දේශපාලන ක්ෂේත්‍රය පසුගිය සතියේ වඩාත්ම උණුසුම් වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙනි. පළාත් පාලන මැතිවරණ උණුසුමද යටපත් කරමින් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිය ළැව්ගින්නක් සේ පැතිරගිය අතර, දින 90කට එය තාවකාලිකව අත්හිටුවීමට ට්‍රම්ප් පසුගිය 10 වැනිදා තීරණය කළේය.
ජනපති පක්ෂ නායකයන් කැඳවයි
අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් පසුගියදා (10) අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක හමුවක් පවත්වන ලදි. අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග ගැන මෙහිදී සකච්ඡා කෙරිණි.
අල්ලස, දූෂණය තුරන් කිරීම ඊළඟ පරම්පරාවට භාර නොදෙන බවට ජනපතිගෙන් සහතිකයක්
අල්ලස හා දූෂණය නමැති අපරාධයෙන් දේශපාලන යන්ත්‍රණය මුදාගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින්, නිලධාරි යන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ඒ වෙනුවෙන් මාස 6ක කාලයක් මේ වන විට දී ඇති බවත්, නිලධාරී යන්ත්‍රණය නිවැරදි නොවන්නේ නම් ලබන මැයි මාසයෙන් පසු ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා (09) පැවති ජාතික දූෂණ විරෝධි ක්‍රියාකාරි සැලැස්ම 2025-2029 එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි.
මෙරට රාජ්‍ය ආයතන පද්ධතියේ ගෞරවය හා වටිනාකම් විනාශ කරමින්, අල්ලස හා දූෂණය රජ වී ඇති බවත්, වත්මන් ආණ්ඩුව බලයට පත් වී ගෙවී ගිය මාස 6 තුළ රාජ්‍ය සේවයේ කිසිදු ස්ථානයක් බිඳවැටීමට ඉඩ නොතැබූ බවත් පැවසු ජනාධිපතිවරයා නිලධාරී යන්ත්‍රණය වෙනස් වීමට තවදුරටත් සූදානම් නොවන්නේ නම් මේ මැයි මාසයෙන් පසු ඒ නිලධාරීන් වෙනස් කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකාව වසර ගණනක් පසුපසට ගියේ ඇයි?
අල්ලස හා දූෂණය නමැති අපරාධය නිසා ශ්‍රී ලංකාව ලෝකය තුළ දශක ගණනාවක් පසුපසට ගොස් ඇති බව පෙන්වාදුන් ජනාධිපතිවරයා මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළි ගැනීමක් නොව, මානුෂීය යුතුකමක් බවද අවධාරණය කළේය. නීතියට අනුගත වන හා නීතියට බිය වන සමාජයක් ගොඩනැඟිය යුතු අතර ඊට දේශනා, වැඩමුළු ප්‍රමාණවත් නොවන බවත්, අපරාධයකට දඬුවමක් ලැබෙන බව ප්‍රායෝගිකව තහවුරු කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජපාන තානාපතිගෙන් ආණ්ඩුවට සහතිකයක්
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමටා මහතාද මේ උත්සව සභාව ඇමතූ අතර, මෙතෙක් පැවති පාලකයන්ගේ වැරදි තීන්දු තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් ඈත්ව ගිය ආයෝජකයන් වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ නිසා නැවත ශ්‍රී ලංකාවට සමීප වෙමින් සිටින බවත් තානාපතිවරයා පැවසීය. විනිවිදභාවය සහ යහපාලනය තිරසර ආර්ථික සංවර්ධනය සඳහා මූලික කුලුනු බව දැඩි ලෙස විශ්වාස කරන බැවින් ජපානය ලොව පුරා දූෂණය වැළැක්වීමේ පියවරයන්ට සහාය දක්වන බවද ජපාන තානාපතිවරයා මෙහිදී කියා සිටියේය.
ඉන්දීය ගිවිසුම් ගැන ඇමැති විජිත කතා කරයි
ඉන්දියාව සමඟ අත්සන් කරන ලද ගිවිසුම් 7ම නීත්‍යනුකූල බවත්, ඒ සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මේ ගිවිසුම් මඟින් ශ්‍රී ලංකාවට වාසි රැසක් හිමි වන බවද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදි.
“ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය මඟින් ශ්‍රී ලංකාවාසී ජනතාවට වාසි රාශියක් සලසා දී තියෙනවා. ප්‍රධාන එකක් තමයි අපි ඉන්දියාවෙන් පහුගිය කාලය තුළ ද්විපාර්ශ්වික වශයෙන් ණය ගෙන තිබෙනවා. ඒ ණය සඳහා ප්‍රතිව්‍යූහකරණ වැඩසටහනක් අප ඉල්ලා සිටියා. මම කියන්න සතුටුයි: ඉන්දීය රජය එකඟ වුණා සහ දෙපාර්ශ්වය අතර ගිවිසුමකට අත්සන් තැබුවා ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව. පහුගිය කාලය තුළ මේ මාස හයට පමණක් ඩොලර් මිලියන 100ක පමණ ණය ප්‍රමාණයක් ආධාර බවට පරිවර්තනය කර තිබෙනවා.
“ඒ වගේම, පහුගිය ආර්ථික අර්බුදය අවස්ථාවේ ඉන්දියාවෙන් ස්වැප් පහසුකම යටතේ ණයක් ලබාගෙන තිබුණා. ඒ සඳහා අපේ පැත්තෙන් අප යෝජනා ඉදිරිපත් කළා ඒ ස්වැප් ලෝන් එකේ පොලී ප්‍රතිශතය අඩු කරන්නත්, එය නැවත ලබාදීම සඳහා කාලසීමාව දික් කරන ලෙසත්. ඉන්දීය අගමැතිවරයා ඉතා පැහැදිලිව පොරොන්දුවක් දුන්නා ඒ ණය පහසුකමේ පොලී අනුපාතය අඩු කරන්නත්, කාලසීමාව දික් කරන්නත්.
ගිවිසුම් 7න් වාසි රැසක්
“මන්නාරම රෝහලේ හදිසි අනතුරු අංශය හා හදිසි ප්‍රතිකාර ඒකකයට ශ්‍රී ලංකා රුපියල් කෝටි 60ක ආධාර මුදලක් අපට දුන්නා. මහව සිට අනුරාධපුර දක්වා වන සංඥා පද්ධතිය සකස් කිරීම කලින් ණයක් විදියට තිබිච්ච එක ඩොලර් මිලියන 14.9ක් (රුපියල් කෝටි 450කට ආසන්න) මුදල මුළුමනින්ම ප්‍රදානයක් බවට පරිවර්තනය කළා. ඒක ණයක් නෙමෙයි, ආපසු ගෙවිය යුතු දෙයක් නෙවෙයි.
“ඒ වගේම සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය අපි ඒ සඳහා ආරම්භක මුල්ගල් තැබීම සිද්ධ කළා. ඒ මඟින් මෙගාවොට් 14ක ධාරිතාවකින් යුක්ත ව්‍යාපෘතියක් ආරම්භ වෙනවා. ඒකක දෙසීයකට වඩා අඩු විදුලි ධාරිතාවක් භාවිත කරන වෙහෙර විහාරස්ථාන අප හඳුනාගෙන තියෙනවා 6,280ක් ඉදිරියේදී නොමිලේ විදුලි පහසුකම් සැලසීම සඳහා දැනටමත් ඉන්දීය රජය එකඟ වෙලා තියෙනවා.
“සමාජ ආරක්ෂණ පිළිබඳ ගිවිසුමක් ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවට ගිහින් වැඩ කරනවා විවිධ ආයතනවල ඔවුන් එහි යම් කාලයක් වැඩ කළාට පස්සේ නැවත ලංකාවට එන කොට ඔවුන් වැඩ කරපු කාලයට අදාළ ඔවුන්ට ගෙවනු ලබන, ඔවුන්ට හිමි සමාජ ආරක්ෂණ මුදල ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ගිවිසුමක් තිබුණේ නෑ. ඒ සඳහා අප සමත් වී තිබෙනවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමාජ ආරක්ෂණ ගිවිසුම අත්සන් කරන්න. ඒ වගේම වතු නිවාස 10,000 ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනටමත් බොහෝ නිවාස ප්‍රමාණයක් හදලා ඉවර කරලා තියෙනවා. තවත් 4,700ක වැඩ කටයුතු සිදු වෙමින් පවතිනවා.
