Home » අනතුරු මඟහැර අවුරුදු සමරන්නේ කොහොමද?

අනතුරු මඟහැර අවුරුදු සමරන්නේ කොහොමද?

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

හැම තත්පර අටකට වරක් ලෝකයේ කොතැනක හෝ තැනක පුද්ගලයකු අනතුරක් හේතුවෙන් මිය යන බවත්, දිනපතා පුද්ගලයන් දොළොස් දහසක් පමණ අනතුරු හේතුවෙන් මිය යන බවත් ඔබ දන්නවාද?

“අනතුරු අපේ රටට පමණක් නොව ලෝකයටම බලපාන ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවක්. වසරකදී ලංකාවේ රජයේ රෝහල්වලට දළ වශයෙන් මිලියනයකට වඩා ඇතුළත් වන අතර, එසේ ඇතුළත් වන රෝගීන්ගෙන් පළමු තැන ගන්නේ හදිසි අනතුරු නිසා පැමිණෙන රෝගීන්ය. සෑම වසරකම මෙරට රජයේ රෝහල්වලට ඇතුළත් වන නේවාසික රෝගීන් සංඛ්‍යාව දළ වශයෙන් මිලියන 6.5ක් පමණ වනවා. තවත් විදියකින් කියන්නේ නම් ලක්ෂ 65ක් පමණ වනවා. එයින් ලක්ෂ 13ක් පමණ ඇතුළත් වන්නේ අනතුරු නිසයි.

සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේබෝ නොවන රෝග ඒක­කයේ අන­තුරු නිවා­රණ අංශ ප්‍රධානී විශේ­ෂඥ වෛද්‍ය සමිත සිරි­තුංග

සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ
බෝ නොවන රෝග ඒක­කයේ අන­තුරු නිවා­රණ අංශ ප්‍රධානී විශේ­ෂඥ වෛද්‍ය සමිත සිරි­තුංග

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසන්නේ අනතුරු හේතුවෙන් සිදු වන මරණ සම්බන්ධයෙන් ඇති ඛේදනීයම තත්ත්වය වන්නේ එසේ මිය යන්නේ මෙරට ආර්ථිකයට දායක වන සක්‍රියම වයස් කාණ්ඩය – එනම්, වයස අවුරුදු 15-60 අතර පසුවන්නන් බවය. එසේම අනතුරුවලට ලක් වන්නන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජයට වියදම් කිරීමට සිදු වන මුදලද ඉතා ඉහළ අගයක් ගැනීම ද මෙරට ආර්ථිකයට විශාල ඍණ බලපෑමකි.

“වසරකට මෙරට පුද්ගලයන් 10,000-12,000 අතර සංඛ්‍යාවක් අනතුරු නිසා මියයනවා. අවාසනාවන්තම තත්ත්වය මේ සියල්ලම වළක්වාගත හැකි මරණ වීමයි. සරලව කිව්වොත් ඉහෙන් බහින රෝගයක් නැතිව හිටිය අය හිටපු ගමන් මිය යනවා. එය කොතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද?

විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග ඊළඟට අනාවරණය කළේ සිංහල හා හින්දු අලුත් අවුරුදු ප්‍රීතිය විඳිමින් සිටින ඔබත් මමත් තරමක් තිගැස්සෙන කතාවකි. ඒ, නේවාසික ප්‍රතිකාර සඳහා මෙරට රජයේ රෝහල්වලට වැඩිපුරම රෝගීන් ඇතුළත් වන කාලය මේ උත්සව සමය බවය.

