මෙය ලක්දිවට වසන්ත (Spring) සමයයි. එහෙත් බ්‍රිස්බේන්වලට නම් මේ සරත් (Autumn) ඍතුවය. සරත් ඍතුව යනු සමර් (Summer) හෙවත් ග්‍රීස්ම (ගිම්හාන) ඍතුව නිමා වී ශීත කාලය (Winter) ලබන්නට පෙර වූ අතරමැදි කාලයයි. සමකය ආසන්නයේ ලක්වැසියකුව සිට ඍතු මාරුව දැනෙන, දක්ෂිණාර්ධ ගෝලයේ, මකර නිවර්තනය (Tropic of Capricorn) අසබඩ රටක පැලපදියම් වූ සේපියන්ස් ගොයියාට, මවුබිමේ වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ සොඳුරු මතක අමතක නැතිය.
සමකය ආසන්නයේ රටක් නිසා ශ්‍රී ලංකාවට ඍතු මාරුව නොදැනෙන තරම්ය. එහෙත් බක් මහේ අවුරුදු අසිරිය සමඟ ගහ-කොළ මලින්-පලින් පිරී කොවුල් නදත් සමඟ අවුරුදු හැඟීම ජන සමාජයම වසාගන්නා අයුරු කොහේ සිටියත් දැනී දැනෙන්නේය. ස්වභාව ධර්මයේ මේ ගහකොළ පල බර වී අස්වනු සරුසාර වන කාලය සමකාසන්න රටවල සශ්‍රීක කාලය ලෙස අලුත් අවුරුදු උදාව නමැති සංකල්පයට පාදක වී තිබේ.
ශීත ඍතුවට අත වනන පෘථිවියේ දක්ෂිණාර්ධ ගෝලයේ රටවලද, ග්‍රීස්මයට අත වනන උත්තරාර්ධ ගෝලයේ රටවලද ආදි වශයෙන් ලෝ වටා කිනම් හතර දිග්බාගයක පදිංචිව සිටියත්, ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික හදවත ස්පන්දනය වන දවස වන්නේ, අප්‍රේල් 13 හෝ 14 දිනක උදා වන සිංහල දෙමළ අලුත් අවුරුද්දය.
‘සිංහල දෙමළ අලුත් අවුරුද්ද’ කියන විටම ඒ තුළ ගැබ් වූ අතිවිශාල ඓතිහාසික වූත් සංස්කෘතිකමය වූත් ඥාතිමය වූත් අමතක නොකළ හැකි කතාවස්තුවක් තිබේ. එහෙත් විවිධ හේතුකාරණා නිසා ශ්‍රී ලාංකේය සමාජයේ ඒ ළබැඳියාව අමතක කර ඇති දෝයි සිතේ.
“ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා” යැයි කුඩා කල සිටම අප අසා තිබේ. එහෙත් කවදාවත්, “පුත්තාණ්ඩු වාත්තුක්කල්” හෙවත්, දමිළ බසින් “සුබ අලුත් අවුරුද්දක් වේවා” කියා ශ්‍රී ලාංකේය සහෝදර දමිළ ප්‍රජාවට සුබ පතනවා අපි අසා නැත්තෙමු. මෙතැන් සිට හෝ එවැනි දේ ඇරඹීම සහෝදර ජාතියක ආදරය දිනාගැනීමේ පුංචි පියවරකැයි සිතේ.
හැම විටම ප්‍රමුඛස්ථානය බලාපොරොත්තු වන මහජාතියත්, මහජාතියේ ආගමත් අදහමින් සිට, ‘මල්ටි කල්චරල්’ හෙවත් බහු සංස්කෘතික ප්‍රවේශයක් සහිත ඔස්ට්‍රේලියාව වැනි තැනක පදිංචි වූ විට දැනෙන වෙනස හාත්පසින්ම වෙනස්ය. ජනසමාජය තුළ සහකම්පනය වැනි දියුණු මානව සංකල්ප සහ යුක්තිය නීතිය සහ සාධාරණය දියුණු වූ විට ජාතීන් අතර පවතින බොහෝ සැක සංකා, මේ දියුණු ‘මල්ටි කල්චරල්’ ජනසමාජවල මෙන් පහව යන්නේය. එසේම, ඒ ඒ ජනප්‍රජා අතර වූ සංස්කෘතික දැනහඳුනාගැනීම් හරහා බොහෝ විරසකයන් හිරු දුටු පිනි මෙන් පහව යන්නේය. ඒ සඳහා අධ්‍යාපන විෂය මාලාවේ සිටම යම් යම් වෙනස්කම් දියුණු ජනසමාජ හා සසඳමින් යාවත්කාලීන කළ යුතුව තිබේ.
