Home » ඉදිරි මැතිවරණයේදී සජබ ජයග්‍රහණය නියතයි

ඉදිරි මැතිවරණයේදී සජබ ජයග්‍රහණය නියතයි

සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment
සුභද්‍රා දේශප්‍රිය

පොහොට්ටුවේ ඡන්ද ටිකවත් මේ පාර ඡන්දෙදි ජාජබට වැටෙන්නෙ නැහැ

සජබ මහලේකම්වරයා වන ඔබ සජබ පක්ෂයෙන් ඉවත් වීමට සූදානමක් තිබෙනවා කියන්නේ ඇත්තද?

එහෙම දෙයක් නෑ. අපි අපේ පක්ෂය හැදුවේ එහෙම ඉවත් වෙන්න නොවෙයි. සජබ මහලේකම් විදිහට පක්ෂයෙන් ඉවත් වීමට අදහසකුත් නෑ. එහෙම අපේ පක්ෂය කැඩී බිඳී යනවාට වුවමනාවක් වෙන අයට තිබුණට අපේ පක්ෂයට නම් නම් එහෙම කැඩී බිඳී යන්නෙත් නෑ.

සජබ පුංචි ඡන්දයට හොඳින් සූදානම් වෙනවා කියලා කිවුවත්, ඇතැම් අය කියන්නේ නම් සමහරු කලකිරිලා පක්ෂයෙන් ඉවත් වෙන්න යනවා කියලයි…

එහෙම ඉවත් වෙන්න හේතුවක් නැහැ. අපි පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරියට යනවා. කිසිම කෙනෙක් ඉවත් වෙලා නැහැ. සියලු දෙනා ඡන්ද ව්‍යාපාරයේ නිරත වෙලා ඉන්නවා. අපි තමයි මුලින්ම පුංචි ඡන්දය ව්‍යාපාරය ආරම්භ කළේ. ඕනෑම පක්ෂයක යම් යම් මතවාදීමය ගැටලු එනවා. ඒවා පක්ෂයෙන් ඉවත් වෙන්න තරම් ලොකු දේවල් නොවෙයි.

ඔබ එහෙම කිවුවාට ඇතැම් පළාත්වල සංවිධායකවරුන් අස්වීමේ ලිපිත් භාර දීලා නේද?

නැහැ. එහෙම කිසිදු ලිපියක් මහලේකම් ලෙස මට ලැබිලත් නැහැ. හැබැයි, සමහර විට ඡන්දයෙන් පස්සේ ඡන්ද ප්‍රතිඵල හොඳ නැති දුර්වල සංවිධායකයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න වෙනවා; අපේ පක්ෂයට වඩා ගැටලු තියෙන්නේ, අර්බුදයක් තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ. අපේ පක්ෂයේ සියලු දෙනාගෙම මතයට ගරු කරමින් අපි කටයුතු කරනවා. ආණ්ඩු පක්ෂයේ එහෙම නැහැ. ජවිපෙයි ජාජබයි දැන්ම ගැටුම් ඇති වෙලා වගේ. මැති ඇමැති අගමැතිකම පවා නැති වෙන්න යනවා කියලයි අපට ආරංචි. අපේ පක්ෂයේ අය සාමූහිකව කටයුතු කරනවා. පක්ෂයේ ඇතුළේ ගැටලු අපි ඇතුළේ විසඳාගන්නවා. ඒවා අරගෙන වේදිකා ගානේ යන්නේ නැහැ. අනෙක් කරුණ එහෙම ලොකු ගැටලු අප අතර නැහැ.

පළපුරුදු, පරිණත පළාත් සංවිධායකවරුන් පිරිස ඉවත් කර, නව සංවිධායකවරුන් පත් කරනවා කියලා ඔබලාට චෝදනාවක් තියෙනවා…

අපේ පක්ෂය අලුත් අයට තැනක් දෙනවා. පක්ෂයකට අලුත් අයයි, පරණ අයයි දෙගොල්ලොම අවශ්‍යයි. ඒ වගේම සියලු දෙනාම සහයෝගයෙන් ඉන්නත් අවශ්‍යයි. ඒත් තරුණයන්ට තැනක් දිය යුතුයි. අලුත් පරපුරකට මේ පක්ෂය භාර දෙන්න අවශ්‍යයි. අලුත් පරම්පරාවකට ඒ වෙනස සහ පරිවර්තනය කරන්න, අවශ්‍ය කාලය ඇවිත් තිබෙනවා. දක්ෂ පිරිසක් අපේ පක්ෂයට දැන් ඇවිත් තිබෙනවා. තව කණ්ඩායම් අපි හඳුනාගෙන තිබෙනවා. පසුගිය දින කිහිපයේම අපි තරුණයන් පුහුණු කළා.

