Home » ඉන්දියාව හමුවේ දණගැසූ යැංකි ඩිකීගේ විදේශ ප්‍රතිපත්තිය

ඉන්දියාව හමුවේ දණගැසූ යැංකි ඩිකීගේ විදේශ ප්‍රතිපත්තිය

by Mahesh Lakehouse
April 12, 2025 12:32 am 0 comment

න්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරය මඟින් සංකේතවත් වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේ ඇති කැප වීම බව ‘The Guardian’, ‘Al Jazeera’, ‘The Washington Post’ සහ ‘The Straits Times’ වැනි අන්තර්ජාතික මාධ්‍ය විස්තර කර තිබිණි.

‘Al Jazeera’ පුවත් සේවය ඉන්දීය අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය දකින්නේ අසල්වැසියාගේ ඉහළ රාජ­්‍යතාන්ත්‍රිකත්වය පෙන්වීමේ උත්සාහයක් ලෙසය. මෙය හුදෙක් ආර්ථික සහයෝගිතාව වෙනුවෙන් සිදු කළ සංචාරයක් පමණක් නොව, සංස්කෘතික සහ ආගමික රාජ­්‍යතාන්ත්‍රික සංචාරයක්ද වන බවද ඔවුන් සඳහන් කර තිබිණි. බෞද්ධ පුදබිම් වැඳ පුදා ගැනීම හා ආගමික උත්සවවලට සහභාගි වීම මඟින් ඉන්දීය අගමැතිවරයා දෙරට අතර වූ දිගුකාලීන ගැඹුරු ශිෂ්ටාචාර සබඳතා ඉස්මතු කිරීමේ උත්සාහයක්ද පිළිබිඹු වන බව අල් ජසීරා පුවත් සේවය පවසා තිබිණි.

‘The Guardian’ පුවත්පත මේ සංචාරය විස්තර කර තිබුණේ ඉන්දීය සාගරය නම් චෙස් පුවරුව මත සතුරාගේ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම සඳහා ඉන්දියාව විසින් උපායශීලිව ඉත්තන් මෙහෙයවීමකට සමාන දෙයක් බවයි. විශේෂයෙන්, සමුද්‍ර සබඳතා යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධව බීජිං රජයට වැඩි ඉහළ මැදිහත් වීමක් ඉන්දියාව පෙන්නුම් කළ බව ඔවුන් සඳහන් කර තිබිණි.

සිංගප්පූරුවේ පළ කෙරෙන ‘The Straits Times’ පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පහසුකම් නැංවීම, බලශක්ති සහයෝගිතාව සහ වරාය සංවර්ධන කටයුතු දියුණු කිරීම වැනි ආර්ථික කටයුතු කෙරෙහි දැඩි අවධානයක් ඉන්දියාව යොමු කර තිබෙන බවය. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ බලශක්ති පද්ධතිය ඒකාබද්ධ කිරීමට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කොට ඇති යෝජනාව ශ්‍රී ලංකාවේ විදුලි බල ගැටලු සැබෑ වෙනසකට ලක් කිරීමට මුල පුරන බවද එම පුවත් සේවය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඇති වීමට පටන් ගැනුණු කාලයේදීම ඉන්දීය රජය අමෙරිකානු ඩොලර් බිලියන 4 ඉක්මවා සහනදායි ණය මුදලක් පිරිනැමීය. ඉන්දියාව මෙවර අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේදී නාවික, දුම්රිය සහ ගුවන් සේවා සම්බන්ධව ඇති කරගත් නව ගිවිසුම් මඟින් දෙරටේ රාජ­්‍යතාන්ත්‍රික සබඳතා කෙරෙහි සුභවාදි ඒකාබද්ධතාවක් ඇති වන බව ‘Bloomberg’ ප්‍රවෘත්ති සේවය සඳහන් කර තිබිණි.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සහ අත්සන් තබන ලද ගිවිසුම් පිළිබඳ සඳහන් කරන ‘Nikkei Asia’ ප්‍රවෘත්ති සේවය පවසා තිබුණේ මේ චාරිකාව ‘කොළඹ වෙනුවෙන් අත්‍යවශ්‍ය ආර්ථික ජීවන අත්වැලක්’ වශයෙනි. මෙවර අත්සන් තැබූ ගිවිසුම් තුළින් ඉන්දීය වෙ‍ෙළඳපොළට වැඩි වශයෙන් ප්‍රවේශ වන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන බැවින් ශ්‍රී ලංකා රුපියල සහ සංචිත ස්ථාවර කරගැනීමට හැකි වන බවත්, ශක්තිමත් පිරිවැයක් යටතේ අත්‍යවශ්‍ය සැපයුම් සලසාගැනීමට හැකි වන බවත් එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් තබන ලද ගිවිසුම් කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට හෝ ජනතාවට ඉදිරිපත් නොකළ ඒවා බවට හුවා දක්වන ශ්‍රී ලංකාවේ විපක්ෂය සහ බොහෝ ජනමාධ්‍ය මේ දිනවල පවසන්නේ එකම කතාවකි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ස්වෛරිභාවය පාවා දී ඇති බවට මතයක් සමාජගත කිරීමට විපක්ෂයට අවශ්‍යව තිබේ.

