Home » දෙකෝටි විසි ලක්ෂයේ ජනගහනය දෙකෝටි දාහත් ලක්ෂයට අඩු වුණේ කොහොමද?

දෙකෝටි විසි ලක්ෂයේ ජනගහනය දෙකෝටි දාහත් ලක්ෂයට අඩු වුණේ කොහොමද?

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment
තාරක වික්‍රමසේකර

මෙරට අවසන් වරට ජන හා නිවාස සංගණනයක් පැවැත්වූවේ 2012 වසරේදීය. වසර 12කට පසුව පසුගිය වසරේ (2024) ජන හා නිවාස සංගණනයක් පවත්වන ලද නමුත් එම සංගණනය නිසි ලෙස නොපවත්වන ලද බව පවසමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට දෝෂාරෝපණ පවා එල්ල විය.

සාමාන්‍යයෙන් ජන හා නිවාස සංගණනයක් පවත්වද්දී සියලු දෙනාම නිවෙස්වල සිටින ලෙස රාජ්‍ය හා පෞද්ගලික ආයතන සියල්ල නිවාඩු දී අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වා, එකී අතවශ්‍ය සේවා නිලධාරීන්ද ගණනයකට හසු කරගන්නා ක්‍රමවේදයක් අනුගමනය කරනු ලැබේ. එහෙත් මෙවර එලෙස සිදු නොකර සිදු කළ සංගණනය විධිමත් නොවන බව බොහෝ සමාජ විචාරකයන් වෙතින් දෝෂාරෝපණ එල්ල විය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊට පිළිතුරු වශයෙන් පවසා සිටියේ නවීන විද්‍යාත්මක ක්‍රමයක් අනුව එය පවත්වන ලද බවයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න පැවසුවේ සාමාන්‍යයෙන් ජන හා නිවාස සංගණනයක් පවත්වන්නේ වසර 10කට වරක් බවයි. එසේ වුවත් ඇතැම් දියුණු රටවල නම් වසර 5කට පමණ වරක් සංගණනයක් පවත්වන බවද ඇය පෙන්වා දුන්නාය.

පසුගිය වසරේ පවත්වන ලද ජන හා නිවාස සංගණනයේ දිනය වූයේ දෙසැම්බර් මස 19 ය. එදින එකම මොහොතක (එය සංගණන මොහොත ලෙස හැඳින්වේ) එකම පුද්ගලයන් දෙපාරක් ගණනය නොවන සේ (ද්වි ගණනයක්) හා කිසිදු පුද්ගලයකු මඟ නොහැරෙන සේ සංගණනය සිදු කළ බවත් ඇය පෙන්වා දෙයි. විශේෂයෙන්ම මෙවර නවීන තාක්ෂණය භාවිත කළ බවද වෙනත් වසරවලට වඩා එය වෙනස් බවද ඇය පෙන්වා දුන්නාය.

එසේම, මෙහිදී පුද්ගල සංගණනය සිදු කර ඇත්තේ යම් පුද්ගලයකු සතියේ වැඩි කාලයක් ගත කරන ස්ථානය ඔහුගේ පදිංචි ස්ථානය ලෙස සලකමිනි. යම් පුද්ගලයකුගේ පදිංචිය මහනුවර වුවත් ඔහු රැකියාවට යෑම පිණිස සතියේ දින 4ක් හෝ 5ක් කොළඹ හෝ කොළඹට නුදුරින් පදිංචිව සිටින්නේ නම් ඔහුගේ පදිංචිය ලෙස සැලකෙන්නේ රැකියාවට යෑම පිණිස ඔහු නේවාසිකව සිටින ස්ථානයයි. එසේම මාස 6කට වැඩි පදිංචි කාලයක් හිමි අය පමණක් මෙසේ ස්ථිර පදිංචිකරුවන් ලෙස සලකා තිබේ.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජනසංගණන හා ප්‍රජා විද්‍යා අංශය) ආචාර්ය චාන්දනී විජේබණ්ඩාර පැවසුවේ අදියර 4ක් යටතේ මේ සංගණනය සිදු කළ බවයි. එමෙන්ම නවීන තාක්ෂණය මේ වෙනුවෙන් භාවිත කළ බවද ඇය ප්‍රකාශ කළාය. අධ්‍යක්ෂවරිය පෙන්වා දුන්නේ පළමුව සමස්ත ශ්‍රී ලංකාවම සිතියම්ගත කරනු ලැබූ බවත්, පසුව පළාත්පාලන හා ග්‍රාම නිලධාරීන්ට ඒ තොරතුරු දුන් බවත්, ඉන් පසුව ඒ තොරතුරු ලැයිස්තුගත කරන ලද බවත් ඇය පෙන්වා දුන්නාය. එසේම ජන සංගණන තොරතුරු එක් රැස් කළ බවද ඇය සඳහන් කළාය. මෙහිදී සිතියම් සකස් කිරීමේදී සංගණන කටයුතු පහසු වීම පිණිස සමස්ත දිවයිනම ඉතා කුඩා භූගෝලීය කොටස් ලෙස වෙන් කර, ගණන් ගන්නා නිලධාරීන්ට තොරතුරු ලබා දෙන බවත් ඇය පැවසුවාය.