“අමෙරිකාව දැන් අපට පනවා තිබෙන බද්දත් එක්ක ඇත්තටම අපේ අපනයනවලට යම් බලපෑමක් වෙනවා ඒකත් එක්ක අපි ඉන්දීය රජයත් සමඟ සාකච්ඡා කළා දැනට නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා මිලියන 8 කොටස් ප්‍රමාණයක් අපට ලැබිලා තියෙනවා. ඒක අපි සම්පූර්ණයෙන් පාවිච්චි කරනවා. එහෙත් අප ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කළා ඒ ප්‍රමාණය කොටස් මිලියන 50 දක්වා වැඩි කරන්න කියලා. අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් තබනු ලැබුවා. ඒ අවබෝධතා ගිවිසුම් හතම අත්සන් තැබුවේ දීර්ඝ වශයෙන් ඒ අදාළ අමාත්‍යාංශවල අපේ නිලධාරීන් සහ ඉන්දීය නිලධාරීන් අතර සාකච්ඡාවට ගණනාවක් පවත්වලා. ඒ අවබෝධතා ගිවිසුම් හතම ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා වෙත යොමු කර, නීතිපතිවරයාගේ අනුමැතිය ගෙන තියෙනවා. පැහැදිලිව කියන්න ඕනෑ මේ රටේ ජනතාවට: මේ කිසිදු ලියවිල්ලක් නීති විරෝධී ලියවිල්ලක් නොවෙයි. ඕනෑම මොහොතකදි රටවල් දෙකින් එකකට මේ ගිවිසුම්වලින් ඉවත් වීමේ හැකියාව තියෙනවා. මාස තුනකට පෙරාතුව දැනුම් දීලා.
“අප විසින් බලශක්තිය පිළිබඳ ප්‍රධාන ගිවිසුම සහ ගිවිසුම් දෙකක් අත්සන් කරනු ලැබුවා . ආනයනය සහ අපනයනය කියන දෙකම පදනම් වෙච්ච අවබෝධතා ගිවිසුමක් මේ තියෙන්නේ. ප්‍රතිපත්තිමය අවබෝධතාවලට එකඟතා පළ කිරීම පමණයි. එතැනින් එහාට තමයි ලංකාවේ සීමාව තුළ ඉදි කිරීම් වෙන්නේ කොහොමද, ඉන්දියාව භූමිය තුළ ඉදිකිරීම් කටයුතු වෙන්නේ කොහොමද, ඉන්දියාවේ අනිවාර්යයෙන්ම විදුලි ලබා ගැනීම සඳහා කොන්දේසියකට යටත් වීමක් කිසිසේත්ම නෑ. ඉන්දියාවට ඕනෑ විදිහට ස්විච් එක ඕෆ් කරහම කළුවරේ ඉන්න තත්ත්වයක් මේකෙන් ඇතිවෙන්නෙ නෑ. අපේ බලශක්ති ස්වෛරීත්වය ඉන්දියාවට පාවාදීමක් මේ ගිවිසුම් හරහා කිසි සේත්ම සිද්ධ වෙන්නේ නෑ,” යනුවෙන්ද විජිත හේරත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවෙන් ලැබුණු සම්මානය ගැන මෝදි කියූ දේ
ශ්‍රී ලාංකික ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගිතාව අගයමින් ‘මිත්‍ර විභූෂණ’ සම්මානයෙන් පිදුම් ලැබීම තමාට මහත් ගෞරවයක් බවත්, එය හුදෙක් තමාගේ නොව කෝටි 140ක් වූ ඉන්දීය ජනතාවට ලැබුණු සම්මානයක් බවත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයාට, ශ්‍රී ලංකා රජයට හා ජනතාවට තම ආචාරය පුද කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පසුගියදා (5) ජනාධිපති කාර්යාලයේ පැවති නිල හමුවෙන් අනතුරුව පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවේදීය.
භාරතය සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික සබඳතාවක් සහ ගැඹුරු මිත්‍රත්වයක් ඇති බවත්, 2019 වසරේදී සිදු වූ සංචාරය අතිශය සංවේදි කාලයක සිදු වූ බවත් පෙන්වා දුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, අගමැති ලෙස මෙය තමාගේ 4 වන ශ්‍රී ලංකා සංචාරය බවද සිහිපත් කළේය.
ශ්‍රී ලංකා ජනතාවගේ නිර්භීතභාවය හා ධෛර්යය පිළිබඳ තමා දැන සිටි හෙයින් ශ්‍රී ලංකාව වඩා ශක්තිමත්ව යළි ගොඩනැඟෙනු ඇතැයි තමා විශ්වාස කළ බවත් එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකාව නැවත ප්‍රගතියේ මාවතට ප්‍රවිෂ්ට වී සිටිනු දැක තමා සතුටට පත් වන බවද මෝදි මහතා පෙන්වා දුන්නේය.
