ඉස්තාන්බුල් නුවරට වසන්තය උදා වී ඇත. එය නිකම්ම වසන්තයක් නොව ටියුලිප් වසන්තයකි. මධ්‍යම ආසියාවේ කසක්ස්තානය ආශ්‍රිත වන ළැහැබ්වල අතරින් පතර තිබුණු ටියුලිප් මලට වත්මන් නම දමා බටහිර ලෝකයට තිළිණ කළේ තුර්කිය බව බොහෝ දෙනා පිළිගනිති.
තුර්කියේ ජාතික පුෂ්පය වන්නේ ටියුලිප් මලයි. ටියුලිප් යන වචනයේ උපත තුර්කි බසට සම්බන්ධ බව කියවෙනමුත්, තුර්කි ජාතිකයන් ටියුලිප්වලට කියන්නේ ‘ලාලේ’ කියලාය. ටියුලිප් මලේ හැඩය හා ජීවය තුර්කිය පුරා දැකගන්නට පුළුවන් වන අතර, ජනප්‍රිය තුර්කි තේ වීදුරුවේ හැඩයත් ටියුලිප් මලක සිරි ගනී. ටියුලිප් මල් වගාව උද්‍යාන අලංකරණයට එහා ගිය ආර්ථිකය හා ප්‍රභූත්වය සම්බන්ධ කාරණයක් වී තිබේ. තුර්කියේ ඔටෝමාන් පාලකයන් ටියුලිප් වගාව කළේ මහේශාඛ්‍ය විනෝදාංශයක් වශයෙනි. ඔටෝමාන් පාලනයට පෙර එකොළොස්වැනි සියවසේද කොන්ස්තන්තිනෝපල් නුවර ටියුලිප් මලින් අලංකෘත වූ බවට වාර්තා තිබේ. එය මුල් කාලයේ පටන් ප්‍රභූන්ට අයත් මල් වගාවක් විය. එහෙත් එය යුරෝපයේදී – විශේෂයෙන්ම නෙදර්ලන්තයේදී – අපූරු ආර්ථික ක්‍රියාවලියකට භාජනය විය. ඔවුන්ට මුල්ම ටියුලිප් බල්බ ලැබුණේ තුර්කියෙන් බව නෙදර්ලන්ත ජාතිකයන් පවා පිළිගන්නා කරුණක් වුවත්, එහි වාණිජ වටිනාකම හොඳින්ම වටහාගෙන ඉමහත් ප්‍රයෝජන ගත්තේ නෙදර්ලන්තයයි.
අදටත් ලොව වැඩිම ටියුලිප් බීජ බල්බ හෙවත් ලොකු ලූනු ගෙඩි තරමේ පොළොවට බසින ටියුලිප් අල අලෙවියෙන් ලොව වැඩිම ආදායම උපයන්නේ නෙදර්ලන්තයයි. දෙවැනි ආර්ථික වාසිය නම් ටියුලිප් වගාව ආශ්‍රිත සංචාරක ව්‍යාපාරයයි. ලොව නන් දෙසින් ටියුලිප් බලන්නට නෙදර්ලන්තයට එන සංචාරකයන්ගෙන් වසන්ත සමයේදී එරට ඉතා හොඳ ආදායමක් ලබයි.
නෙදර්ලන්තය ටියුලිප් වගාවේ පෙරමුණට ගොස් සිටියද, අවුරුදු පතා ටියුලිප් බල්බ විශාල ප්‍රමාණයක් තුර්කියෙන් ආනයනය කරන්නේ ඒවායේ ඇති උසස් තත්ත්වය නිසාය. එමෙන්ම තුර්කියේ නවීන ටියුලිප් ප්‍රබෝධයේ නියමුවා වූ තුන්වැනි අහමඩ් සුල්තාන්වරයාද දහඅටවැනි සියවස මුලදී විශාල මුදලක් දී නෙදර්ලන්තයෙන් ටියුලිප් බිජ ගෙන්වා ගත් බව සඳහන් වෙයි.