ජන හා නිවාස සංගණනය – 2024 වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායකට ජනාධිපති කාර්යාලයේදී පසුගිය 7 වැනිදා පිළිගැන්විණි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් 2024 ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා දිවයින පුරා රැස් කරන ලද දත්ත පදනම් කරගනිමින් මේ සංගණන මූලික වාර්තාව සකස් කර තිබේ. මෙරට ජනගහනය, ජනගහනයේ වර්ධනය සහ දිස්ත්‍රික් අනුව ජනගහන ව්‍යාප්තිය පිළිබඳව මේ සංගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම මෙරට නිවාස සංඛ්‍යාවන් මෙන්ම නිවාස අහිමි ජනතාව පිළිබඳවද මෙහි තොරතුරු දක්වා තිබේ. මෙවර ජන සංගණනයට අනුව කොළඹ දිස්ත්‍රික්කය දෙවැනි තැනට පත් කරමින් ගම්පහ දිස්ත්‍රික්කය පළමු තැනට පත්ව තිබේ.

2024 ජනගහන දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය 21,763,170ක් බව දැක්වේ. එය 2012 ජන හා නිවාස සංගණනයේදී වාර්තා වූ මුළු ජනගහනයට වඩා 1,403,731ක වැඩිවීමකි. 2001-2012 අන්තර් සංගණන කාල පරිච්ඡේදය සැලකූ විට ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය 0.7%කි. මෙවර 2012-2024 අන්තර් සංගණන කාල පරිච්ඡේදය සැලකූ විට ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය 0.5%ක් වේ. ඒ අනුව මෙරට ජනගහන වර්ධන වේගය අඩු වී ඇති බවක් පෙන්නුම් කෙරේ.

ශ්‍රී ලංකාවේ පළාත් අනුව ජනගහනය සලකා බැලූ විට සමස්ත ජනගහනයෙන් 28.1%ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, අඩුම ජනගහන ප්‍රතිශතයක් වාර්තා වන්නේ උතුරු පළාතෙනි. ඒ 5.3%ක් වූ අවම ප්‍රතිශයකි.

ගම්පහ දිස්ත්‍රික්කයේ වාර්තාවන ජනගහනය 2,433,685කි. දෙවැනි ස්ථානයට පත්ව ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනය 2,374,461කි. ඒ අනුව බලන කල මේ දිස්ත්‍රික්කවල මිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් දිවි ගෙවති.

ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක හැරුණු විට පෙර සංගණනවලදී මෙන්ම මෙවරද වැඩි ජනගහනයන් පිළිවෙළින් කුරුණෑගල (1,760,829), මහනුවර (1,461,269), කළුතර (1,305,552), රත්නපුර (1,145,138) සහ ගාල්ල (1,096,585) යන දිස්ත්‍රික්කවලින් වාර්තා වන අතර, මේ සෑම දිස්ත්‍රික්කයකින්ම මිලියනයකට වැඩි ජනගහනයක් වාර්තා වී ඇත.