තරුණ නියෝජනයක් අවශ්‍ය නිසා අපිමයි මේ තරුණ අය පුහුණු කරන්න කියන දේ යෝජනා කළේ. අපේක්ෂකයෝ නවදහස් ගණනක් ඉක්මවා ඉන්නවා. එයින් තරුණ නියෝජනය දෙදහස් ගණනක් ඉන්නවා. තරුණ නියෝජනය රටේ දේශපාලනයට අවශ්‍යයි.

අපට හොඳ අවස්ථාවක් ප්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවෙන් ඡන්දයට ඇවිත් තියෙනවා. ඉදිරියේදී අපි පළාත් සභා මැතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් ඉදිරියට ඇවිත් රටේ අනාගතය ඔවුන්ට භාර දෙන්න අවශ්‍යයි. මෙවර අපේ තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය අලුත් අයයි. රටේ තරුණයන්ව අපි දේශපාලනයට ගෙන්වාගන්න අවශ්‍යයි. අපි දන්නවා සමහර තරුණ පිරිස් කරන්නේ ඡන්දය දෙන එක විතරයි. ඉදිරි මැතිවරණය සජබ ජයග්‍රහණය කිරීම අනිවාර්යයි.

සජබ දිනනවා කිවුවට, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රමුඛ පොහොට්ටුවේ පිරිස ඉදිරියට එනවා නේද?

ජාජබට ලැබුණේ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවට තිබුණ ඡන්ද ටිකමයි. මෙවර මැතිවරණයේදී පසුගිය මහ මැතිවරණයේ වගේ පොහොට්ටුවේ ඡන්ද ටිකවත් ජාජබ වැටෙන්නෙ නැහැ. ඒ ඡන්ද ටිකෙන් ටිකක් නාමල් රාජපක්ෂට වැටෙයි. අනෙක් ටික අපට වැටෙයි. පොහොට්ටුවේ ඡන්ද වෙනස් වුණාට අපේ සජබ ඡන්ද වෙනස් වෙන්නේ නැහැ. පසුගිය කාලයේ වෙනස් වුණේ පොහොට්ටුවේ හිටපු අය විතරයි. අපට මේ පාර ඒ ඡන්දත් ලැබෙන්න පුළුවන්. මේ ඡන්ද වැඩි වුණාම මේ පාර අපගේ ජයග්‍රහණය නියතයි.

නායකත්වය වෙනස් වුණා නම් සජබ දිගු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා ඇතැම් අය කියනවා…

එහෙම වෙනස් වෙන්න අවශ්‍ය නැහැ. අපට හොඳ නායකත්වයක් තිබෙනවා. හොඳ නායකත්වයක් එක්ක මේ පක්ෂය පිහිටුවේ. අපි නිතර නිතර නායකත්වය වෙනස් කරන පක්ෂයක් නොවෙයි. අපි ලැබූ ජයග්‍රහණ ලැබුවේ මේ නායකත්වය යටතේ නේ. ඉදිරියටත් අපි ශක්තිමත් ලෙස මේ පක්ෂය ගොඩනඟනවා. ඉන්න නායකත්වයේ යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන ඉදිරියට යන්න ලෑස්තියි. අපේ පක්ෂයට තවම එහෙම අවශ්‍යතාවක් නැහැ. කොහොමත් මෙවර මැතිවරණයේදී මේ ආණ්ඩුවේ නොහැකියාව නිසා අප ජයග්‍රහණය කරනවා.

ඔබ ආණ්ඩුවේ නොහැකියාව කියලා කිවුවාට විපක්ෂයේ නොහැකියාව වඩා හොඳින් පසුගිය මැතිවරණවලින් දක්නට ලැබුණා නේද?

