආකර්ෂණීය දේශපාලනඥයකු ලෙස සිය කාර්යය ඉටු කළේය. පාර්ලිමේන්තුව තුළ ඔහු කාරක සභා කිහිපයක්ම නියෝජනය කළ අතර, කෝප් කමිටුවේ සාමාජිකයෙක්ද විය. පසුගිය පාලකයින් විසින් සිදු කළ දූෂණ වංචා අක්‍රමිකතා මෙරට ජනතාවට හෙළිදරවු කළේය.

කෝසල මන්ත්‍රීවරයා පසුගිය 6 දා උදෑසන 8.00ට නිවෙසින් පිටත් වූයේ උඩකණුගල දහම් පාසලේ උත්සවයකට සහභාගි වීමටය. එයින් ආරම්භ කළ ගමන සදහට නිම වන බව කිසිවකු සිතුවේ නැත. එළඹෙන පළාත් සභා මැතිවරණය වෙනුවෙන් කැප වී කටයුතු කරමින් සිටි කෝසල එදින පස්වරු 4.30 පැවැති කමිටු රැස්වීමකට යෑමට සිය කාර්යාලයේ රැඳී සිටියේය. ඔහු රෝගාතුර වූයේ ඒ අතරතුරය. රෝහල්ගත කිරීමෙන් අනතුරුව කෝසල සහෝදරයා මෙලොව හැර යන විට ජීවන ගමනේ තිස් අට වැනි විය පසු කරමින් සිටියේය.

මිය යන මොහොත වන තෙක්ම දේශපාලනඥයකු ලෙස විවිධ භූමිකාවන් නිරූපණය කළ කෝසල සහෝදරයා තුළ අසාධාරණය වෙනුවෙන් සටන්කාමි වන ජීවගුණය නොනැසී පැවතියේය. ඔහු නික්ම ගියේ අවැසිම යුගයකය.

ඩබ්. රෝහණ – බුලත්කොහුපිටිය සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division