Home » පළාත් පාලන ආයතනවලිනුත් දූෂිතයන් පන්නන්න වෙලාව ඇවිත්

පළාත් පාලන ආයතනවලිනුත් දූෂිතයන් පන්නන්න වෙලාව ඇවිත්

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

විපක්ෂයට ඉදිරියේදිත් කරන්න වෙන්නේ වැඩකට නැති දේවල් කතා කරමින් ඉන්න විතරයි

වසර ගණනාවක සිට වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් සටන් කළ ඔබේ වෘත්තීය සමිති භූමිකාව පාර්ලිමේන්තුවට තේරී පත්වීමත් සමඟ අවසන් වෙයිද?

වසර 23කට වැඩි කාලයක් වැඩ කරන ජනතාවට හොඳ වැටුපක්, යහපත් ජීවිතයක් නිර්මාණය කර දීම වෙනුවෙන් සටන් කළ, විවිධ ක්‍රියාමාර්ගවල නියැළුණු වෘත්තීය සමිති නායකයන් අතරින් කෙනකු විදිහට, ඒ වගකීම එදාටත් වඩා හොඳින් ඉටු කිරීම මගේ බලාපොරොත්තුවයි. ආණ්ඩුවේ අපේක්ෂාවත් එයම නිසා මම හිතනවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විදිහට මට වැඩ කරන ජනතාව වෙනුවෙන් එදාට වඩා සේවයක් කළ හැකියි කියා. එදා අපේ ප්‍රධාන ඉල්ලීම් වුණේ වැටුප් වැඩි කිරීමයි. එහිදීත් අපේ මූලික සටන් පාඨය වුණේ වැඩ කරන ජනතාවට සාධාරණ, පිළිගත හැකි මූලික වැටුප් වැඩි වීමක්. වැඩ කරන ජනතාව සටන් පාඨ මඟින් ඒ ඉල්ලීම් ඉදිරිපත් කරන්නත් පෙරම මේ තිබෙන ආර්ථික දුෂ්කරතා ඇතුළෙ වුවත් ආණ්ඩුව පළමු අය වැයේදීම වැඩ කරන ජනතාවට සාධාරණයක් ඉටු කරන්න සමත් වුණා. වෘත්තිය සමිති නායකයකු විදිහට මම ඒ ගැන සතුටු වෙනවා.

වෘත්තීය සමිති නායකයන් රැසක්ම ආණ්ඩුව නියෝජනය කරන නිසා අපට වැඩි හැකියාවක් නිර්මාණය වෙලා තියෙනවා, රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික සහ වතු ක්ෂේත්‍ර ආදි රටේ සියලු වැඩ කරන ජනතාවගේ වෘත්තීය ගැටලු වෙනුවෙන් මැදිහත් වීමට. එමඟින් සමස්ත වැඩ කරන ජනතාවම රට ගොඩනඟන දැවැන්ත කාර්යයේ කොටස්කරුවන් බවට පත් කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරනවා.

මේ අය-වැයෙන් වැඩ කරන ජනතාවට ලැබුණු සහන ගැන මතක් කරනවා නම්…

මේ ආණ්ඩුව හදන්න මුල්ම පියවර තැබූ වැඩ කරන ජනතාවට ආණ්ඩුව සාධාරණ ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා වගේම වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් හිතන ආණ්ඩුවක් බවට වන සංඥාව ආණ්ඩුවේ පළමු අය-වැයෙන්ම දී තිබෙන බව කිව යුතුයි. මෑත කාලයේ වැඩ කරන ජනතාවට ලැබුණු ඉතා ඉහළ මට්ටමේ ජයග්‍රහණ විදිහට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් වැඩි වීම සලකන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් වැඩ කරන ජනතාවගේ මූලික වැටුප 66%කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කර තිබෙනවා. ඒ වගේම 80%ක අගයකින් වාර්ෂික වැටුප් වර්ධකය ඉහළ දමා තිබෙනවා.

