Home » ගම් මැද්දෙන් රටටම අවුරුදු කැන්දන අපූරු ගමක්

ගම් මැද්දෙන් රටටම අවුරුදු කැන්දන අපූරු ගමක්

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment
ටෙඩී කීර්ති මිනුවන්ගොඩ සමූහ

ක් මාසයේ ගහ කොළ මල්පලවලින් බරවන්නේ පරිසරයට අමුතුම අලංකාරයක් එක් කරමින්ය. එම අසිරිය තවත් වැඩි කරමින් එක්වන කොවුල් නාදය ගමටම නව අවුරුද්ද උදාවේ අසිරිය කියාපාන්නා සේය. අප හදවත්වලට එක්කරන්නේ විශාල සතුටකි, ප්‍රබෝධයකි. ගමේ සෑම නි‍ෙවසක්ම කැවුම්, කොකිස් ඇතුළු රස කැවිලි සුවඳින්, තෙල් සුවඳින් පිරී ඉතිරී යන්නේ බක් මාහේ අවුරුදු රසය අප හදවත්වලට නැවුම් අත්දැකීම් පුරවමිනි.

මාස් කන්නයේ වී අස්වනු සරුසාර වෙද්දි අටු කොටු වී අස්වැන්නෙන් පිරී ඉතිරි යන්නේ අවුරුදු කිරිබතටද අලුත් සහල් එක්කරමිනි. ගම පමණක් නොව මුළු රටම අවුරුදු සිරියෙන් නැහැවෙද්දි බක්මහේ සිරිය ලොවට කියාපාන්නේ වෙනස්ව වූ අත්දැකීමකි.

එදා ගම්මැද්දේ බක් මාසය ලබන විට කැවුම්, කොකිස්, බැදෙන සුවඳ ගම්පළාත් පුරා විහිදී යන්නේ බාල මහළු අප කාගේත් ජීවිත අලුත් කරවමිනි. එදා ගමේ තැනින් තැන මෝල්ගස් ගැටෙන හඬින් දෝංකාර දෙයි. නිවැසියන් ගම් මැද්දට එක් වන්නේ සුබ මොහොතට සැරසෙන්නටය.

ඒ එදා ගමේ අවුරුදු සිරිය හැඩ ගැසුණු සැටිය. කාලයාගේ ඇවෑමෙන් බොහෝ දේ අතීතයට එක්වී හමාරය. සියල්ල පරයමින් කාලයක් සමඟ හරඹයක නිරතවන වර්තමාන ජන ජීවිතය එදා විඳි අවුරුදු සිරිය කෙමෙන් කෙමෙන් නිවෙස් තුළින් ගිලිහී යද්දි අවුරුදු රසකැවිලිද මිල මුදලට පමණක් සිමා වී ඇත්තේය. තෙල් තාච්චියෙන් කොකිස් බැදෙන හඬ, කැවුම් ඉදෙන සුවඳ අද අපේ ජන සමාජයෙන් ගිලිහි ගොස් වෙළෙඳ පොළට පමණක් සීමා වී ඇත්තේය.

මේ ඊට වෙනස්ම වූ කතාවකි. මේ ගම්මානයට අවුරුදු එන්නේ හැමෝටම කලිනි. ගම හැඩ වෙන්නේ රස කැවිලෙනි. ගමක් අවුරුද්ද වෙනුවෙන් සුදානම් වන්නේ අවුරුදු රසකැවිලි රටට බෙදන්නටය. මේ කතාව අවුරුද්දට සැරසෙන මිනුවන්ගොඩ යාගොඩමුල්ල සෞභාග්‍යා පාරම්පරික රසකැවිලි ගම්මානය ගැනයි. ගමම එක්ව රසකැවිලි සකස් කරන්නේ පරම්පරා පහක කලයක සිටය.

මහ පරිමාණයේ කඩයේ සිට සිල්ලර කඩය දක්වා අවුරුදු රසකැවිල්ලෙන් පමණක් නොව වෙනත් රසකැවිලිවලින් රටේ කඩ සාප්පු මෙන්ම නිවෙස් පුරවන්නේ මේ ගම්මානයයි. කාලය නොමැති වීමෙන් අවුරුදු සිරිය මැකී නොයන්නට ඉඩ නොදී අවුරුදු මේසය සරසන්නට නාගරික ජන ප්‍රජාවට වෙර දෙන්නේ ඔවුන්ය. ඒහෙයින් අවුරුදු ලංවෙත්ම මේ ගමට අවුරුදු ඇනැවුම් එන්නේ රටට ඇති වන්නට අවුරුදු කන්නට මුල පුරන්නටය.

කැවුම්, කොකිස්, ආස්මි, අතිරස, දොදොල්, අලුවා ඇතුළු අවුරුදු කෑම පමණක් නොව ගල් මස්කට්, පොල් කේක්, රුලං අලුවා වැනි පාරම්පරික රස කැවිල්ලෙන්ද මේ ගම පොහොසත් වන්නේ වසර පුරාමය.

