Home » අයුතු වත්කමින් කුම්බලා මාළු කෑ අයට වැඩ වරදින පනත

අයුතු වත්කමින් කුම්බලා මාළු කෑ අයට වැඩ වරදින පනත

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment
තාරක වික්‍රමසේකර

පේ රටේ කාලාන්තරයක් තිස්සේ දේශපාලන වේදිකාවල මෙන්ම රූපවාහිනී නාළිකාවන්හි දේශපාලන සංවාදවලද විපක්ෂ මන්ත්‍රීවරුන් හඬ නැඟුවේ අයථා වත්කම්වලින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් විවිධ වත්කම් උපයාගෙන ඇති බවයි. එමෙන්ම ඒ වත්කම් තම රජයක් යටතේ ආපසු ජනතාවට දීමට කටයුතු කරන බවයි. එහෙත් දශක ගණනාවක් තුළ එවැනි කිසිදු අයථා වත්කමක් දේපොළක් ආපසු ලබා ගැනීමට කටයුතු කළේ නැත. අනෙකක් තබා, ඉතා පැහැදිලි සාක්ෂි තිබියදී පවා මහ බැංකු බැඳුම්කර වංචාවට ඍජුව සම්බන්ධ වූ අයට පවා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවිණි.

පැනමා පත්‍රිකා මෙන්ම පැන්ඩෝරා පත්‍රිකාවලින්ද නම් හෙළි වුණු මෙරට දේශපාලකයන්ට පවා නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවීමට ප්‍රධාන හේතුවක් වූයේ අයථා වත්කම් හෙවත් අනීතික මාර්ගවලින් උපයාගත් දේපොළ යළි රජයට හෝ මහජන සුභසිද්ධිය වෙනුවෙන් පවරාගැනීමට ඍජු නීතියක් පනතක් නොතිබීමය. ඒ උදෙසා ක්‍රියාත්මක මුදල් විසුද්ධිකරණ පනත හෝ වෙනත් පනත් යටතේ නීතිමය කටයුතු සිදු කිරීමේදී නීතියේ හිඩැස්වලින් පැනයන්නට අයථා වත්කම් ඉපැයූවෝ කටයුතු කළහ‍.

එහෙත් වත්මන් රජය විසින් අපරාධයකින් එසේත් නැත්නම් අයථා මාර්ගයෙන් උපයාගත් දේපොළ යළි පවරාගැනීමට අදාළ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ.

ඇත්තෙන්ම සොරකම් කරන ලද වත්කම් ආපසු ලබා ගැනීම යනු අපරාධයක ප්‍රතිඵලයක් ලෙස රටකට අහිමි වූ වත්කම් තහනමට ගැනීම, රාජසන්තක කිරීම, ඒවායේ ඍජු හිමිකාරිත්වය ඇති රටට ඒවා ආපසු භාර දීම සහ ඒවායේ නීත්‍යනුකූල හිමිකරුවන්ට යළි ලබාදීම සහතික කරන ක්‍රියාවලියකි. මේ හරහා අපරාධයකින් නැත් නම් අනීතිකව උපයාගත් වත්කම් යළි පවරාගන්නේ කෙසේද යන්න ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් ජනමාධ්‍යවේදීන් උදෙසා පසුගියදා වැඩමුළුවක්ද පවත්වන ලදි.

ඇත්තෙන්ම මේ කාර්යය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. සාමාන්‍යයෙන් එවන් වත්කම් ආපසු ලබා ගැනීම සම්පූර්ණ කිරීමට වසර 10ක් පමණ ගත වේ.

කෙසේ වෙතත් මේ වන විට ලෝකයේ රටවල් රැසක් එලෙසින් අයථා උපයා ගැනීම් සම්බන්ධ වත්කම් රාජ්‍යයන් වෙත පවරා ගෙන තිබේ. උදාහරණ ලෙස පෙන්වා දෙන්නේ නම් පසුගිය වසර 21 කාලය තුළ, පිලිපීනයේ ෆර්ඩිනන්ඩ් මාකෝස් විසින් සොරකම් කරන ලද අමෙරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදල් ස්විට්සර්ලන්තයෙන් ආපසු ලබාගෙන ඇත.