වැටුප් වැඩි කිරීමට අමතරව දශක ගණනාවක් තිස්සේ නොවිසඳුණු, පීඩාවට පත් වුණු ගැටලු ගණනාවක් රජයේ සේවකයන්ට තිබෙන පසුබිමකයි අපි මේ ආණ්ඩුව භාර ගත්තේ. සමහර වෘත්තීන්වල උසස්වීම් පටිපාටියක්, විධිමත් සාධාරණ බඳවාගැනීම් නෑ. ඇතැම් වෘත්තීන්ට අදාළ සේවා ව්‍යවස්ථා, සමහර තනතුරුවලට අදාළ පහසුකම් සහ දීමනා නැහැ. වැඩ කරන ජනතාව දශක ගණනාවක් තිස්සේ පීඩාවිඳි ඒ සියලු ප්‍රශ්න එකවර හෝ මාස කිහිපයකින් විසඳලා අවසන් කරන්න පුළුවන් කියලා සහතික වෙන්න බැරි වුණත් අපට දැඩි වුවමනාවක් තිබෙනවා මේ ප්‍රශ්න විසඳන්න. ඒ සඳහා සාධාරණ මැදිහත්වීම් කරන්න අප පැකිළෙන්නෙ නැහැ.

ඒත් විපක්ෂය චෝදනා කරනවා, එදා පක්ෂයක් විදිහට ජනතාවට පොරොන්දු වුණ දේවල් අද ආණ්ඩුවෙන් ඉෂ්ට වෙන්නෙ නැහැ කියලා…

එදා කියපු දේවල් අද අපි ඉටු කරමින් සිටිනවා. ඇත්තටම දැන් ඉටු වන්නේ නැත්තේ එදා විපක්ෂ කණ්ඩායම් කියපු දේවල්. ජාතික ජන බලවේගය බලයට පත් වුණොත් රටේ ආර්ථිකය කඩාවැටෙයි කිවුවට කඩා වැටෙමින් තිබූ රට ආණ්ඩුවක් විදිහට අපි ස්ථාවර කරමින් සිටිනවා. අස්වැසුම ආදී සමාජ සුබසාධන කටයුතු, පහසුකම් නැති කරයි කිව්වට ජනතාව රැකබලාගන්න ආණ්ඩුවක් විදිහට ඒ වෙනුවෙන් පියවර රැසක් ගෙන තිබෙනවා. ඒ අනුව ඉතාම පැහැදිලියි ජනතාවට දීපු බලාපොරොත්තු එකින් එක අපි ඉටු කරමින් තියෙනවා. ඉටු නොවෙන්නේ වර්තමානයේ ඉන්න විපක්ෂය කියපු දේවල් විතරයි. ජනතා විශ්වාසය සහ එකඟතාවන් ගැන ඉතා හොඳින් තේරුම් ගත් දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි ජනතාව ගැන හිතන, ඒ වෙනුවෙන් ඉතා වගකීමෙන් කටයුතු කරන ආණ්ඩුවක්. ඒ නිසා අද විපක්ෂය අන්ත අසරණ තත්ත්වයට පත්වීම තුළ ඔවුන්ගේ චෝදනා ගැන අපි පුදුම වෙන්නෙ නැහැ.

විපක්ෂය පාළු ගෙයි වළං බිඳිනවා කියලද ඔබ කියන්නේ?

තනි පක්ෂයක් විදිහට මන්ත්‍රීවරුන් 159ක් සහිත විශාල බලයක් ජාතික ජන බලවේගය ආණ්ඩුවට ලැබී තියෙද්දි, මුළු විපක්ෂයම නියෝජන කරන්නේ ඉතා අඩු සංඛ්‍යාවක්. එදා රට බංකොලොත් කළ කණ්ඩායම අද පාර්ලිමේන්තුවේ ඉතා කුඩා කණ්ඩායමක්. විපක්ෂයට කරන්න කාර්යභාරයක් ඉතිරි වෙලා නැති තරමට ආණ්ඩුව වැඩ කරගෙන යනවා. ඒ නිසා විපක්ෂය පාළු ගෙයි වළං බිඳිනවා වගේ එක එක දේවල් කියමින් කරමින් අවධානය දිනාගන්න උත්සාහ කරනවා. අපි ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක් නිසා විපක්ෂයට ඉදිරියේදිත් කරන්න වෙන්නේ වැඩකට නැති දේවල් කතා කරමින් ඉන්න විතරයි.