මේ ගිවිසුම් සම්බන්ධයෙන් දළ පැහැදිලි කිරීමක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ආණ්ඩුවේ ප්‍රවෘත්ති මාධ්‍ය හමුවේදී අවස්ථා දෙකකදී සිදු කර තිබිණි.

ජනාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී පැහැදිලි කළ අතර, විදේශ අමාත්‍ය විජිත හේරත් විසින් පාර්ලිමේන්තුවේදී අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළේය. එසේ තිබියදී දිගින් දිගටම ලංකාව පාවා දුන්නා, ගිවිසුම් අත්සන් කළා, යනුවෙන් කෑමොර දෙන්නේ ගොබෙල්ස් න්‍යායට අනුව එකම දේ නැවත නැවතත් ප්‍රකාශ කරමින් අසත්‍යය සත්‍යය බවට පෙරළීම සඳහාය.

ඇත්ත වශයෙන්ම අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේදී අත්සන් තැබූ ගිවිසුම් සහ ශ්‍රී ලංකාවට අත් වූ මූල්‍යමය වාසි කවරේද?

• උතුරු දුම්රිය මාර්ගයේ කි.මී. 128ක් දුර මහව – ඕමන්ත කොටස වැඩ අවසන් කොට ශ්‍රී ලංකාවට භාර දීම

• ඉන්දීය ආධාර අ.ඩො. මිලියන 14.89ක් වැය කොට වැඩ අවසන් කළ උතුරු දුම්රිය මාර්ගයේ මහව – අනුරාධපුර කොටසේ සංඥා පද්ධතිය විවෘත කිරීම

• ඉන්දියාවේ මූල්‍ය දායකත්වයෙන් සිදු කෙරෙන සාම්පූර් සූර්ය බලාගාරයේ වැඩ ආරම්භ කිරීම කොළඹ සිට මාර්ගගත ක්‍රමයට සිදු කිරීම

• ඉන්දියාවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලයේ විදුලි හා බලශක්ති බලාගාරයක් ආරම්භ කිරීම

• ශ්‍රී ලංකාවේ පන්සල්, කෝවිල්, පල්ලි ඇතුළු ආගමික ස්ථාන 5,000ක වහලය මත සූර්ය කෝෂ සවි කිරීම. එය මුළුමනින්ම ඉන්දීය ආධාර යටතේ සිදු වන්නකි.