කෙසේ වෙතත්, තුන්වැනි ලෝකයේ දරිද්‍රකම් මැදම ඉතා අමාරුවෙන් ජීවත් වන ජනතාවට අවශ්‍ය පහසුකම් අල්පය. සීමිතය. එහෙත් දියුණු වන්නට වන්නට, ජනතාවට ලැබෙන මුදල සමඟ අවශ්‍යතා ප්‍රසාරණය වේ. ඒ සමඟම වඩා හොඳ අධ්‍යාපනයක් සහ සපුරාගන්නා මූලික අවශ්‍යතාවන්ගේද තත්ත්වය උසස්ව තෝරා ගැනීමට හැකි වේ.
එවැනි අත-මිට සරු, අධ්‍යාපනයෙන් යහපත් ආකල්පයන්ගෙන් සන්නද්ධ මිනිසුන් තුළ තමන්ගේ ජාතියට වැඩි වරප්‍රසාද වැනි කාරණා වෙනුවට, සමස්ත රටක, ජීවත් වන හෝමෝ සේපියන්ස්ලාගේ පොදු අවශ්‍යතා සහ මානව අයිතිවාසිකම් ගැන සිතන්නට ගනිති. අනෙකා ගැන දැනෙන සහ අනෙකා වඩාත් සංවේදීව කියවිය හැකි සහකම්පනය නමැති ප්‍රඥා අක්ෂිය වැඩෙන්න ගනී. සමාජයක් එවැනි මට්ටමකට ළඟා වූ විට මෙය අපගේ රට සහ අප හැමෝම ශ්‍රී ලාංකිකයන්ය යන හැඟීම ප්‍රමුඛව නැඟේ. එවිට එය දියුණු ජන සමාජයකි. නැති නම් හැම කෙනාම අපේ ජාතියත්, අපේ ආගමත් පමණක් අනෙකාට වඩා උතුම්ය යන සිතිවිල්ල පෙරටු කොට, එකිනෙකාට වෛර කරමින් සිටිති. මෙය ඉතා සංවේදි විෂයයකි.
දියුණු ජන සමාජයක කොතරම් විවිධත්වයක් තිබුණත්, ඒ හැමගේ විවිධත්වයට සහ අනන්‍යතාවට හැමෝම ගරු කරති; පුද්ගල පෞරුෂයට ගරු කරති. එසේම, ශ්‍රී ලංකාවේ සිංහලයන්ට දමිළ බස හොඳින් හැසිරවිය හැකි නම් උන් තරම් දෙමළ මිනිසුන්ට ආදරය කරන ජාතියක් ලොවෙත් නැති වනු ඇතිය. එසේම, දමිළයන් ද සිංහල බස දන්නේ නම් ඔවුන් ද දයාබර මිතුරන් පමණක් නොව පවුලේ ඥාතීන් බවට ද පත් වනු නියතය. මෙනයින් බැලූ විට ලංකාවේ ඇත්තේ භාෂාමය ප්‍රශ්නයකි.
එහෙයින් මේ අලුත් අවුරුද්දේ සිට හැකි සෑම අයෙකුම සිංහලයට අමතරව දමිළ බසෙහිද ප්‍රවීණත්වයට පත් වන්නේ නම් එය ලාංකිකත්වයේ සංකේතය වනු නිසැකය. මේ අලුත් අවුරුද්ද වනාහි ඊට මුලපුරන්න හිත ඇත්තන්ට කදිම සුබ නැකතකි.
ඒ අතරතුර, සේපියන්ස් ගොයියාද සිංහල දෙමළ අලුත් අවුරුද්දේ අල ගිය මුල ගිය තැන් සෙවීමට පටන් ගත්තේය. එහිදී, එහි දුරාතීතය හාරා ඇවිස්සීමේදී, ඉන්දියාවේ දමිළ ප්‍රජාවගේ ඓතිහාසික ‘පුතාණ්ඩු’ නැත හොත් ‘පුතුවරුදම්’ හෙවත් දමිළ අලුත් අවුරුදු මෙන්ම, සමස්ත දමිළ ප්‍රජාවගේ හින්දු අලුත් අවුරුදු හෙවත් ‘නව් වර්ෂා’ හෙවත් ‘වික්‍රම් සම්වාත්’ ගැනත් තොරතුරු මුණගැසිණි.