එමෙන්ම 2007 වන විට පේරු රාජ්‍යය, ස්විට්සර්ලන්තය, කේමන් දූපත් සහ අමෙරිකා එක්සත් ජනපදයෙන්, පේරුහි හිටපු බුද්ධි නිලධාරියකු වන ව්ලැඩිමිරෝ මොන්ටෙසිනෝස් විසින් සොරකම් කරන ලද අ.ඩො. මිලියන 174කට වඩා ආපසු අය කරගෙන තිබිණි. එසේම නයිජීරියාවේ හිටපු ජනාධිපති සානි අබාචා විසින් සොරකම් කරන ලද අ.ඩො. මිලියන 700ක මුදල්, ස්විට්සර්ලන්ත බලධාරීන් විසින් ක්‍රියා විරහිත කර රජය සතු කරන ලද අතර, 2007 වසරේදී ඒ මුදල් නයිජීරියාවට ආපසු භාර දෙන ලදි.

2020 ස්විට්සර්ලන්ත සහ උස්බෙකිස්තාන රජයන්, උස්බෙකිස්තාන හිටපු ජනාධිපතිගේ දියණිය වන ගුල්නාරා කරිමෝවාට අයත් ස්විට්සර්ලන්තයේ ගිණුම්ගත කර තිබූ අ.ඩො. 131ක් වටිනා රාජසන්තක කරන ලද වත්කම් පෙරළා එරටට ගෙන්වාගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර ඒ නඩුව තවමත් අසමින් පවතී.

මෙවන් ආකාරයෙන් අයථා වත්කම් නැත් නම් අපරාධයක් හරහා උපයාගත් වත්කම් යළි අදාළ රටට පවරාගැනීමේ ක්‍රමවේදය ප්‍රධාන පියවර 4කින් සමන්විතය. ඒ අනුව, සොරකම් කරන ලද වත්කම් විදේශ රටවලින් ආපසු ලබාගැනීම සඳහා පළමු පියවර ලෙස: අවිධිමත් වත්කම් සොයාගැනීම කළ යුතු වේ. දෙවැන්න ලෙස: එකී වත්කම් විධිමත් ලෙස අදාළ රටෙන් ඉල්ලීම් සිදු කළ යුතුය. ඒ සඳහා අන්‍යෝන්‍ය නීති ආධාර (MLA) සම්බන්ධයෙන් අත්සන් කිරීම සිදු කෙරේ. තුන්වනුව: වත්කම් ස්ථාපිත රටේ අධිකරණ නියෝගයක් ඒ උදෙසා ලබා ගැනීම සිදු කෙරේ. සිවුවනුව: ඒ වත්කම් අදාළ රටට ආපසු භාර දීම සිදු කෙරේ.

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ නීතියක් අවශ්‍ය වන්නේ වර්තමානයේ නීතිය ක්‍රියාත්මක වන්නේ පුද්ගලයන් සම්බන්ධයෙන් වන නිසාය. නව පනතට අනුව අපරාධයකින් උපයාගත් වත්කම් දේපොළ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එහි භාරකරුවකු අයිතිකරුවකු (හිමිකරුවකුව‍) සිටීම අවශ්‍යම නොවේ. අදාළ දේපොළ සම්බන්ධයෙන් හිමිකාරිත්වය රාජ්‍යයට පවරාගැනීම සිදු කෙරේ. එමෙන්ම වර්තමානයේ මෙරට නීතිය ක්‍රියාත්මක වන යම් අපරාධයක් කළ පුද්ගලයකු වරදකරුවකු වන තුරු ඔහු සැකකරුවකු ලෙස හැඳින්වීම සහ අදාළ දේපොළක් හෝ වත්කමක් ඔහු සතු නොවන බව සාක්ෂි විත්ති පාර්ශ්වයෙන් සිදු කිරීමේ ක්‍රමවේදය මෙහිදී අනෙක් පසට සිදු කෙරේ. ඒ අනුව අපරාධයකින් උත්පාදිත වත්කම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අදාළ පුද්ගලයකු සිටී නම් ඔහු ඒ දේපොළ උපයාගත් ආකාරය පිළිබඳ සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුය.