• ඉන්දීය ආධාර යටතේ දඹුල්ලේ ඉදි කළ නවීන තාක්ෂණයෙන් යුතු කෘෂි ගබඩා සංකීර්ණය විවෘත කිරීම

• ඉන්දියාවෙන් ආනයනය කෙරෙන ඖෂධ සහන මිලක් යටතේ සැපයීමට ගිවිසුම්ගත වීම

• මෛත්‍රි-රනිල් ආණ්ඩුව යටතේ 2022, 2023 වර්ෂවලදී ඉන්දියාවෙන් ලබාගන්නා ලද ‘ස්වැප්’ ණය මුදල් සඳහා ගෙවීමේ කාලය දීර්ඝ කිරීම සහ පොලී අනුපාත අඩු කිරීම

• පසුගිය ආණ්ඩුව විසින් ඉන්දියාව සමග ඇති කරගෙන තිබෙන ආරක්ෂක ගිවිසුම් වඩාත් ක්‍රමවත් කරගැනීමෙන් ශ්‍රී ලංකාවට ඇති ප්‍රතිලාභ වර්ධනය කරගැනීම

• ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට ඉන්දීය රජයෙන් ලබා දෙන පුහුණු වැඩසටහන් ප්‍රමාණය වැඩි කිරීම. ඉන්දීය නෞකාවලට ශ්‍රී ලංකාවේ වරායන්හිදී සේවා සැපයීම වැඩි දියුණු කිරීම

ආදි කරුණු ඊට ඇතුළත්ය. එය කිසි සේත්ම නව ආරක්ෂක ගිවිසුමක් නොවන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. විපක්ෂයට අවශ්‍යව තිබෙන්නේ ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත් කරගත් මේ ප්‍රතිලාභ ජනතාවට වසන් කිරීමය. කොටින්ම කියතොත්: අන්තර්ජාතික කටයුතුවලදී වර්තමාන ආණ්ඩුව ඉතා දක්ෂ ලෙස රාජ්‍ය සබඳතා හසුරුවමින් සිටීම ශ්‍රී ලංකාවේ විපක්ෂයේ දේශපාලන පක්ෂවලට දිරවන්නේ නැත. ඔවුන් මතු කරන්න වෑයම් කරන්නේ එදා ඉන්දියාවට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණවලට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණට අද ඉන්දියාව මිතුරකු වන්නේ කෙසේද කියාය.

රනිල් සමඟ සහ වාසය නැවත ආරම්භ කළ රාජිත සේනාරත්න ප්‍රශ්න කරන්නේ සාම්පූර් බලාගාරයට එදා විරුද්ධ වූ අනුර අද සාම්පූර් බලාගාරයට පක්ෂ වන්නේ කෙසේද කියාය. ඒ කතාවම දේශපාලන වශයෙන් අමු තක්කඩි කතාවකි. එදා ජවිපෙ විරුද්ධ වූයේ ත්‍රිකුණාමලයේ සාම්පූර්වල විශාල පරිසර විනාශයක් සිදු කරමින් ගල්අඟුරු බලාගාරයක් ස්ථාපිත කරනවාටය. ඉන්දීය අගමැතිවරයා මුල්ගල තැබුවේ සාම්පූර් සූර්ය විදුලිබලාගාරයටය. රාජිත එය වසන් කරන්නේ ජනතාව නොමඟ යැවීම සඳහාය.

එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 80, 90 දශකවල පෙනී සිටියේ දකුණු ආසියාවේ අමෙරිකානු මූලෝපායයන් වෙනුවෙනි. දේශපාලන ලෝකයේ ඔහු හඳුන්වන ලද්දේ ‘යැංකි ඩිකී’ යන අන්වර්ථ නාමයෙනි. ජේ.ආර්. ජයවර්ධන 1977දී ලංකාව සිංගප්පූරුවක් කරන බවට පෝස්ටර් ගැසුවේ එවකට සිංගප්පූරුව අමෙරිකානු අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටි ඔහුගේ සමීප මිතුරකු වූ නිසාය.

