අන්තර්ජාතික ගුවන්තොටුපොළ රටකට, එරට ආර්ථිකයට මහැඟි සේවයක් සිදුකරන ආයතනයකි. එහෙත් පසුගියදා අපට අසන්නට ලැබුණේ ඊට වෙනස්ම වූ කතාවකි. මින් පෙර අප අසා නොතිබුණු දැක නොතිබුණු ඒ විරල සිදුවීමේ අත්දැකීම අනුරාධපුරයට පමණක් නොව, රටටද ලැබුණේ ගුවන් සේවා ඉතිහාසයේ නොමැකෙන සිදුවීමක්ද සලකුණු කරමිනි.
ඒ, පැය කිහිපයකට රටට අන්තර්ජාතික ගුවන්තොටුපළක් ලැබුණු කතාවය. පැය 6කට පමණක් අන්තර්ජාතික තත්ත්වයට පත් වූ අනුරාධපුර ගුවන්තොටුපොළ නිසා මෙතෙක් අන්තර්ජාතික ගුවන්තොටුපොළ 5කට සීමා වූ ගුවන් සේවා ඉතිහාසයේ පසුගිය අප්‍රේල් 6 වැනිදා පමණක් ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ගුවන්තොටුපොළ සංඛ්‍යාව 6ක් බවට වර්ධනය කරමිනි.
අනුරාධපුර ඇත්තේ ගුවන් හමුදා කඳවුරකි. පසුගිය 6 වැනිදා එය ඉතිහාසයේ පළමු වරට එක් දින අන්තර්ජාතික ගුවන් තොටුපොළක් වූ කතාව අපූරුය. මෙය ලංකා ගුවන්තොටුපොළ ඉතිහාසයේ පෙරළිකාර ඓතිහාසික සිදුවීමකි.
ඊට පදනම් වූ පසුබිම මෙසේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කළේ පසුගිය 4 වැනිදාය. ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය අවසන් කරන්නට යෙදුණේ අප්‍රේල් 6 වැනිදා අනුරාධපුර සංචාරයෙනි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය අවසන් දින අනුරාධපුර සංචාරයෙන් අනතුරුව දකුණු ඉන්දියාවේ රාමේශ්වරම දක්වා යෑමට ශ්‍රී ලංකාවෙන් පිට වීමට අවශ්‍ය ගුවන්ගමන් පහසුකම් සලස්වන්නට සිදු වූයේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙනි. අනුරාධපුරයේ ගුවන් හමුදා කඳවුර තාවකාලිකව අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ලෙස නම් කරන්නට සිවිල් ගුවන් සේවා අධිකාරියට සිදු වන්නේ ඉන් අනතුරුවය.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා රෙගුලාසි යටතේ, රජය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් යම් ගුවන් තොටුපොළක් නිල වශයෙන් අන්තර්ජාතික ගුවන් තොටුපොළක් ලෙස නම් නොකළේ නම්, දේශීය ගුවන් තොටුපොළවලින් විදේශීය ගමනාන්ත වෙත ගුවන් යානා පිටත්ව යෑමට අවකාශ නැත. දැනට ශ්‍රී ලංකාවේ නම් කර ඇති අන්තර්ජාතික මෙහෙයුම් ක්‍රියාත්මක වන අන්තර්ජාතික ගුවන්තොටුපොළ 5කි. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සාගර කොටකදෙණිය මේ ඓතිහාසික සිදුවීම පැහැදිලි කරමින් පැවසුවේ, අනුරාධපුර ගුවන්තොටුපොළ අප්‍රේල් 6 වැනි දින එක් දිනක් සඳහා පමණක් අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සුවිශේෂ හා විරල සිදුවීමක් බවයි.
“ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට ඇවිත්, ඉන් පසුව අනුරාධපුරයට ගියා. අනුරාධපුරයේදී ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමට මෙන්ම අනුරාධපුර දුම්රිය ස්ථානයටද ගියා. එතුමා අනුරාධපුරයට පැමිණි හෙලිකොප්ටර් යානා කිහිපය නැවැත්වුවේත් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේයි. මේ කඳවුරේ විශාල ගුවන් ධාවනපථයක් තියෙනවා. පසුගිය කාලයේ බොහෝ යුද්ධ මෙහෙයුම් කටයුතු සිදු වූයේ මෙහි සිටයි. විශාල ගුවන් යානා නැවැත්වීමේ පහසුකම්ද මෙහි තිබෙනවා. ඇත්තටම මෙහි පමණක් නොවෙයි, ශ්‍රී ලංකාවේ පිහිටි සෑම ගුවන් හමුදා කඳවුරකම විශාල ධාවන පථ තියෙනවා. සීගිරිය, කොග්ගල, වීරවිල, මඩකලපුව, වවුනියා ගුවන් හමුදා කඳවුරුවල විශාල ධාවන පථ තිබෙනවා. ඒ නිසා ඒවාත් ගුවන්තොටුපොළක් ලෙස හඳුන්වන්න පුළුවන්. මොරවැව කඳවුරේ පමණයි ධාවන පථයක් නැත්තේ. එහෙත් යම් අවස්ථාවක මේවා අන්තර්ජාතික ගුවන්තොටුපොළක් බවට පත් කිරීමට අවශ්‍ය කරුණු කාරණා රැසක් සම්පූර්ණ විය යුතු වෙනවා. මුලින්ම අපිට ගැටලුවක් මතු වුණා, මෙය කරන්නේ කෙසේද කියා. අපේ ආගමන විගමන පනතට අනුව යම් පුද්ගලයෙන් රටින් පිටතට යවනවා නම් ඒ සඳහා අවසර හිමි වන්නේ අන්තර්ජාතික ගුවන් තොටුපොළකින් හෝ අන්තර්ජාතික වරායකින් පිටත් වුණොත් පමණයි.
අපි ආගමන විගමන පනතට අනුව අනුරාධපුර ගුවන්තොට පැය කිහිපයකට අන්තර්ජාතික ගුවන්තොටුපොළක් බවට ප්‍රසිද්ධියට පත් කළා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වුණා. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස මට ඇති බලතල අනුව ඒ අවස්ථාවට අනුමැතිය ගතහැකි වුණා. මේ අනුව ඉන්දිය අගමැතිවරයා යන ඉන්දීය හෙලිකොප්ටර් යානා හතර ඉතා ආරක්ෂිතව පිටත් කරන්න ගුවන් පාලන සංඥා ඇතුළු සියලු පහසුකම් සලසන්න අවශ්‍ය කටයුතු යෙදුවා. කොළඹ රේඩාර් සංඥා හරහා ගුවන් ගමන පාලනය කළා. මෝදි අගමැතිතුමා ශ්‍රී ලංකාවෙන් පිටත්ව අපේ දර්ශන පථයෙන් ඉවතට යන තෙක් පමණක් නොව, ඉන් අනතුරුව එතුමා ඉන්දීය දර්ශන පථයට ඇතුළු වන තෙක් ඉතා ආරක්ෂිතව මේ කටයුතු සිදු කරන්නට අපට හැකි වුණා.” ඒ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සාගර කොටකදෙණියයි.
මෝදි අගමැතිතුමා ඇතුළු පිරිස අනුරාධපුර එක්දින අන්තර්ජාතික ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ තමිල්නාඩුව දක්වා ගමන් කළේ ඉන්දීය විශේෂ හෙලිකොප්ටර් යානා 4කිනි. ඊට පැය කිහිපයකට පෙර මෝදි අගමැතිතුමා අනුරාධපුර චාරිකාවට එක් වූයේද මේ එක්දින අන්තර්ජාතික ගුවන්තොටිනි. ඒ සඳහා විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක වන්නට විය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට දෙදින නිල සංචාරයක් නිම කර දකුණු ඉන්දියාවේ රාමේශ්වරම බලා පිටත්වීමට අගමැති මෝදි සහ ඔහුගේ නියෝජිත පිරිසට අවශ්‍ය විගමන නිෂ්කාශන පහසුකම් සැපයීය. ඒ සියල්ල සිදු විය යුත්තේ ආගමන විගමන පනතට අනුව යම් ගුවන්තොටක් අන්තර්ජාතික ගුවන්තොටක් බවට පත් වුව හොත් පමණි. එසේ නොවුණ හොත් වන්නේ නීත්‍යනුකූල නොවන රටින් පිට වීමකි.