වැඩිපුරම අනතුරු සිදුවන කාලය

“විශේෂයෙන්ම අප්‍රේල් 8 සිට 16 දක්වා කාලය තුළ අනතුරු හේතුවෙන් රජයේ රෝහල්වලට ඇතුළුවන රෝගීන්ගේ විශාල වැඩි වීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම අනතුරු හේතුවෙන් රෝහල්වලට ඇතුළුවෙලා නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් වාර්තා වෙන්නෙත් මේ කාලයේදීමයි. එවැනි අනතුරුවලට සහ මරණවලට හේතු වන්නේ වැටීම්, දියේ ගිලීම්, පුද්ගලයන් අතර සිදුවන ආරවුල්, සතුන් සපාකෑම් ආදියයි. ඒ අනුව අවුරුදු උත්සව සමය අනතුරුවලට අධි අවදානම් කාලයක් ලෙස සැලකිය හැකියි. ”

අවුරුදු සතිය ඇතුළත අනතුරු හේතුවෙන් සාමාන්‍යයෙන් 28000ක් පමණ රෝහල් ගතවන බවත් එයින් 100ක් පමණ මිය යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වාර්තාවලින් හෙළිවන අතර, අවුරුදු සමයේ වැඩිපුරම අනතුරු සිදුවන කාලය පස්වරු 6යේ සිට රාත්‍රී 12 දක්වා කාලයයි.

එම අනතුරු අතරින් උත්සව සමයේදී මාර්ගවල ගමන් කරන විට හා විනෝදාස්වාදය ලබන ස්ථානවල සිදුවන අනතුරු බහුල වන අතර, රිය අනතුරුවල ඉහළ යෑමක් ද දක්නට ලැබෙන බැවින් මේ උත්සව සමයේ ඔබේත් අන් අයගේත් ජීවිත සුරැකෙන පරිදි අවුරුද්ද සැමරීම ඉතා වැදගත් වේ. උත්සව සමයේ රිය අනතුරු ඉහළ යෑමට බලපාන හේතු පිළිබඳ අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංගගෙන් වැඩිදුරටත් විමසුවෙමු.

රථවාහන අනතුරු

“අවුරුද්ද නිසා රිය අනතුරු වැඩි වෙනවා නෙවෙයි. අවුරුද්ද නිසා බොහෝ දෙනෙකුට නිවාඩු ලැබෙනවා. උත්සව සමය මෙන්ම සති අන්තයේ ලැබෙන දීර්ඝ නිවාඩුවත් නිසා බොහෝ දෙනකු මේ කාලය නිවාඩුවක් ලෙස ගතකිරීමට විශේෂ උනන්දුවක්, කැමැත්තක් දක්වනවා. ඒ නිසාම විනෝද චාරිකා යෑමට වැඩි දෙනෙක් පෙලඹෙනවා. ඒ බොහෝ ගමන්බිමන් යන්නේ පෞද්ගලික වාහනවලින්. රථවාහන අනතුරුවලදී ඍජුවම වැරදිකරු වන්නේ රියැදුරා වුවත් ඊට මුල් වන හේතු කිහිපයක් මම දකිනවා. ඒ පුද්ගලයන්ගේ ගැටලු, වාහනවල ගැටලු සහ පරිසරයේ තිබෙන ගැටලු ලෙසයි.

පුද්ගල පාර්ශ්වයෙන් සිදුවන රිය අනතුරුවලට රියැදුරා, මගියා සහ පදිකයා කියන පාර්ශ්ව තුනම හේතු විය හැකියි. බොහෝ වෙලාවට විනෝද චාරිකා ඇතුළු අවුරුදු ගමන්බිමන්වලදි පොඩි කාලයක් තුළ ස්ථාන රැසකට යෑමට සිදුවෙනවා. ඒ නිසා රියැදුරාට අධික වෙහෙසක් සහ නිදිමතක් දැනිය හැකියි. ඒ වගේම ඇතැම් අය ජංගම දුරකතන සංවාදවල යෙදෙමින් රිය පදවනවා. බොහෝ අවස්ථාවල යා යුතු ස්ථානය දුරකතනයෙන් ලොකේෂන් දමාගෙන ඒ දෙස බලමින් රිය පදවනවා. මේ කී අවස්ථා තුනේදීම තත්පරයකට අවධානය ගිලිහුණොත් අනතුරක් වීමට තිබෙන අවදානම ඉතා ඉහළයි. ඒ වගේම අවුරුදු සාදවලට ගොස් මත්පැන් ගෙන රිය පැදවීමෙන් නොදැනුවත්ම රියේ වේගය වැඩිවී අනතුරක් සිදුවිය හැකියි. ඒ වගේම ඒ කිසිම හේතුවක් නැතිව පුද්ගලයකු ඒ අවස්ථාවේ පෙළෙන යම් මානසික පීඩාවක්, නොසන්සුන්තාවක් වැනි තත්ත්වයක් නිසා වගේම හදිසියේ ඇතිවන කායික රෝගී තත්ත්වයක් නිසාත් අනතුරක් විය හැකියි.

