අමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ (America Sri Lanka Photographic Art Society – ASPAS) පස්වන වාර්ෂික ඡායාරූප ප්‍රදර්ශනය 2025 එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ලොස් ඇන්ජලීස් හි කොන්සල් ජනරාල් කාර්යාලය යන ආයතනවල සහයෝගය ඇතිව පැවැත්වීමට නියමිතය.
ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන සෑම ඡායාරූපයකින්ම ශ්‍රී ලංකාවට උරුම වූ ආකර්ෂණීය භූ දර්ශන සහ ඊට ආවේණික විචිත්‍ර සංස්කෘතිය විදහා දැක්වෙන අතර එමඟින් එය නරඹන ප්‍රේක්ෂකයින්ට ශ්‍රී ලංකාවේ පවතින විවිධත්වය සහ ජීවගුණය පිළිබඳ නවමු අත්දැකීමක් ලබාදීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ වී තිබේ.
ඒ අනුව, “ශ්‍රී ලංකාවේ සුන්දරත්වය”ලෙස නම් කර ඇති මෙම ඡායාරූප ප්‍රදර්ශනය 2025 අප්‍රේල් මස 26, 29 සහ මැයි 3 වැනි දින ලොස් ඇන්ජලීස්, නිව්යෝර්ක් සහ වොෂින්ටන් ඩීසී යන නගරවල පැවැත්වීමට නියමිතය.
ප්‍රදර්ශනයට සමගාමීව “පෘථිවි දින” (Earth Day) සැමරුම්වල කොටසක් ලෙස, ලොස් ඇන්ජලීස් හි පරිසර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සහ පුනර්ජීවනය කිරීම සඳහා කැප වූ මුලපිරීමක් වන “Re Tree L A” නමින් හැඳින්වෙන ගස් සිටුවීමේ ව්‍යාපෘතිය දියත් කිරීමේ උත්සවයක්ද සංවිධානය වෙයි. මෙයට සහභාගී වන්නන් අතර පැළ 100ක් බෙදා දීමට කටයුතු සලසා ඇති අතර ලොස් ඇන්ජලීස් හි මෑත කාලීනව ඇති වූ ළැව්ගිනි හේතුවෙන් හානි වූ පරිසර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම ද ඉන් අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සම්මානලාභී කලාකරුවන් වන ලක්ෂිත කරුණාරත්න, රිස්නාඩ් හුසේන්, සමීර කොතලාවල සහ ඇෙමරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පීන් වන ඇන්ඩි සමරසේන, ආචාර්ය සුමේධා ජයසේන, ලසන්තිකා ප්‍රනාන්දු බෙනඩික්ට්, මධුෂාන් වන්නිආරච්චි, ශාන්ත වීරසිංහ, සූරිය පෙරේරා සහ මාධ්‍ය නියෝජිතයන් වන මල්වලගේ ලාල් හේමන්ත, උදය ශාන්ත ඉඩමගෙදර යනාදීන් මෙම අවස්ථාවට සහභාගී වෙති. මෙම උත්සවයේ කටයුතු මෙහෙයවනු ලබන්නේ මේදානි රත්නායක විසිනි.