තුන්වැනි ආර්ථික වටිනාකම නම් කැපූ ටියුලිප් මල්වලට ඇති දේශීය හා අන්තර්ජාතික වෙළෙඳපොළයි. මෙකී සියලු අංශයෙන් නෙදර්ලන්තය ඉහළින් සිටින අතර, තුර්කියද එහි මුල්පෙළේ රැඳී සිටියි. ටියුලිප් ඉතිහාසය හා පුරාවෘත්ත සමඟ තුර්කියේ ඇති සම්බන්ධය මෙන්ම අලංකාර ටියුලිප් මල් පිරි උද්‍යානද තුර්කියේ වත්මන් සංචාරක කර්මාන්තයට විශාල ජීවයක් ගෙන දෙයි.
පසුගිය ඉරිදා මුළු දහවල් කාලයම අප ඔබමොබ සැරිසැරූ එමිර්ගන් උද්‍යානයට අමතරව ඉස්තාන්බුල් නුවර තවත් උයන්වතු කිහිපයකම ටියුලිප් වවන අතර ඒවා අතුරින් ‘රෝස මල් නිවහන’ යන අරුත් ඇති අක්කර 160ක් පුරා විසිරුණු ගූල්හානේ උද්‍යානයද වෙයි. මේ උයන පිහිටියේ ලෝ සුපතළ ටොපකාපි මාලිගාවට යාබදවය. ඉස්තාන්බුල් නුවර හැරුණු විට බුර්සා, අන්කාරා ඇතුළු බොහෝ නගර අලංකරණයට ටියුලිප් වගා කරනු ලබයි. ටියුලිප් වගාව මේ වන විට කර්මාන්තයකි. ඉතිහාසයක් හා සංස්කෘතික අගයක් ඇති අලංකාර මලක් ආර්ථිකය ශක්තිමත් කරගැනීමට උපයෝගි කරගන්නා හැටි හරි අපූරුය!
මධ්‍යම ආසියාවෙන් ගෙනැවිත් තුර්කියේ වංශවතුන්ගේ ගෙඋයන්වල පමණක් වැවූ ටියුලිප් මලට ඒ නම ලැබුණේ එහි හැඩය තුර්කියේ එකල හිස පැලඳි ටර්බන් එකක හැඩයට සමාන වූ නිසා බව විශ්වාස කෙරේ. මුලින්ම ඉසුරුමත් බවේ හා මහේශාඛ්‍ය බවේ සංකේතයක් වූ ටියුලිප් මල් නගරයේ සුවිශේෂ උයන්වල වවන ලදි. මේ ආකාරයේ උයන්වතු නිසා 16 වැනි සියවසේදී ලොව ආකර්ෂණීයම අගනගරයක් ලෙස ඉස්තාන්බුල් නම් දරා තිබිණි. එම කාලයේදීම යුරෝපාකරයට විශේෂයෙන්ම නෙදර්ලන්තයට ටියුලිප් බල්බ ලැබුණු ආකාරය ගැන නොයෙක් මත තිබේ. ඉන් පසු නෙදර්ලන්තය මේ බල්බ පරිස්සමින් වගා කොට ඒවාවලින් ලබාගත් බීජ නැවත නැවත වවමින් දෙමුහුන් කරමින් කෙටි කලක් තුළ ලොව හොඳම ටියුලිප් වගාවන් හා වර්ග හිමි භුමිය බවට සිය රට පත් කරගත්තේය. දාහත්වැනි සියවසේදී නෙදර්ලන්තයේ ටියුලිප් උමතුව ලෙස හැඳින්වුණු ආර්ථික ක්‍රියාවලියක් සිදු වුණේය. ඒ ටියුලිප් බීජ බල්බ වටිනාකම කෘත්‍රිමව ඉහළ නංවා ඉතා විශාල මිල ගණන්වලට විකිණීමයි. සමහර බීජ බල්බ සාමාන්‍ය තරමේ නිවෙසක මිලටද වඩා ඉහළ ගිය අවස්ථා ගැන කියවේ. මේ නිසා අලුතින්ම ධනවත් වූ ව්‍යාපාරිකයන් පිරිසක් හා වෙළෙඳපොළක් බිහි වුණේය. එහෙත් මේ තත්ත්වය දිගටම පැවතියේ නැත. ඒ කෘත්‍රිම ඉහළ නැංවූ ටියුලිප් බිජ බල්බවල සැබෑ වටිනාකම ඒවායේ මුලින් තිබූ මිලට වඩා සිය ගුණයකින් පමණ පහළ ගියේය. මේ නිසා බංකොලොත් වූ හෝ අමාරුවේ වැටුණ ව්‍යාපාරිකයෝ එමට සිටියහ. එය හරියට ටියුලිප් පිරමීඩ ජාවාරමකට සමාන විය. කෙසේ වුවත් මේ ටියුලිප් උමතුවට සමාන්තරව ආර්ථික ප්‍රගතියක් ලබා ගැනීමට නෙදර්ලන්තය සමත් වූ අතර අද වන විට ලොව වැඩියෙන්ම ටියුලිප් වවන්නේ හා ටියුලිප්වලින් වැඩිම ආදායමක් උපයන්නේ නෙදර්ලන්තයයි.