එසේ රියැදුරාගේ පැත්තෙන් සිදුවන අනතුරුවලට අමතරව රියේ ගමන් කරන මගියන් ඉක්මනට යමු යැයි ඇවටිලි කරමින් රියේ වේගය වැඩි කරන ලෙස කරන ඉල්ලීම් නිසා ද රියැදුරාගේ අවධානය බිඳීයාමෙන් අනතුරක් සිදුවිය හැකියි. ඒ වගේම පදිකයන් පාර මාරුවන ස්ථාන හැර වෙනත් අවදානම් සහිත ස්ථානවලින් ක්ෂණිකව පාර මාරුවීම් ද අනතුරු සිදුවීමට හේතුවක්. උත්සව සමයේ පොදු ප්‍රවාහන සේවයේ අඩුවක් තිබෙන නිසා පාරේ වාහන ධාවනයේ අඩු වීමක් තිබෙනවා. ඒ නිසා ඇතැම් පුද්ගලයන් ක්‍රීඩා කිරීමට මහා මාර්ගය භාවිත කරන අවස්ථා ද ඕනෑතරම් දැකගත හැකියි. අධිවේගී මාර්ගයේ ඇතැම් අවස්ථාවල දුමින් වැසී තිබෙනු නිරීක්ෂණය වෙනවා. ඊට හේතුව ගිනි තැබීම් වැනි මානව ක්‍රියාකාරකම්.” මීට අමතරව වාහනයේ තිබෙන කාර්මික දෝෂ ද අනතුරුවලට අත වනන බව විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසයි.

මහමඟ අනතුරු

“ඔබේ වාහනය සාමාන්‍ය ධාවනය සඳහා සුදුසු තත්ත්වයේ පැවතියත් අධිවේගී මාර්ගයේ ධාවනය කිරීම සඳහා වාහනය කාර්මික දෝෂවලින් තොරව ඉතාම හොඳ තත්ත්වයේ පැවතිය යුතුයි. අමතර කොටස් මිල ඉහළ යෑම නිසා ඇතැම් පුද්ගලයන් වාහන නඩත්තු කිරීම නිසි ලෙස නොකරන තත්ත්වයක් නිරීක්ෂණය වනවා. නමුත් හොඳ තත්ත්වයේ නැති වාහනයක් අධිවේගී මාර්ගයේ ධාවනය කිරීම තමන්ට වගේම අනුන්ගේ ජීවිතයටත් අවදානමක් තිබෙනවා. ඒ වගේම ඇතැම් මහාමාර්ගවල තිබෙන ගැටලුත් අනතුරු සඳහා හේතුවනවා. ඇතැම් පාරවල් කැඩිලා වලවල් හෑරිලා තිබෙනවා. එහෙම පාරවල්වල ගමන් කරද්දි අනතුරු සිදුවනවා වගේම වාහනයේ දෝෂ ඇති වීමටත් හේතුවක්.”

විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග වැඩිදුරටත් අනාවරණය කළේ අනතුරුවලට හේතු වන අනාරක්ෂිතම වාහන වන්නේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ බවය. මෙරට ත්‍රිරෝද රථ ලක්ෂ 12ක් සහ යතුරු පැදි ලක්ෂ 48ක් පමණ ඇති බවත් ඒ අනුව මෙරට ලියාපදිංචි වාහනවලින් හතරෙන් එකක්ම ඇත්තේ අනාරක්ෂිත වාහන බවත් හෙතෙම කීවේය.