පෙර සංගණනවලදී මෙන්ම, මෙවරද දිවයිනේ ජනගහනය අඩු දිස්ත්‍රික්ක ලෙස උතුරු පළාතේ මුලතිව් (122,542), මන්නාරම (123,674), කිලිනොච්චි (136,434) සහ වවුනියා (172,257) දිස්ත්‍රික්ක වාර්තා වී ඇත.

2.23%ක වැඩිම වාර්ෂික ජනගහන වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ මුලතිවු දිස්ත්‍රික්කයෙනි. අවම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා වන්නේ වවුනියා දිස්ත්‍රික්කයෙනි. එය 0.01%කි.

පෙර සංගණනවලදී මෙන්ම මෙවරද, වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 3,549ක් වූ වැඩිම ජනගහන ඝනත්වයක් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, අවම ජනගහන ඝනත්වයක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි. එහි ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට 50 දෙනෙකි.

මීළඟට අප අවධානය යොමු කළ යුත්තේ නිවාස කෙරෙහිය. කොතරම් ආර්ථික අර්බුද දේශපාලන අර්බුද පැවතියද ශ්‍රී ලංකාවේ හිසට වහලක් නැති සංඛ්‍යාව 2,281ක් පමණකි. හිසට වහලක් නැති පුද්ගලයන් ලෙස සැලකෙන්නේ නාගරික බස් නැවතුම්පොළවල, අත්හරින ලද ස්ථානවල හෝ වෙනත් ආවරණ තුළ දිවි ගෙවන පුද්ගලයෝය. එයින් වැඩිම පිරිසක් වාර්තා වන්නේද බස්නාහිර පළාතෙනි. එය සංඛ්‍යාත්මකව 841කි. එයින්ද වැඩිම සංඛ්‍යාවක් එනම් 536ක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 536ක්ද කළුතර දිස්ත්‍රික්කයෙන් 76ක්ද වාර්තා වේ.

මධ්‍යම පළාතෙන් වාර්තා වන හිසට සෙවණක් නැති පවුල් සංඛ්‍යාව 173ක් වන අතර, මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන්නේ පවුල් 139කි. මාතලේ දිස්ත්‍රික්කයෙන් එය 21ක් ලෙස හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එය 13ක් ලෙස දැක්වේ. එසේම දකුණු පළාතෙන් නිවාස නැති පුද්ගලයන් 139ක්ද මාතර දිස්ත්‍රිත්තයෙන් 133ක් හා හම්බන්තොටින් 35ක්ද වාර්තා වේ.

උතුරු පළාතෙන් පුද්ගලයන් 90ක් වාර්තා වන අතර යාපනයෙන් 52ක් මන්නාරමෙන් 4ක් වවුනියාවෙන් 32ක් මුලතිව්වලින් දෙදෙනෙක්ද වාරතා වී ඇති නමුත් කිළිනොච්චියේ සැමට හිසට වහලක් ඇති බවට වාර්තා වී ඇත. එනම්: කිළිනොච්චියේ සියලු දෙනාටම නිවෙසක් හිමිව ඇත. නැඟෙනහිර පළාතෙන් පුද්ගලයන් 73ක් වාර්තා වන අතර එහිදී මඩකළපුවෙන් 28ක්ච ත්‍රිකුණාමලයෙන් 20ක් හාඅම්පාරෙන් 24ක් දවාර්තා විය.