මේ පාරම්පරික රසකැවිලි ගම්මානයේ ඉදෙන අවුරුදු කැවිලි බැදෙන්නෙ නි‍ෙවසේ අවුරුදු මේසයටය. ඒ සඳහා බොහෝ සේ කාර්ය බහුල වන මේ ගම නොනවත්වාම රටේ අඩුව පුරවමින් ඇති තරමට අවුරුදු කැවිලි සපයන්නට දක්ෂ වී ඇත්තේ අද ඊයේ සිට නොවේ. නොයෙක් ප්‍රමාණයෙන් සහ නොයෙක් මිල ගණන් යටතේ මේ කැවිලි අලෙවි වන්නේ ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේය.

මුතුන් මිත්තන්ගේ කාලයේ පටන් පැවත එන යාගොඩමුල්ල රස කැවිලි ගම්මානයේ වර්තමානයේද එදා වගේම රස කැවිලි නිෂ්පාදනය අදත් සිදු කරයි. ඒ අතීතයේ සිටි මුතුන් මිත්තන්ගෙන් පැවත එන පරම්පරාවෙන් වීම සතුටට කරුණකි. එහෙත් එදාට වඩා සංකීර්ණ සමාජයක ගෘහණිය කාර්‍ය බහුල නිසාම කැවිලි මේසයට පිළියෙල වන කැවිලි බොහො විට නි‍ෙවසේ තැනු ඒවා නොව කැවිලි සකසන ලියන්ගෙන් මිලදි ගත් කැවිලිය.

බක් මාසය ලබන කොටම මෙම ගම්මානයේ පාරම්පරික රස කැවිලි නිපදවන්නන් හරිම කාර්යබහුලය. ඒ වෙන කිසිවක් නිසා නොව සිංහල අවුරුදු කෑම මේසය රස ගන්වන්නට කැවුම්, කොකිස්, අතිරස, ආස්මී ඇතුළු කැවිලි ඉල්ලා නොනවත්වා ලැබෙන ඇණවුම් නිසාය. රටටම අවුරුදු දෙන ඔවුන්ටද මෙදා අවුරුද්ද සරුය.

අවුරුදු කෑම මේසය රස ගන්වන්නට හැඩ කරන්නට වෙළෙඳපොළෙන් අප රැගෙන යන රස කැවිලි බොහෝමයක් යාගොඩමුල්ල රස කැවිලි ගම්මානයේ පාරම්පරික රස කැවිලි නිපදවන්නන්ගේ දෑතින් හදපු ඒවා බව බොහෝ දෙනා දන්නේ නැත. නමුත් සත්‍ය ලෙසම වර්තමානය වන විට බොහෝ නිවෙස්වල අවුරුදු කෑම මේසය රස ගන්වන්නට තබා ඇත්තේ යාගොඩමුල්ල රස කැවිලි ගම්මානයේ පාරම්පරික රස කැවිලි නිෂ්පාදකයින්ගේ දෑතින් වෙහෙස වී නිපද වූ රසකැවිලි බව කිව යුතුය.

ඒ නිසාම මෙවර සිංහල අලුත් අවුරුදු සමය ආරම්භයේ සිටම රස කැවිලි අලෙවිය විශාල ලෙස ඉහළ ගොස් ඇති බව මිනුවන්ගොඩ යාගොඩමුල්ල පාරම්පරික රස කැවිලි නිෂ්පාදකයෝ පවසති.

“ඇත්තටම මෙදා සිංහල අවුරුදු බිස්නස් හොඳයි; සරුයි. අපි හදන නාරන් කැවුම්, කොණ්ඩ කැවුම්, මුං කැවුම් සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. පසුගිය වසරවලට වඩා ඉල්ලුම ගොඩක් වැඩියි. අද වෙනකොට ගොඩක් නිවෙස්වල අයට මේ වගේ කැවිලි වර්ග හදන්න දන්නෙත් නැහැ. වෙලාවකුත් නැහැ. ඒ නිසා අපේ නිෂ්පාදනවලට හොඳ වෙළඳපොළ ඉල්ලුමක් මේ වෙනකොට පවතිනවා. අවුරුද්දට පෙරදින කේක් හදන්න පටන් ගන්නවා. කිසිම රසකැවිලි වර්ගයක හෝ කේක්වල මිල අපි වැඩි කළේ නැහැ. සෑම කෙනෙකුටම අපේ රසකැවිලි භුක්ති, විඳිමින් සතුටින් අවුරුද්ද සමරන්න අඩු මිලට රසකැවිලි මිලදී ගන්න අපගේ පාරිභෝගික ජනතාවට අපි ඉඩ ලබා දීලා තියෙනවා. ඒ විජිතා වීරසිංහය.”