අයථා ලෙස උපයාගෙන ඒ වත්කම් භුක්ති විඳින්නන්ද අපරාධකරුවන් යටතට ගැනෙන අතර, ඔවුන්ට එවැනි අපරාධයකින් උත්පාදිත දේ අහිමි කර, ඒවා නීත්‍යනුකූල හිමිකරුවන්ට ආපසු භාර දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම රාජ්‍යයක වගකීම වේ.

අපරාධයකින් උත්පාදිත වත්කම් පිළිබඳ නිසි ලෙස හඳුනාගැනීම, සොයාගැනීම, අනාවරණය කරගැනීම, විමර්ශනය කිරීම, තහනම් කිරීම, තහනමට ගැනීම, සංරක්ෂණය කිරීම, ආරක්ෂා කිරීම, අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීම, රජය සතු කිරීම සහ අපරාධයකින් උත්පාදිත දේ ආපසු භාර දීම සඳහා නව පුළුල් ක්‍රියාමාර්ග මේ පනතින් හඳුන්වා දී ඇත.

නීති විරෝධි ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් ලෙස හෝ ඊට අදාළව ඍජුව හෝ වක්‍රව ලබාගත් ඕනෑම දේපොළක් නීති විරෝධි ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් ලෙස හෝ ඒ හා සම්බන්ධව ඍජුව හෝ වක්‍රව ලබාගත් ඕනෑම දේපොළක් ආර්ථික හෝ මූල්‍යමය වාසි, ඉතිරිකිරීම් සහ අරමුදල් මේ අයථා ඉපයීම් ගොන්නට ඇතුළත් වේ. නීති විරෝධි ක්‍රියාකාරකම සිදු කර තිබෙන්නේ මේ පනත ක්‍රියාත්මක වීමට පෙරද පසුවද යන්න මෙහිදී වැදගත් නොවන අතර, නීති විරෝධි ක්‍රියාකාරකම ශ්‍රී ලංකාව තුළ හෝ වෙනත් ස්ථානයක සිදු කර තිබේ ද යන්න නොසලකා, එවැනි අපරාධයකින් උත්පාදිත උපකරණත්වයන් (instrumentalities) සහ එම උත්පාදිත දේ සම්බන්ධයෙන් මෙහිදී කටයුතු කළ හැකි වනු ඇත.

අපරාධයකින් උපයා ගත් වත්කම් එසේ ආපසු ගැනීමේදී හිමිකරුවකු නැතිව වුවද ඒ සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කක් මෙන්ම එම දේපොළ සම්බන්ධයෙන් හිමිකාරිත්වයක් සතු අයකු හෝ කණ්ඩායමක් සිටී නම් එම පාර්ශ්වයන්ට එරෙහිව කටයුතු කිරීමෙන් අනතුරුව අදාළ වත්කම් රජය භාරයට ගනු ලැබේ.

අපරාධයකින් උපයාගත් යම් වත්කමක් තෙවැනි පාර්ශ්වයකට බදු දී හෝ අලෙවි කර හෝ උකස් කර හෝ ඇත්නම් ඒ සම්බන්ධයෙන්ද බලපවත්වන්නා වූ නීතිය මෙහිදී පැහැදිලිව දක්වා ඇත. එහිදී තෙවැනි පාර්ශ්වය අදාළ දේපොළ හෝ වත්කම තමන් සතු කරගෙන ඇත්තේ නියමිත පටිපාටියකින් මෙන්ම අදාළ දේපොළ හෝ වත්කම අපරාධයකින් උපයාගත් බවක් නොදැන බව ඒත්තු ගැන්වේ නම් ඔහුට එහි හිමිකාරිත්වය හිමිවේ. නමුත් අපරාධයට සම්බන්ධ වූ තැනැත්තාගෙන් එම වටිනාකමට සමාන වෙනත් දේපොළක් හෝ මුදලක් හෝ රජය භාරයට ගනු ලැබේ.