භාරතයට සාඩම්බරයට කාරණයක් වනුයේ ගෞරවාන්විත මිත්‍රයකුගේ ස්වරූපයෙන් ඉටු කළ යුතු යුතුකම ඉටු කිරීමට හැකි වීම බවද, 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය හා පසුව පැමිණි ආර්ථික අර්බුදය යන සියලු අවස්ථාවල තම රජය ශ්‍රී ලංකා ජනතාව සමඟ එකට එක්ව සිට කටයුතු කළ බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ‘තිරුවලුවර්’ නම් කවියාගේ වදනක් උපුටා දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ සත්‍ය මිතුරකු සහ ඔහුගේ මිත්‍රත්වයට වඩා වෙනත් සුරක්ෂාවක් නැති බවයි.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ පිළිබිඹුවක් බවත්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පළමු විදෙස් මිතුරා වන්නට තමාට අවස්ථාව ලැබුණු බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. භාරතයේ අසල්වැසියා පළමු ප්‍රතිපත්තිය තුළ හා මහාසාගර් දැක්ම තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමි වන බවත් පැවසූ මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයෙන් පසු පසුගිය මාස 4ක කාලය තුළ දෙරට අතර සහයෝගිතාවේ ඉහළ ප්‍රගතියක් ඇති වූ බවද පැවසීය.
සාම්පූර් සූර්ය බලාගාර ව්‍යාපෘතියේ සිට ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය කිරීම දක්වා දෙදෙරට අතර ඇති වූ සහයෝගිතාවල ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ සියලු ජනතාවට ලැබෙනු ඇතැයිද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. අධිවෝල්ටීය ජාල සබඳතාව පිළිබඳ සහයෝගිතාවෙන් ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරීමට අවස්ථාවක් උදා වනු ඇති බවද, ශ්‍රී ලංකාවේ ආගමික ස්ථානවල සූර්ය පැනල 5,000ක් ස්ථාපනය කිරීමට ලැබීම මහත් සතුටක් බවද ඔහු මහතා පැවසීය.
අසල්වැසියාට උපරිම ලෙස උදව් කරන බවට මෝදිගෙන් සහතිකයක්
ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියටද ඉන්දියාවේ සහාය දෙන බවද, ජනතාවගේ ආර්ථික හා සමාජයීය දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 2.4ක ප්‍රදානයක් පිරිනැමීමටත් තමා කටයුතු කළ බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ගොවීන්ගේ යහපත උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම කෘෂි ගබඩා සංකීර්ණය ඉදිකිරීමට තම රජය සහය දුන් බවද පෙන්වා දුන්නේය.
හෙට දිනයේදී තමා නවීකරණය කළ මහව – ඕමන්ත දුම්රිය මාර්ගය මෙන්ම මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය ජනතා අයිතියට පත් කිරීමට සහභාගි වන බවද, ශ්‍රී ලංකාවේ ඉන්දීය සම්භවයක් ඇති දමිළ ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදි කිරීමට සහ ශ්‍රී ලංකාවේ විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරන යොවුන් නායකයන් 700කට යහපාලන පුහුණු වැඩසටහන් සඳහා ඉන්දීය රජයේ සහාය දෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
භාරතයේ ‘සබ්බා සාත් – සබ්බා විකාස්’ දැක්ම අනුව, තමන් අසල්වැසි දේශයන්වල ප්‍රගතියට සහය දෙන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රතිව්‍යූහගතකරණයේදී පොලී අනුපාත අඩු කිරීමට තීරණය කර ඇති බවත් පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට සහනයක් ලැබෙනු ඇති බවද ප්‍රකාශ කළේය.
භාරතය සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනක ආධ්‍යාත්මික සහ ආත්මීය සබඳතාවක් ඇති බවද, එය තහවුරු කරමින් 1960දී ගුජ්රාත්වලින් හමු වූ බුදුන් වහන්සේගේ ධාතු බැතුමතුන්ට වැඳපුදා ගැනීමට සැලැස්වීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකාවට වැඩම කරවීමට කටයුතු කරන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය. එසේම ත්‍රිකුණාමලය තිරුකෝනේශ්වරම්, අනුරාධපුර පූජනීය නගරය, සීතාඑළිය කෝවිල යන ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට ඉන්දියාවේ සහාය දෙන බව නරේන්ද්‍ර මෝදි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය අතරතුර ඉහළ රාජ්‍ය ගෞරව සහිතව හරසරින් පිළිගැනීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට සිය ස්තුතිය පුද කර සිටින බවද නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මෝදි මහින්දට හා රනිල්ට පිටුපෑවාද?