ඒත් ආණ්ඩුව කරන වැඩ ගැන ජනතාව අතර ප්‍රචාරය වෙනවා අඩුයි කියලා හිතෙන්නෙ නැද්ද?

අපි ඉතිහාසයේ ඉඳන්ම ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළත්, ඒ ගැන ප්‍රචාරයට වඩා කරන කාර්යයේ අරමුණ ජයග්‍රහණය කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ දේශපාලන ව්‍යාපාරයක්. බොරුව සමාජගත වන සහ බොරුව අලෙවි වන ප්‍රමාණයට ආණ්ඩුව කරන යහපත්, ජනතාවාදි දේවල් ප්‍රචාරණය වීමේ අඩුවක් තිබෙන බව පිළිගන්නවා. ඉතිහාසයේ සිට අපි දැකලා තියෙනවා ආණ්ඩුවක් බලයට පත් වුණාම රජයේ මුද්‍රිත, විද්‍යුත් ඇතුළු සියලු මාධ්‍ය තමන්ගේ හොරණෑ බවට පත් කර ගන්නවා. ඒත් ජාතික ජන බලවේගය අනුගමනය කරන්නේ පොදු මාධ්‍ය සංස්කෘතියක පොදු ගුණාංගයි. අපි නිරන්තරයෙන්ම මාධ්‍ය කලාව හසුරවන්නේ, මෙහෙයවන්නේ සහ ඊට නායකත්වය දෙන්නේ ඒ සමබරතාව සහ මාධ්‍යයේ තිබිය යුතු ගුණාංග රැකගනිමිනුයි. ඊට අමතරව අපි බිම් මට්ටමින් විවිධ ආකෘති ඇතුළේ ජනතාවට නිවැරදි අවබෝධය දෙන්න කටයුතු කරනවා. ජනතාව වෙනුවෙන් කරන වැඩ සාර්ථක කරගැනීම ගැන මිස ජනප්‍රියත්වය හඹා යෑමට අපට තියෙන්නේ අඩු අවධානයක් වුණත් ක්‍රමානුකූලව සමාජය තුළ ඒ තත්ත්වය නිර්මාණය වෙයි කියලා හිතනවා.

හොරු අල්ලන්න, දඬුවම් දෙන්න ආණ්ඩුව ප්‍රමාදයි කියලත් සමහරු කියනවා…

කවුරුවත් කලබල වුණාට, කලබල වෙලා නීත්‍යනුකූල පියවර ගන්න බැහැ. අපරාධ, නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් නිසි පියවර ගත යුතු ශ්‍රී ලංකා පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම, මූල්‍ය අපරාධ විමර්ශන ඒකක ඇතුළු අදාළ සියලු ආයතන දැන් තම අනන්‍යතාව සහිතව ස්වාධීනව කටයුතු කිරීමට පටන් ගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඒ අදාළ ආයතනවලට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය නිදහස සහ බලතල දී තිබෙන නිසා අද ඒ ආයතන පියවරෙන් පියවර තමන්ගේ ආයතනවලට ලැබිලා තියෙන පැමිණිලි විභාග කරමින්, චෝදනා ගොනු කරමින්, නීතිමය කටයුතු සඳහා අවශ්‍ය වාර්තා ඉදිරිපත් කරමින්, නඩු පවරමින්, ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඇතැම් අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිය ප්‍රමාණවත් නැති නිසා පාර්ලිමේන්තුවෙන් නව පනත් සම්මත කරගත යුතුයි. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අපරාධයකින් උත්පන්න දේපළ පවරාගැනීමේ පනත් කෙටුම්පත මඟින් දේශපාලනඥයකු හෝ ඕනෑම පුද්ගලයකු බලය අනිසි ලෙස පාවිච්චි කරමින් දේපළ, මුදල් උපයාගැනීමක් හෝ අපරාධයක් සිදු කර ඇත්නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න සහ පියවර ගන්න මේ නව පනත මඟින් අවස්ථාව ලැබෙනවා.