දක්ෂිණාංශික දේශපාලන බලකඳවුරු දෙකට බෙදුණා. ඒ නිසයි මේ ප්‍රතිඵලය ආවේ. ඒත් ජනතාවගේ යම් කලකිරීමක් නිසා එහෙම වුණත්, නැවත ජනතාව කෙටි කලක් තුළ වෙනස් වූ අයුරු ඉදිරි මැතිවරණයෙදී දැකගන්න පුළුවන්. රටේ දේශපාලන අස්ථාවරත්වය සහ ජනතාවගේ අපහසුතා නිසා ජාජබ බලයට පත් වුණා. අද ආණ්ඩු බලය ගත්තාට ඒ අයට බැරි වෙලා තියෙනවා කරගෙන යන්න. මේ අය ජනතාව මුළා කර ඡන්දය ගත්තාට කිසිදු වැඩපිළිවෙළක් නෑ.

අයථා ලෙස උපයාගත් වත්කම් නැවත පවරා ගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පසුගිය දිනක සිදු වුණා. විපක්ෂය ඒ සඳහා සහයෝගය දෙනවද?

මේ ආණ්ඩුවට අලුත් යෝජනා නැහැ; මේ යෝජනා අපි මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසයි. ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලයේදීත් නැවත මේ ගැන කතාබහක් ඇති වුණා. කොහොම වුණත් මේ ආණ්ඩුවට අදහස් සහ වැඩපිළිවෙළක් නැහැ. මේ අය අපි කරපු දේවල්ම ඉදිරියට කරගෙන යනවා. මේ හොරා ගත්ත දේ නැවත ලබාගැනීමයි එයින් සිදු කරන්නේ. ආණ්ඩුව රජයේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කරලා තිබෙනවා. අපටත් ඕනැ මේ රටේ හොරා කාපු දේවල් නැවත ජනතා සන්තකයට ලබා දීමටයි. මේ ආණ්ඩුවේ කිසිදු දෙයක් විනිවිදභාවයක් නැහැ. මේ අය ගැන අපට ලොකු විශ්වාසයක් නැහැ. ඒ නිසා අපි මේ පනත් කෙටුම්පත ගැන සොයා බලනවා. ආණ්ඩුව යන පාර ආණ්ඩුව දන්නෙත් නැහැ. ඒ අවස්ථාවේ රටේ තිබුණ තත්ත්වය සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ගැනම ඇති කරපු ද්වේෂය සහ බොරුව සමාජගත කිරීමෙන් මේ අය ජයග්‍රහණය කළා. ඒත් මේ අයට මේ රට කරන්න බැරි බව ජනතාව තේරුම් අරගෙන තිබෙනවා.

මම ප්‍රශ්න කරන්නේ මේ පනත් කෙටුම්පත සම්මත කරන්න ඔබේ පක්ෂයෙන් සහයෝගය දෙනවාද කියලයි?

අපි අපේ නීතිඥයන් මාර්ගයෙන් එහි අඩංගු කරුණු සොයා බලනවා. එය අධ්‍යයනය කර සුදුසු තීන්දුවක් ගන්නවා. මේ අයථා දේපොළ අයකරගන්න අවශ්‍යයි කියන මතයේ අපිත් ඉන්නවා. ඒත් රජය මොන අදහසින් මේ යෝජනා ගේනවාද දන්නේ නැහැ රජයේ ඒකාධිපතිත්වය වැඩි කිරීමටද මේ දේවල් කරන්නේ කියලා අපට කියන්න බැහැ. මේ නියත වශයෙන්ම සොරකම් කරපු සල්ලි නැවත ගේන්නද කියලත් අපි බලනවා.

කෝප් කමිටුව විසින් මූල්‍ය අපරාධ රාශියක් එළියට දානවා. 2015 වසරේ ඔබ නියෝජනය කළ යහපාලන ආණ්ඩුව සමයෙත් මූල්‍ය අපරාධ ගැන තොරතුරු එළියට එනවා නේද? මේ මූල්‍ය අපරාධ එළියට ඒම නිසා විපක්ෂයට නැවත වරක් ආණ්ඩු බලය ගන්න පුළුවන් වෙයි කියලා හිතනවාද?

අපේ යහපාලන ආණ්ඩුව සමයේදී දූෂණ විරෝධි කමිටුවේ එතුමා ප්‍රධානියා වුණා. එහි හිටපු අධ්‍යක්ෂවරයා තමයි අද ආණ්ඩුවේ මහජන ආරක්ෂක ඇමැතිවරයා. ඒ ආණ්ඩුවේම කොටස්කරුවන් වෙලා හිටියට ඒ අයත් මේ දේවල්වලට වගකියන්න අවශ්‍යයි. මහ බැංකු මංකොල්ලය ගැන තවමත් මේ අය ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. සියලු ආණ්ඩු යටතේ මූල්‍ය අපරාධ සිදු වූ බව කමිටු වාර්තා එනවා. වාර්තා ඉදිරිපත් කරලා වැඩක් නැහැ, ඒවාට නීතිමය පියවර ගැනීමයි සිදු කරන්න අවශ්‍ය.

ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිණීමෙන් අපේ රටට වාසි රැසක් අත්වුණා. විපක්ෂය ලෙස ඒ ගැන මොකද කියන්නේ?

මොනවද අත්වෙච්ච වාසි? මොනවද වරප්‍රසාද? අපි කිසිම දෙයක් දන්නේ නැහැ. ලස්සනම වැඩේ කියන්නේ: මේ අය කාලයෙන් කාලයට ප්‍රතිපත්ති වෙනස් කරනවා. ඒ අය බලයට එන්න කලින් මොනවද කිවුවේ? ලෝකයේ තුන්වැනියට බලවත් රට වන ඉන්දියාව සමඟ සම්බන්ධතා පවත්වාගෙන යෑම ගැන අප සතුටු වෙනවා. ඒත් ප්‍රශ්නයක් තියෙනවා: මේ අත්සන් කරපු ගිවිසුම් කොන්දේසි මොනවද කියලා අපි දැනගන්න අවශ්‍යයි. අපි හිතන්නේ කටුසු න්‍යායක දැන් මේ ජවිපෙ ආණ්ඩුව ඉන්නේ; එදා ජවිපෙ පටන් ගත් තැන ඉඳලා ඉන්දීය විරෝධය කියලා තමයි අපි දන්නේ. රටක් කරන කොට එහෙම බැහැ, කියලා දැන්වත් තේරුම් ගන්න අවශ්‍යයි. ජවිපෙ පන්ති පහෙන් එක් පන්තියක් පැවැත්වුවා මම හිතන්නේ ව්‍යාප්තිවාදය ගැන. ඒ ව්‍යාප්තිවාදය අද පැත්තට දාලා, අංශක එකසිය අසූවක්ම අනික් පැත්තට ගිහිල්ලා. අපි දන්නෙත් නැති ගිවිසුම් ගහනවා. අපි කරපු දේවල් අපිටත් වඩා හොඳින් කරගෙන යනවා. මේ ආණ්ඩුව මොනවද ඉන්දියාවත් සමඟ ගිවිසුම්ගත වුණේ; මොනවද පාවලා දීලා තියෙන්නේ කියලා අපට ප්‍රශ්නයක් තියෙනවා. එදා හැම දේටම විරුද්ධ වුණ ජවිපෙ. ඉන්දීය හමුදාව ගේනවාට විරුද්ධ වුණා. පළාත් සභා ක්‍රමයට විරුද්ධ වුණා, තෙල් ටැංකිවලට විරුද්ධ වුණා, ඉන්දීය බෙහෙත්වලට සාම්පූර්වලට විරුද්ධ වුණා. අපි දන්නේ නැහැ; මේ අයගේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා.

විදෙස් සම්බන්ධතා නැහැ කියපු ජාජබ ආණ්ඩුව හොඳ විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැන විපක්ෂය විවේචනය කරනවාට වඩා, සහය දෙන එක නේද කරන්න අවශ්‍ය?

ආණ්ඩුවට විදෙස් සම්බන්ධතා විදෙස් ප්‍රතිපත්තියක්, දුරදැක්මක් තිබුණා නම් අමෙරිකාවේ අපනයන සඳහා 44% ගෙවන්න වෙන්නේ නැහැනේ. අමෙරිකාවෙන් ගැටලුවක් බදු සම්බන්ධයෙන් එනවා කියලා පක්ෂ නායකයා සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කිවුවා. ට්‍රම්ප් අපේ ජනාධිපතිවරයා කිවුව; ආර්ථික ප්‍රතිපත්තිය වෙනසක් කරනවා කියලා. ඒත් ආණ්ඩුට හැකියාවක් තිබුණෙ නැහැ; කලින් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. මේ දැක්ම නැති අපේ අපනයන ක්ෂේත්‍රය විශාල අර්බුදයකට ලක් වෙලා තියෙන්නේ. ඉන්දියාවේ වුණත් කොහොම වෙයිද කියලා අපි දන්නේ නැහැ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division