ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දිනුම් අදින මහජන සම්පත ලොතරැයි දිනුමේ ජයග්‍රාහි අංක අනුමාන කරමින් ‘කොටු කැපීම’ නමැති නීති විරෝධි සූදුවක් ක්‍රියාත්මක කළ දෙදෙනකුට බිබිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
මාස 2ක සක්‍රිය සිරදඬුවමක් සහ මාස 8ක අත්හිටුවූ සිරදඬුවමක් ලෙස එසේ දඬුවම් නියම වූයේ මැදගම, මීගහවතුර පදිංචි කේ.එම්. අජිත් බණ්ඩාර සහ මැදගම, මියනකඳුර, කොටබෝව පාර, 2 කණුවේ පදිංචි ජේ.ජී. මංගල ප්‍රසාද් දමිත් කුමාර නමැති දෙදෙනකුටය. මහජන සම්පත ලොතරැයි දිනුමේ ජයග්‍රාහි අංක අනුමාන කරමින්, එහි අංක රටාවේ අවසාන අංක දෙක උපයෝගි කර ගනිමින් විවිධ පුද්ගලයන් විසින් කරගෙන යනු ලබන කොටු කැපීම නමැති සූදූවකට සැලකිය යුතු මහජනතාවක් සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබීමත් සමඟ ජාතික ලොතරැයි මණ්ඩලය සිදු කළ පරීක්ෂාවකදී ඊට සම්බන්ධ පුද්ගලයන් සහ ස්ථාන හඳුනාගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති අතර, නීති විරෝධි සූදු පොළවල් පවත්වාගෙන යන්නන්ට එරෙහිව පියවර ගැනීම සඳහා අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැන්වීමට පියවර ගෙන ඇති බැවින් මේ නීති විරෝධි සූදුවට සම්බන්ධ නොවන ලෙස ජාතික ලොතරැයි මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් අලෙවි කිරීමෙන් පවුල් 20,000කට අධික ප්‍රමාණයක් ජීවනෝපාය සලසා ගන්නා අතර, ලොතරැයි අලෙවි ආදායමින් 50%කට වැඩි ප්‍රමාණයක් තෑගි සඳහා වෙන් කෙරේ. ඉතිරි මුදල් මහජන සුභසිද්ධිය සඳහා මහා භාණ්ඩාගාරයටත්, බදු ආදායම් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටත් ලබාදේ. ඊට අමතරව ජාතික වකුගඩු අරමුදල, රණවිරු සේවා අධිකාරිය, ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රම වාසනා අරමුදල, සමෘද්ධි අරමුදල ඇතුළු වැඩසටහන් ගණනාවකට අරමුදල් සම්පාදනය කිරීමටද දායක වන අතර, ලොතරැයියක් මිල දී ගන්නා ජනතාවද රටේ සංවර්ධනයට සහ පුරවැසියන්ගේ ජීවනෝපායට විශාල දායකත්වයක් සපයයි. කොටු කැපීම වැනි නීති විරෝධි සූදුවේ නිරත පුද්ගලයන් එවැනි කිසිදු සේවයක් ඉටු නොකරන අතර, ඔවුන්ගේ එකම ඉලක්කය නීති විරෝධි ලෙස මහජනයාගෙන් මුදල් එකතු කිරීම පමණි.
ජනතාව මෙවැනි ජාවාරම්වලින් මුදාගැනීම තම වගකීම බැවින් මේ නීති විරෝධි සූදුව පවත්වාගෙන යෑමෙන් සහ ඊට හවුල්වීමෙන් වළකින ලෙස ජාතික ලොතරැයි මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කරයි.