වයඹ පළාතේ වාර්තා වූ පුද්ගලයන් 248 දෙනාගෙන් 135ක් කුරුණෑගලින් වාර්තා වී ඇති අතර පුත්තලමෙන් 113ක් වාර්තා වී අතර, උතුරුමැද පළාතෙන් වාර්තා වූ පුද්ගල සංඛ්‍යාව 207කි. එහිදී අනුරාධපුරයෙන් 180ත් හා පොලොන්නරුවෙන් 27කි. ඌව පළාතෙන් වාර්තා වූ පුද්ගලයන් 125න් 72ක් බදුල්ලෙන් වාර්තා වූ අතර, මොනරාගලින් 53කි. සබරගමුව පළාතෙන් වාර්තා වූ පුද්ගලයන් සංඛ්‍යාව 217ක් වන අතර, එහිදී රත්නපුරයෙන් වාර්තා වූ පිරිස 160කි. කෑගල්ලෙන් වාර්තා වී ඇත්තේ 57 දෙනෙක් පමණකි.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චාන්දනී විජේබණ්ඩාර (ජනසංගණන හා ප්‍රජා විද්‍යා අංශය) පෙන්වා දෙන පරිදි පසුගිය 2012 සංගණනයට වඩා මෙවර උපත් සංඛ්‍යාව අඩු වී ඇත. ඒ අනුව 2012 සංගණනයේදී 2012 ජූනි සිට 2013 ජූනි දක්වා උපත් 352,450ක් වාර්තා වී ඇත. එසේ වුවත් 2023 ජූනි සිට 2024 ජූනි දක්වා කාලය තුළ දී උපත් සිදුව ඇත්තේ 228,091ක් බවද අධ්‍යක්ෂවරිය හෙළි කළාය. මේ අතර, එම කාලයන් හා සැසඳීමේදී 2012 ජූනි සිට 2013 ජූනි දක්වා මරණ 125,626 සිදු වුවත් 2023 ජූනි සිට 2024 ජූනි දක්වා කාලය තුළ මරණ 171714 ක් සිදුව ඇති බව පෙනී යයි.

කෙසේ වුවත් දෙකෝටි විසි ලක්ෂයක් හෝ ඊට වඩා වැඩි බව පවසන ලද අපේ ජනගහනය මෙලෙස අඩු අගයක් ගත්තේ ඇයි? ඒ සඳහා පිළිතුර විජේබණ්ඩාර මහත්මිය විසින් ලබා දුන්නාය. වසර 10කට පසුව සංගණනයක් සිදු කරනු ලබන හෙයින් සංගණන දෙකක් අතර ඇස්තමේන්තුගත සංගණනයක් (ජනගහන සංඛ්‍යාවක්) ලබා දෙනු ලබන බවයි. එහිදී උපත් මරණ මෙන්ම සංක්‍රමණික දත්ත තොරතුරු ඇතළත් කර සංගණනය සිදු කරනු ලැබේ.

2012 වසරේ ජනගහන වර්ධන වේගය 0.7%ක් වන නමුත් මෙවර සංගගණනයේදී හෙළිව ඇත්තේ වත්මන් වේගය 1.5%ක් පමණක් බවයි. ලෝක ජනගහන වර්ධන වේගය 1.1%ක් වන හෙයින් ශ්‍රී ලංකාව සිටින්නේ ලෝකා ජනගහන වර්ධන වේගයට අඩකටත් වඩා අඩුවෙන් බව පෙනී යයි. මීට පෙර සංගණනයකදී 2.8%ක වර්ධන වේගයක් වාර්තා වී ඇති නමුත් මෙවර වාර්තා වී ඇති අගය මෙරට සංගණනයකදී වාර්තා වූ අඩුම ජනගහන වර්ධන වේගය බව වාර්තා වේ.

2023 ජූනි සිට 2024 ජූනි දක්වා සංක්‍රමණික වෙනස දෙස බැලූ විට පෙනී යන්නේ ආගමන හා විගමන අතර පරතරය ඍණ 176,932ක් හෙවත් රටට පැමිණි හා රටින් බැහැරට ගිය පිරිස අතර වෙනස 176,932ක් බවයි. ඒ අනුව රටට පැමිණි පිරිසට වඩා මෙරටින් විදේශ කරා ගිය සංඛ්‍යාව වැඩි වී තිබේ. මෙවර සංගණනයේදී ජනතාවගේ බොහෝ තොරතුරු රැස් කරගෙන තිබේ. ඔවුන් පානීය ජලය ලබා ගන්නා මූලාශ්‍රය, කසළ බැහැර කරන ආකාරය වැනි තොරතුරු දෙපාර්තමේන්තුවේ අන්තර්ගත අතර මේ වන විට මේ සියලු තොරතුරු ඒකරාශි කර තොරතුරු සම්පාදනයට කටයුතු කරමින් ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division