එමෙන්ම යම් අයකු විසින් අදාළ වත්කම පොදු ජන සේවාවකට යොදා ඇත් නම් – උදාහරණයක් ලෙස: ්ආරෝග්‍ය ශාලාවක්, ප්‍රජා ශාලාවක් වැනි කාර්යයක් වෙනුවෙන් යොදා ඇත් නම් – එයද මහජනතාවට එලෙසින්ම පවත්වාගෙන යෑමට අනුමැතිය දෙන්නට මේ පනතින් ප්‍රතිපාදන සැලසී ඇති අතර, අදාළ වටිනාකමට සමාන වත්කම් අපරාධකරුගෙන් අය කරගැනෙනු ඇත.

මේ කාර්යය සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය (PCID – මෙය පනත බලාත්මක කිරීමත් සමඟම ශ්‍රී ලංකා පොලීසියේ අලුතින් ස්ථාපිත අංශයකි) මඟින් මූලිකව කටයුතු කරනු ලැබේ. එමෙන්ම මහේස්ත්‍රාත් අධිකරණය මඟින් කටයුතු කිරීමටත්, අපරාධයකින් උත්පාදිත දේ කළමනාකරණ අධිකාරිය පිහිටුවීමත් (PCMA), අපරාධයක වින්දිතයන් හානිපූරණය කිරීමේ භාර අරමුදල (VCRTF) බලාත්මක කිරීමත් මෙමඟින් සිදු කෙරේ. එසේම මේ පනතට අනුව වරදකරුවකු වන්නකුට දේපොළ පවරාගැනීමට අමතරව දඬුවම් ලෙස රුපියල් මිලියන 10ක් දක්වා දඩ සහ වසර 15 දක්වා සිර දඬුවමක් නියම කළ හැකිය.

මෙහිදී අපරාධයකින් උත්පාදිත දේ සැඟවීම හෝ ස්වරූපය වෙනස් කිරීම, අපරාධයකින් උත්පාදිත දේ අත් කරගැනීම, සන්තකයේ තබාගැනීම, අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ සාක්ෂි විනාශ කිරීම, ආඥා බලාත්මක කිරීම හෝ ක්‍රියාත්මක කිරීම උල්ලංඝනය හෝ ඒ සඳහා බාධා කිරීම, දැන්වීමක් භාර ගැනීම පැහැර හැරීම හෝ දැන්වීමක් සඳහා සාවද්‍ය ප්‍රතිචාරයක් ලබාදීම, අධිකරණ කටයුතු ක්‍රියාවිරහිත කිරීමක් වැළැක්වීමක් සඳහා සාවද්‍ය හෝ නොමඟ යවනසුලු හිමිකම් පෑමක් ඉදිරිපත් කිරීම, රජය සතු කිරීම වැළැක්වීම සඳහා සාවද්‍ය හෝ නොමඟ යවනසුලු හිමිකම් පෑමක් ඉදිරිපත් කිරීම යන කරුණුද බරපතළ වැරදි යටතට අයත් වේ.

පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු එය බලාත්මක වනු ඇත. අපරාධවලින් උපයාගෙන ඇති බව කියන බොහෝ දෙනාගේ වත්කම් පිළිබඳ මෙහිදී හෙළි වනු ඇති අතර, ඔවුන්ට ඉදිරියේදී නීතිය හමුවේ පෙනී සිටීමට සිදු වනු ඇත. නීතිය ආපස්සට ක්‍රියාත්මක නොවන්නක් වන නමුත්, අදාළ පුද්ගලයන් ඒ වත්කම් හරහා තවමත් ලබාගන්නා හෝ එම වත්කම් හරහා ඉපයෙන වත්කම් වෙනුවෙන් මේ පනත බලාත්මක වනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division