අගමැතිවරයෙක් අපේ රටට එක්දිනකට පමණක් අන්තර්ජාතික ගුවන්තොටුපොළක් බවට පත් කරමින් මේ ආකාරයෙන් රටින් පිට ගිය අවස්ථාවක් අප ඉතිහාසයේ අසා නැත. මෙයත් ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයේ විශේෂ අවස්ථාවක් විය.
අගමැතිවරයාගේ මේ සංචාරයේදි අවශ්‍ය මේ පහසුකම සැලසීමේ ඉල්ලීම සිවිල් ගුවන් සේවා අධිකාරියට හා ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලැබුණේ ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහාය. සංචාරයෙන් අනතුරුව යළිත් සුපුරුදු තත්ත්වයට පත් වීමට නම් මේ ගැසට් නිවේදනය යළි ඉල්ලා අස් කරගැනීමට අවශ්‍ය වන්නේ නැත. මන්ද යත්: නිශ්චිත කාලය එහි සඳහන් වන නිසාය.
සියල්ල ඉතිහාසයට එක්ව හමාරය. දැන් නැවතත් අපිට අන්තර්ජාතික ගුවන්තොටුපොළ 5ක් ඉතිරිව ඇත. මෙරට පළමු ගුවන්තොටුපොළ වන්නේ රත්මලාන අන්තර්ජාතික ගුවන්තොටුපොළයි. රත්මලාන ගුවන්තොටුපොළ ආරම්භ වූයේ 1935 ඔක්තෝබර් 24 දින වුවද දශක පහකට පසු නියමිත කාලසටහන්ගත අන්තර්ජාතික කලාපීය ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ වූයේ 2022 මාර්තු 27 දිනය. වර්ෂ 1964 දී ආරම්භ වී 1967දී වැඩ අවසාන වූ හා පළමු ගුවන්යානා ගොඩබැස්ම 1971 නොවැම්බර් 7 දින සිදු කළ ලංකාවේ අන්තර්ජාතික ගුවන් ගමන් සිදු කරන ගුවන්තොටුපොළ අතුරින් කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ප්‍රධාන වෙයි.
මඩකලපුවද අන්තර්ජාතික ගුවන්තොටුපොළකි. එහෙත් මෙහෙයුම් සිදු වන්නේ නැත. 1958දී දේශීය ගුවන්තොටුපොළක් ලෙස ආරම්භ කරන ලද මේ ගුවන්තොටුපොළ 2019දී එය ශ්‍රී ලංකාවේ තවත් අන්තර්ජාතික ගුවන්තොටුපොළක් බවට පත් විය. හම්බන්තොට මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ 2009 වසරේදී මහින්ද රාජපක්ෂ රජය සමයේ ඉදිකිරීම් ඇරඹූ අතර 2013 මාර්තු මස 18 දින නිල වශයෙන් විවෘත කරන ලදි.
ප්‍රාදේශීය ගුවන්තොටුපොළක්ව පැවති යාපනය පලාලි ගුවන්තොටුපොළ මේ අනුව කලාපීය සහ අන්තර්ජාතික ගුවන්තොටුපොළක් වශයෙන් සැලකේ. 2019 ඔක්තෝබර් පලාලි ගුවන්තොටුපොළ කලාපීය සහ අන්තර්ජාතික තොටුපොළක් ලෙස නම් කිරීමත් සමඟ දැනට ලංකාවේ ඇති අන්තර්ජාතික ගුවන්තොටුපොළ ගණන 5 දක්වා ඉහළ ගොස් තිබිණි.