‘පුත්තාණ්ඩු සාමාන්‍යයෙන් වත්මන ගෝලිය වශයෙන් භාවිත කරන ග්‍රෙගෝරියානු කැලැන්ඩරයේ අප්‍රේල් මස 14 වන දිනට වැටේ. එය ‘සූර්ය චක්‍රය‘ හෙවත්, සම්ප්‍රදායික දෙමළ දින දර්ශනයේ පළමු දිනය වේ. එසේම එම දිනය, සූර්යයා, පොළොවේ සමකය හා ලම්බකව පිහිටන හෙවත්, වසන්ත විෂුවය සමඟ සමපාත වන දිනයද වේ. පුත්තාණ්ඩු ඉතිහාසය දෙමළ සාහිත්‍යයේ සහ සංස්කෘතියේ පැරණි යුගයක් වන සංගම් යුගය (ක්‍රි.පූ. 3 වැනි සියවසේ සිට ක්‍රි.ව. 3 වැනි සියවස දක්වා) දක්වා වසර දහස් ගණනක් ඈතට දිව යන බව කියවේ. අස්වැන්න නෙළන කාලය සහ නව කෘෂිකාර්මික චක්‍රයක් ආරම්භ කිරීම සඳහා පුත්තාණ්ඩු උත්සවය පවත්වන ලදි.
එසේම, සිංහල අලුත් අවුරුද්දේ ඉතිහාසය ද ක්‍රි.පූ. 3 වැනි සියවසේ බුද්ධාගමේ ආගමනය සමඟ බුද්ධාගමේ ආලෝකය සමඟ නැවත අර්ථකථනය කිරීමට හේතු වන්නට ඇතැයි ද සැලකේ.
එහෙත්, හින්දු අලුත් අවුරුද්ද හෙවත්, ‘වික්‍රම් සම්වාත්‘ මූලාරම්භය ක්‍රිස්තු පූර්ව 57 දී පාලනය කළ මහා හින්දු රජු වන වික්‍රමාදිත්‍යගේ පුරාවෘත්තය වටා වෙළී පවතී. එය සමරනු ලබන්නේ හින්දු චන්ද්‍ර දින දර්ශනය හෙවත් – පංචාංග අනුව ය. එය චන්ද්‍ර සූර්ය දින දර්ශනයකි. ඉන්දීය දින දර්ශනයට අනුව, ඍතු වූකලි සූර්යයා අනුගමනය කරන්නකි. මාස වූකලි චන්ද්‍රයා අනුගමනය කරන්නකි. දින වූකලි ඉර සහ සඳු යන දෙකම අනුගමනය කරන්නකි. වික්‍රම් සම්වාත්හි වසර ආරම්භ වන්නේ සාමාන්‍යයෙන් මාර්තු සහ අප්‍රේල් අතරට වැටෙන චෛත්‍ර මාසයෙනි. චෛත්‍ර ශුක්ල ප්‍රතිපදාව ලෙස හඳුන්වන චෛත්‍රා මාසයේ පළමු දිනය හින්දු අලුත් අවුරුද්ද ලෙස සමරනු ලබයි.
මේ අනුව, නක්ෂත්‍රය හා ජ්‍යොතිෂය නමැති පාරම්පරික විෂයන්ට අනුකූලව, අලුත් අවුරුද්ද ලැබීම, තාරකා විද්‍යාවේ කාරණා පදනම්ව සලකන විට, සූර්යයා වටා පෘථිවියට එක් වටයක් සම්පූර්ණ කර සමකය මස්තකයට හෙවත්, ඉන්දු කලාපයට මුදුන් වී දෙවැනි වටය ඇරඹීම නමැති සිදුවීම අලළා කලාපයේ අවුරුදු උදාව සිදු වන බව ශාස්ත්‍රීය අදහසයි.
විශ්ව අවකාශයේ අපගේ සුන්දර ග්‍රහලෝකය වන පෘථිවිය තමා වටා , අංශක 23.50ක් ඇලයට පිහිටි අක්ෂය වටා කරකැවෙමින්, අභ්‍යවකාශය තුළ සූර්යා වටා පරිභ්‍රමණය වේ. මෙය ඉලිප්සාකාර හෙවත් බිත්තරයක හැඩයට පිහිටි වෘත්තාකාර ගමන්මඟකි. සූර්යයා වටා පෘථිවිය තමා වටා වේගයෙන් කරකැවෙමින් ගමන් කළද, මහා විශාල ස්කන්ධයක් සහිත ප්‍රබල ගුරුත්වාකර්ෂණයක් නිසා එහි පොළොවට ඇලී සිටින කුරා කුහුඹු මිනිසුන් වන අපට පෘථිවියේ චලනයක් සිදු වෙතැයි දැනෙන්නේ නැත. එහෙත් පෘථිවියට සාපේක්ෂව අභ්‍යවකාශය තුළ ඈතින් පෙනෙන ග්‍රහ තරු, සූර්යයා, වලාකුළු නම් කිසියම් චලනයක් වනවා සේ පෙනේ. ඒ නිසාම නක්ෂත්‍රානුකූලව අලුත් අවුරුද්ද ලැබීම ගැන කියන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වූවා කියාය.