මෙම රස කැවිලි ගම්මානයේ සිටින තවත් පාරම්පරික රස කැවිලි නිෂ්පාදනය කරන කාන්තාවන් බොහෝය. අවුරුද්දට පමණක් නොව වසර පුරාම ඔවුන් වෙහෙසෙන්නේ රසකැවිලි නිපදවන්නටය. ගමේ රසකැවිලි නිෂ්පාදනය කරන වයස්ගතම කාන්තා වන එව්.ඩී. ඥානවතී අප සමඟ පැවැසූයේ මෙවැන්නකි.

“ මේ සැරේ කැවුම් කොකිස් අලෙවිය ඉතා හොඳයි. වෙනත් වසරවල අපි කැවිලි හදාගත්තහම ඒවා විකිණිලා අවසන් වෙනකම් ලොකු හිතේ බයකින් ඉන්නේ කැවිලි ඉතුරු වෙයිද කියලා. නමුත් මේ සැරේ ඉල්ලුමට සැපයුම දෙන්නත් බැරුවයි ඉන්නේ. මේ වෙනකොට හදපු සෑම රස කැවිල්ලක්ම ඉවරයි. දැන් අපි අලුතෙන් හදන්න ආයි පටන් ගත්තා . කොණ්ඩ කැවුම්, අති රස, මුං කැවුම්, කොකිස් සඳහා ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම පොල් කේක්වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. අපෙන් කැවිලි මිලදී ගන්න බොහෝ දෙනෙක් සිංහල අවුරුදු කෑම මේසය රසවත් කරන්න තමයි කෑම වර්ග අපෙන් මිලදී ගන්නේ. ඒ නිසා අපි අපි හදන සෑම කැවිලි වර්ගයක්ම ඉතා හොඳ ප්‍රමිතියට ගුණාත්මක බවින් ඉහළම තත්ත්වයෙන් අඩු මිලට පාරිභෝගික ජනතාවට ලබා දෙනවා. අපි ළඟට කැවිලි මිලදී ගන්න එන ජනතාව දිහා බලපුවහම මේ වසරේ සිංහල අලුත් අවුරුද්ද ඒ ජනතාව ගොඩක් සතුටින් ගත කරන බව පේනවා .

ඒ නිසාම තමයි අපේ රස කැවිලි නිෂ්පාදනයත්, අලවියත් විශාල ලෙස වැඩි වෙලා තියෙන්නේ. පොල්, පොල්තෙල්, පොල් පැණි, මිල ඉහළ ගියා කියලා අපි කිසිම කැවිලි වර්ගයක මිල සතයක්වත් වැඩි කළේ නැහැ. පසුගිය කාලෙ තිබුණු මිලටමයි අදත් ඒ කැවිලි වර්ග අපි විකුණන්නේ. අපි මේ කරන ජනතා මෙහෙවරත් සමඟ රජය අපේ ගම්මානේ පාරම්පරික රස කැවිලි කර්මාන්තය කරගෙන යන අපි වගේ අයව රැක ගන්නත් අපට ඉදිරියට එම කටයුතු සාර්ථකව කරගන්නත් උදව් කරයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

ඔවුන් රටටම අවුරුදු දී අවුරුදු ජයටම සමරති. මෙදා බිස්නස් හොඳය. ඒ නිසා සිය නිවෙස්වලට ඇති තරමට අවුරුදු දෙන්නට ඔවුන්ට හැකි වී ඇත්තේය.

“ අවුරුදු බිස්නස් නියමයි. දොදොල් වර්ග, මස්කට් වර්ග, රුළං ඉතා හොඳින් අලෙවි වෙනවා. ඒ වගේම පොල් කේක්වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. වෙනත් වසරවලට වඩා මේ වසර අලෙවිය. ඉතා හොඳයි. අප්‍රේල් මාස ලබන කොටම බිස්නස් හොඳ වුණා. ඉදිරි දින කීපය දැන් තියෙන තත්ත්වයටත් වඩා හොඳ වෙයි කියලා අපි විශ්වාසයෙන් ඉන්නේ. මෙවර ජනතාවත් ගොඩක් සතුටින් අලුත් අවුරුද්ද සමරන්න සූදානමින් ඉන්න බව අපි ළඟට කැවිලි ගන්න එන අයගෙන් තේරෙනවා.” ඒ තවත් නිෂ්පාදකයකු වන ඉරෝෂ් රණසිංහය.

මිනුවන්ගොඩ කොට්ඨාසයෙහි ඉදිකරන ලද මෙම ගම්මාන හතර විවෘත වූයේ දැනට වසර කිහිපයකට පෙරය. ඒ යාගොඩමුල්ල රසකැවිලි ගම්මානය , මැඩෑමුල්ල, ඇඟලුම් ගම්මානය, බෝධිපිටුවල – කළුගල් ගම්මානය සහ කොරස කොහු ගම්මානයයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division