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හා දෙමළ දේශපාලන නායකයන්ට කාලය වෙන් කර තිබිණ. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂට හා රනිල් වික්‍රමසිංහට ඒ අවස්ථාව ලැබුණේ නැත.
නාමල්ගෙන් රනිල්ට දුරකතන ඇමතුමක්
නාමල් රාජපක්ෂ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දුරකතන ඇමතුමක් ගත්තේය. “මෝදි අගමැතිතුමා හමු වෙන්න ඔබතුමාට වෙලාවක් දීලා තියෙනවාද?” නාමල් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවේය.
“මට එහෙම ආරාධනාවක් කරලා නෑ,” රනිල් වික්‍රමසිංහගේ පිළිතුර විය. “ඒක තමයි… මීට කලින් නම් තාත්තටත් ආරාධනා කළා. ඒත් මේ පාර නෑ” නාමල් කීවේය.
ඇමති විජිත ජූලි චන්ග් හමු වෙයි
අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩවල නව බදු පනවන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙයට මාසයකට පමණ පෙරය.
“විජිත සහෝදරයා ඔයා අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් හමු වෙලා මේ ගැන අහලා බලන්න,” ජනාධිපති අනුර කුමාර එහෙම කිවුවේ විදේශ ඇමැති විජිත හේරත්ටය. ඒ අනුව විජිත හේරත් අමාත්‍යවරයා ජූලි චන්ග් හමු වී තිබේ.
“ලංකාව වගේ රටවලට බදු පනවන්නේ නෑ. යුරෝපා රටවලට නම් බදු පනව” යි ජූලි චන්ග් එසේ කියා ඇති බවද වාර්තා වේ. කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා රටවල් රැසකට තීරුබදු පැනවීමට ක්‍රියා කළ අතර, ශ්‍රී ලංකාවට 44%ක තීරුබද්දක් පැනවීමට ඔහු කටයුතු කළේය.
මේ බදු පැනවීම සම්බන්ධයෙන් ලොව පුරා දැඩි කතාබහක් ඇති වූ අතර, රටවල් රැසකින්ම අමෙරිකානු ජනාධිපති වෙත ඉල්ලීම් ඉදිරිපත් වූයේ මේ බදු පැනවීම් සංශෝධනය කොට සහනයක් දෙන ලෙසයි. ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායකද මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති වෙත ලිපියක් යැවීමට කටයුතු කර තිබිණි.
ට්‍රම්ප්ගෙන් දින 90කට සහනයක්
කෙසේ නමුත් මේ වන විට චීනයට හැර සෙසු රටවලට පනවා ඇති බදු තාවකාලිකව මාස 3ක කාලයකට අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් පසුගිය 10 වැනිදා තීරණය කරන ලදි. එහිදී චීනයට පනවා ඇති 125%ක තීරු බද්ද එලෙසම ක්‍රියාත්මක කිරීමටද අමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇත.
රනිල්ගෙන් හිටපු නායකයන්ට ඇමතුම්
“ආණ්ඩුවට මෙහෙම දෙයක්වත් කළමනාකරණය කර ගන්න තේරෙන්නේ නෑ. ඒත් රටක් විදිහට අපි මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න ඕනෑ…” හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහෙම කිවුවේ මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරුන්ට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියට දුරකතන ඇමතුම් දෙමිනි.