අමෙරිකාව තීරු බදු ඉහළ දැමීම පිළිබඳ ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

මේ කාරණය සම්බන්ධයෙන් පැහැදිලි කළ යුතු මූලික කාරණය, එම තීරු බදු ඉහළ දැමීම රටක් විදිහට ශ්‍රී ලංකාව හෝ ජාතික ජන බලවේගය ආණ්ඩුව හෝ වත්මන් ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් අමෙරිකානු රජය ගත්ත තීරණයක් නොවන බව. විපක්ෂයට නොතේරුණාට මේ රටේ සබුද්ධික ජනතාවට ඒක පැහැදිලියි. අමෙරිකන් රජය තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ඇතුළේ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ විශාල රටවල් ප්‍රමාණයක් අදාළ කරගෙනයි ඒ තීරු බදු පැනවීම කර තිබෙන්නේ. රජයක් විදිහට මේ වෙද්දි ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් අදාළ අධ්‍යයනයන් කරලා, කළ යුතු වෙනස්කම් සහ යෝජනා පිළිබඳ යම් වැඩපිළිවෙළක් සකස් කරන්න අවශ්‍ය මැදිහත්වීම කර තිබෙනවා. මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, ජනාධිපති ආර්ථික උපදේශකවරයා, ආයෝජන මණ්ඩලය, වාණිජ මණ්ඩලය ආදි අදාළ සියලු ආයතන සහ අපනයන ක්‍රියාවලියේ නියැළෙන ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කරගනිමින් තීරු බදු වැඩි කිරීම් සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ කළ යුතු සාකච්ඡා සහ යෝජනා පිළිබඳ අවධානය යොමු කර, ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ වගේම, දැනටමත් ආරම්භයක් විදිහට ආණ්ඩුව අදාළ අංශ සමඟ අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

ආණ්ඩුව ඉන්දියාව සමඟ රටට අයපහපත් ගිවිසුම්වලට එළඹ ඇති බවටත් විපක්ෂය චෝදනා කරනවා නේද?

විපක්ෂයට හැදිලා තියෙන අසනීපයට බෙහෙත් නැහැ. විපක්ෂය සුව කළ නොහැකි රෝගයකින් පෙළෙන බව ඉතා පැහැදිලියි. ජාතික ජන බලවේගය ආණ්ඩුව එන්න කලින් ඔවුන් දිවා-රෑ කිවුවා, මාලිමාවේ ආණ්ඩුව ආවොත් අන්තර්ජාතික උදවු කරන්නේ නෑ, විදෙස් සබඳතා නැතිව රට හුදෙකලා වෙයි කිවුවා. ඒත් අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවේ සිට ඉතා නිවැරදි, මධ්‍යස්ථ සහ විධිමත් ලෙස රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු ආරම්භ කර ඉහළ අන්තර්ජාතික සහයෝගිතාවක් සහිතව කටයුතු කරනවා. ඉන්දියාව, චීනය, ජපානය සහ දකුණු කොරියාව සහ වෙනත් බොහෝ රටවල් අද ලංකාව සමඟ ඉතා සුහදශීලි, අවබෝධාත්මක සහ සමබර අන්තර්ජාතික ගනුදෙනු ආරම්භ කර තිබෙනවා. වත්මන් ආණ්ඩුව අනුගමනය කරන ඉතා ඉහළ නිවැරදි රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු මේ රටට වඩාත් නිවැරදි දිශාවකට ගෙනයෑමට පිටිවහලක් වෙයි කියලා විශාල විශ්වාසයක් තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය සඳහා ආණ්ඩුවේ සූදානම කොහොමද?

ජනතාව ඉකුත් මහමැතිවරණයේදී මාලිමාවට දුන් දැවැන්ත ජයග්‍රහණය මේ මැතිවරණයේදිත් ඒ විදිහටම ලබා දෙන්න ජනතාව පෙළගැහෙයි කියන බලාපොරොත්තුව අපට තිබෙනවා. ජාතික මැතිවරණයේදී දූෂිතයන් එළවා දැම්මා වගේ පළාත් පාලන ආයතනවලිනුත් දූෂිතයන් පලවාහැර තමන්ගේ ගම නිවැරදි දිශාවකට ගෙන යන වැඩපිළිවෙළකට සම්බන්ධ වෙන්න මැයි 6 වැනිදාට ජනතාවට අවස්ථාව ලැබෙනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division