එයද අපූරු කතාවකි! අප කලින් සඳහන් කළ, පෘථිවියේ සූර්යයා වටා යන අභ්‍යවකාශ චාරිකාවේදී, අහසේ දිදුලන තාරකා, අතීත සේපියන්ස්ලා විසින් තරු පන්ති ලෙස මනෝමයෙන් යා කර ඒවා එක් කරමින්, ඒවායින් විවිධ සත්ත්ව රූප ඇතුළු හැඩතල මතු කරගෙන නම් දී තිබේ. ඒ අනුව, සූර්යයා වටා යන සමස්ත ඉලිප්සාකාර වටය සමාන කොටස් 12කට බෙදා ඒ, එක් එක් කොටසෙහි වූ තරු පන්ති 12ක් මේෂ (Aries), වෘෂභ (Taurus), මිථුන (Gemini), කටක (Cancer), සිංහ (Leo), කන්‍යා (Virgo), තුලා (Libra), වෘශ්චික (Scorpio), ධනු (Sagittarius), මකර (Capricorn), කුම්භ (Aquarius), මීන (Pisces) ලෙස රාශි 12ක් ලෙස නම් කර තිබේ. ඒ රාශි චක්‍රය (Zodiac) 5 අංශක 160ක් පළල සහ එක් රාශියක් අංශක 300ක පරාසයක් (3600/2=300) සහිත පථයක් ලෙස සැලකේ.
එහිදී, දක්වා ඇති රූපයේ පරිදි, පොළොවේ සිට සූර්යයා හරහා ඈත අභ්‍යවකාශයේ පිහිටන තරු රාශිය නිමානය කරනු ලබයි. එහිදී අපට පෙනෙන්නේ සූර්යයා එක රාශියක සිට තව රාශියකට යන බවකි. කෙසේ වෙතත්, පෘථිවියේ ඇති අංශක 23.50ක ඇලය නිසා පෘථිවියේ සමකයට උතුරින් පිහිටි කටක (Tropic of Cancer) නිවර්තනයටත්, සමකයට දකුණින් පිහිටි මකර නිවර්තනයටත් (Tropic of Capricon) අතර කලාපය තුළට වසරේ එක එක කාලවල හිරු මුදුන් වෙමින් ගමන් කරයි. එනිසා මේ කලාපය නිවර්තන (Tropical Zone) කලාපය ලෙස හැඳින්වෙයි.
එසේම, පෘථිවියේ හතර වටේම ගොස් අප ඉහළ අහස බැලුව හොත් ඈත අභ්‍යවකාශයද අපට අපේ පොළොවට වඩා විශාල රවුම් ගෝලයක් ලෙස හිතාගත හැකිය. මේ සිතා ගන්නා පෘථිවි න්‍යෂ්ටිය හෙවත් මැද පිහිටි අභ්‍යවකාශ ගෝලය ඛගෝලය ලෙස හඳුන්වයි. පෘථිවියේ සමකයට සමාන්තරව ඛගෝලයටද සමකයක් සේපියන්ස්ලා විසින් නිර්මාණය කරනු ලබයි. ඒ අනුව බගෝලයේ උතුරු අඩ, උතුරු ඛගෝලය ලෙසත්, දකුණු අඩ දකුණු ඛගෝලය ලෙසත් හැඳින්වේ. එසේම වසර පුරා ඛගෝලය තුළ අපට හිරු ගමන් කරනවා යැයි පෙනෙන ගමන් මඟක්ද තිබේ. එය රූපයේ තිත් ඉරකින් සටහන් කර ඇති අතර, එයට ක්‍රාන්ති වලයැයි කියනු ලබයි. දැන් මේ ක්‍රාන්ති වලය හෙවත් සූර්ය ගමන් මඟ වසරකදි නැති නම් එක් වටයකදී දෙවතාවක් සමකයට ලම්බකව පිහිටා ඇති බව පෙනේ. එය A සහ B ලෙස හෙවත් වසන්ත විෂූවය හා සරත් විෂූවය ලෙස සේපියන්ස්ලා විසින් නම් කර තිබේ. අවුරුදු උදාවේදී සූර්යයා, දකුණු ඛගොලයේ සිට උතුරු ඛගෝලයට සංක්‍රමණය වන වසන්ත විෂූවය යනු රාශි චක්‍රයේ මීන රාශියෙන් මේෂ රාශියට මාරු වන සන්ධිස්ථානයය.
මේ සියලු කාරණාත්, ඒ වටා බැඳුණු බොහෝ පාරිසරික සශ්‍රීකත්වයත්, මනුෂ්‍ය ජීවිතයේ ගුණාංගත් අත්වැල් බැඳගනිමින් ගොඩනැඟුණු, අලුත් අවුරුදු නමැති සංස්කෘතිය හෝමෝ සේපියන්ස් පරිණාමයේ සුන්දර සන්ධිස්ථානයකි.
“ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!”
“පුත්තාණ්ඩු වාත්තුක්කල්!”
“නව් වර්ෂ් කී ෂොබ්කම්නායි!”