ඉන්දීය සාගරයේ ‘දියාගෝගාෂියා’ දිවයින අමෙරිකානු යුද කඳවුරක් කරනවාට එවකට පැවති අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව දැඩි ලෙස විරෝධය පළ කළේය. ඉන්දීය සාගරය සාම කලාපයක් විය යුතුයැයි ශ්‍රී ලංකාව නොබැඳි සමුළුවට ගෙනා යෝජනාවට ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේද සහය හිමි විය. දෙරටම ක්‍රියා කළේ අමෙරිකානු විරෝධි ප්‍රතිපත්තියකය.

බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙරටම නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ නායකයන් ලෙස මතු විය. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු නිරවි යුද සමයේ සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ගේ අවශ්‍යතා ඉදිරියට ගෙනයෑම වෙනුවෙන් දෙරටම පෙනී සිටියේය.

‘නොබැඳි ජාතීන්’ යන යෙදුමම 1954දී අගමැති ජවහර්ලාල් නේරු විසින් කොළඹ පැවති සමුළුවකදී සඳහන් කරන ලද්දකි. 1977දී එජාපය බලයට පැමිණීමෙන් පසු මේ සියල්ල උඩුයටිකුරු විය. ජයවර්ධන ක්‍රියා කළේ ඉන්දීය සාගර කලාපයේ අමෙරිකානු රූකඩයකු ලෙසය. ශ්‍රී ලංකාවට එයින් බරපතළ හානි විඳින්න සිදු විය. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදි සංවිධානවලට ඉන්දියාවේ කඳවුරු බඳින්න පහසුකම් ලැබුණු අතර, ඉන්දියාවේ මැදිහත් වීම ඇතිව එකල උතුරේ සන්නද්ධ සංවිධාන ප්‍රමාණය 28 දක්වා වර්ධනය විය.

සියල්ල සිදු වූයේ එජාපයේ අමෙරිකානු ගැති විදේශ ප්‍රතිපත්තිය නිසාය. ඉන්දීය අත පෙවීම් තීව්‍ර වූයේ එජාප ආණ්ඩුවේ දක්ෂිණාංශික විදේශ ප්‍රතිපත්තිය නිසාය. ගුවනින් පරිප්පු දමන තැනට අන්තිමට වැඩේ දුර දිග ගියේය. ඉන්දීය පියුම් විලේ නෙළුම් පමණක් නොව මැඩියන්ද සිටින බව රණසිංහ ප්‍රේමදාස කීවේය. අල්ලපු ගෙදර මිදුලේ කැත කිරීම බල්ලාගේ සිරිතයැයි ඔහු රජීව් ගාන්ධිට පහර දුන්නේය. සියල්ල අවසානයේ ජනාධිපති ජයවර්ධන ඉන්දියාව ඉදිරියේ දණගැසුවේය.

1987 ජූලි 29 ජනාධිපති ජයවර්ධන කුප්‍රකට ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළේ ශ්‍රී ලංකා ජනතාවගෙන් හෝ පාර්ලිමේන්තුවෙන් විමසා නොවේ. ඔහු පැය 48ක් ඇඳිරිනීතිය දමා, අගමැති රජීව් ගාන්ධි ලංකාවට ගෙන්වා ගිවිසුම අත්සන් කළේය. ඉන්දු-ලංකා ගිවිසුම විසින් නිර්මාණය කරන ලද දේශපාලන රාමුව ශ්‍රී ලංකාවේ ස්වෛරිභාවයට අභියෝග කරන්නක් විය.

ශ්‍රී ලංකාවේ දේශප්‍රේමි ජනතාව ඊට එරෙහිව ගෙනගිය ව්‍යාපාරයට ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දුන්නේය. එය ජවිපෙ ඓතිහාසික කාර්යභාරය රටත් ජනතාවත් වෙනුවෙන් ඉටු කිරීමකි.

– දේශපාලන ලියුම්කරු විසිනි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division