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ අනතුරු වැඩි වීමට පාරේ සිටින සුනඛයන් ද හේතුවක්. වීදි සුනඛයන් පමණක් නෙවෙයි ගෙවල්වල ඇති කරන සුනඛයන්ද වාහනවලට පැනීම නිසා අනතුරු රාශියක් සිදු වනවා. එම නිසා ගෙවල්වල ඇති කරන සතුන්ගෙන් එවැනි හානි ඇති නොවන ලෙස ඔවුන් ඇති දැඩි කිරීමට අයිතිකරුවන්ට වගකීමක් තිබෙනවා.” රිය අනතුරුවලින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට මෙම කරුණු පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වන අතර, ඊට අමතරව මේ උත්සව සමයේ සිදුවන තවත් අනතුරුවලින් වැළකීම පිළිබඳ ද විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පැවසුවේය.

දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු

“උත්සව සමයේ සිදුවන තවත් බහුල අනතුරු වන්නේ දියේ ගිලීම්වලින් සිදුවන අනතුරුයි. විශේෂයෙන් විනෝද චාරිකාවලදී තැන තැන හමුවන ගංගා ඇළ දොළ ආදියෙන් නෑමට සහ ජල ක්‍රීඩා කිරීමට බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වනවා. නමුත් නොදන්නා තැන්වල එසේ දිය නාන්නට යෑම ඉතා අනතුරුදායකයි. එම නිසා එවැනි ස්ථානයක ජලයට බසින්නට පෙර ඒ අසල ඇති දැනුම්වත් කිරීමේ පුවරුවල සඳහන් අනතුරු අඟවන පණිවුඩ පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න. එවැන්නක් නැති නම් අඩුමතරමේ ප්‍රදේශවාසියෙකුගෙන් හෝ ඒ පිළිබඳ විමසා බැලීමට කල්පනාකාරී වන්න. මතුපිටින් බොහෝ සුන්දරව පෙනෙන ඇළක, දොළක ජල පහරක ඔබගේ පණ උදුරා ගැනීමේ සූදානමින් මරුවා සැඟවී සිටින බව අමතක නොකරන්න.

“අපි බොහෝ විට දකින්නේ අනතුරු සහ මරණ පමණයි. අනතුරු නිසා සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වන පුද්ගලයන් දකින්නෙ නැහැ. ඇතැම් විට එසේ සදාකාලික අකර්මණ්‍ය තත්ත්වයට ලක්වූ පුද්ගලයා ඔහුගේ පවුලම රැකබලාගත් ආදායම් ඉපැයූ එකම පුද්ගලයා විය හැකියි. එවැනි අයකු සදාකාලික ආබාධිතයකු බවට පත් වුණොත් ඔහුගේ පවුලම විශාල අර්බුදයකට මුහුණ දෙනවා. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. එම නිසා පුරවැසියන් ලෙස අප සියලු දෙනා නීතිගරුක විය යුතුයි. ඇතැම් විට රිය පැදවීමේදී ඔබේ ‘හදිස්සිය’ ඔබේ හෝ තවත් අයකුගේ ජීවිතය සදහටම නිසල කිරීමට හෝ සදාකාලික අකර්මණ්‍යතාවයට ලක් කිරීමට හේතුවක් විය හැකියි.

මේ අවුරුදු උත්සව සමය අපි කවුරුත් ප්‍රීතියෙන් ගතකිරීමට කැමති කාලයක් වුවත් එය කෙළවර වන්නේ මරණයකින් නම් එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා මේ උත්සව සමයේදී ඔබ සතුටු විය යුත්තේ ඔබේ වගේම අනිත් අයගේත් ජීවිතවල ආරක්ෂාව සහතික කරමින් බව නැවත නැවතත් මතක් කිරීමට කැමැතියි.”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division