අලංකරණයෙන් හා වාණිජ කටයුතුවලින් ඔබ්බට ගොස් බොහෝ සාහිත්‍ය නිර්මාණවලටද ටියුලිප් මල දායක විය. ඉන් ප්‍රමුඛතම එකක් වන්නේ ඇලෙක්සැන්ඩර් ඩූමාගේ ‘බ්ලැක් ටියුලිප්’ නවකතාවයි. මෙය ‘කළු දළ මල’ නමින් සිංහලට පරිවර්තනය වී තිබේ. මේ කතා පුවතට පාදක වන්නේද තුර්කිය ඔස්සේ ඕලන්දයටත් ඉන් පසු යුරෝපය පුරා උන්මාදයක් ලෙස පැතිර ගිය ටියුලිප් මල් නව ප්‍රභේද හදන්නට වෙහෙසෙන තරුණයකු හා එකල ඕලන්දයේ පැතිර තිබුණු දේශපාලන කලබගෑනි මුසු වූ කතා පුවතකි.
මුලින් කීවාක් මෙන් මේ එළඹ ඇති මාර්තු මස අග සිට මැයි මස දක්වා වූ වසන්ත සමය ටියුලිප් උත්සව සමයයි. ඉස්තාන්බුල් නුවර දර්ශනීය ලෙස ටියුලිප් වවා ඇති උද්‍යාන අතර, ප්‍රමුඛ වන්නේ මේ පින්තුරවල තිබෙන ප්‍රංස නගරයක සිරි උසුලන දර්ශනීය එමිග්රන් වෙරළාශ්‍රිතව පිහිටි එමිග්රන් උද්‍යානයයි. අක්කර එකසිය හතළිහක් තරම් විශාල මේ උද්‍යානය බය්සන්ටයින් හෙවත් නැඟෙනහිර රෝම පාලන කාලයේදී විවිධ වර්ගවල සයිප්‍රස් ගස් වවා තිබූ වැදගත් උයනයක් ලෙස පැවතියේය. ඉන් පසු ඔටෝමන්වරු එහි ටියුලිප් වගා කළහ. අවුරුදු පතා දේවදාර ගස් හෙවණේ පොපියන අලංකාර ටියුලිප් මල් යායවල් බලා ප්‍රීතිමත් වන්නට දෙස් විදෙස් සංචාරකයෝ මෙහි ඇදී එති. පසුගිය සති අන්තයේ අපිද ඔවුන් අතරට එකතු වුණෙමු. මෙහි පැමිණ කා බී විනෝද වෙමින් දවස පුරා ප්‍රීතියෙන් සරන දරුපවුල් අතරේ අපූරු දසුනක්ද බලා ගන්නට ලැබිණි. ඒ පෙම්වතුන් ජෝඩු කිහිපයක්ම සිය මංගල උත්සවය සඳහා මේ උද්‍යානය තෝරාගෙන තිබීමයි. ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙරිබී රෝස මල් උද්‍යානයේදී මෙන්ම මේ උයනේද සිය විවාහ උත්සවය සමරන තරුණ යුවළ අතරේ පිපී හිනැහෙන ටියුලිප් මල් සමඟ අතීතයට මෙන්ම අනාගතයටද යන්නට පුළුවන.