ට්‍රම්ප්ගේ බදු ගැන සජිත්ගෙන් යෝජනාවක්
ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බදු ගැන සාකච්ඡා කරන්න වහාම සෙනට් සභාවේ හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් හමුවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයට යෝජනාවක් කළේය. අමෙරිකානු ජනාධිපතිවරයා පෙබරවාරි 1 දා සිට කැනඩාවට, මෙක්සිකෝවට හා චීනයට තීරුබදු පැනවීමක් නිවේදනය කර ඇති අතර, ඒ බදු අනුපාත වෙනස් කිරීම් මෙරටට ඇති කරන බලපෑම ගැන තමා විසින් 2025 පෙබරවාරි 19 දා පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කරනු ලැබූ අතර මෙහිදී ගෝලීය වශයෙන් පනවන්නට යන ප්‍රතිචාරාත්මක බදු ගැන ප්‍රශ්න කළත් රජයේ පාර්ශ්වයෙන් නිද්‍රාශීලි පිළිවෙතක් අනුගමනය කරනු ලැබූ බවත්, පසුගියදා අප රටේ අපනයනවලට 44%ක ප්‍රතිචාරාත්මක බදු පැනවීමෙන් පසු රජයේ අවධානය යොමු වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අමෙරිකානු සෙනට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ ශ්‍රී ලංකා අමෙරිකා මිත්‍රත්ව සංගමයක් තිබේද යන්නත් එහි සිටින සෙනට් සාමාජිකයන් ප්‍රමාණය සහ එම සාමාජිකයන් කවුරුන්ද සහ ඔවුන් නියෝජනය කරන ප්‍රාන්ත සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය බවත් මෙම සංගම්වල සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් අප රටේ අපනයනවලට පනවා ඇති 44%ක ප්‍රතිචාරාත්මක බදු ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට කටයුතු කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ සෙනට් සභිකයන්ට සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඔවුන්ගේ බලතල භාවිත කර මෙම බදු අඩු කර ගැනීමට යම් ප්‍රගතියක් අත්කරගැනීමට හැකි බවත්, මේ වන විට රිපබ්ලිකන් පක්ෂයේ හා ඩිමොක්‍රටික් පක්ෂය එකට එකතු වී සෙනට් සභාව හරහා මෙම බදු සම්බන්ධයෙන් නීතියක් ගෙන ඒමට සූදානම් බැවින් මේ අය සමග කඩිනම් සාකච්ඡාවකට යන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
එජාප මැතිවරණ කමිටුව රැස්වෙයි
මේ අතර පසුගිය සඳුදා උදෑසන එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ මැතිවරණ කමිටුව රැස් විණි.
මේ රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, මහලේකම් තලතා අතුකෝරාල, ජාතික සංවිධායක සාගල රත්නායක, උප සභාපති නවීන් දිසානායක, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ. මෙවර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් නායක රනිල් විසින් සියලු දෙනා දැනුවත් කළ අතර, මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳවද පිරිසට ප්‍රකාශ කළේය.
එසේම පසුගිය සතිය පුරා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිරගේ සහ මහලේකම් තලතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත තුළත්, නැඟෙනහිර පළාත තුළත් සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සංවිධානය කර තිබූ පළාත් පාලන අපෙක්ෂකයන්ගේ රැස්වීම්වල ප්‍රගතිය පිළිබඳවද මහලේකම්තුමිය විසින් නායකතුමන් දැනුවත් කරන ලදි.
මේ අතර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තරග කරන ගාලු දිස්ත්‍රික් අපෙක්ෂකයන්ගේ හමුව පසුගිය සිකුරාදා සවස ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත්විණි.
රනිල්ගේ දර්ශනය වජිර ගමට ගෙනයයි
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිරගේ පූර්ණ සංවිධානකත්වයෙන් පැවැති මේ රැස්වීමට එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම්, මහලේකම් තලතා අතුකෝරාල, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහත්ම මහත්මීහුද සහභාගී වූහ.
මෙහිදී ප්‍රධාන වශයෙන්ම පක්ෂය මැතිවරණය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙල සහ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ දර්ශනය ගමට ගෙනයෑමට අවශ්‍ය මූලික වැඩපිළිවෙළ පිළිබඳ අපෙක්ෂකයන් දැනුවත් කළේය. එසේම බිම් මට්ටමේ ජනතාව නිසියාකාරයෙන් දැනුවත් කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් වජිර කරුණු පැහැදිලි කළේය
සියලු කරුණු කාරණා සාකච්ඡා කිරීමෙන් අනතුරුව වජිර මාධ්‍යයට ප්‍රකාශයක් කළේ මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම පරිදිය:
“එක්සත් ජාතික පක්ෂය මුළු ලංකාව පුරාම අලියා ලකුණ යටතේ තරග කරනවා. අපි ඒ මැතිවරණ කටයුුතු මෙහෙයවමින් තිබෙන්නෙ. විශේෂයෙන් අපි එක දෙයක් මතක තබාගත යුතුයි. මීට අවුරුදු දෙක හමාරකට පෙර දරුණු ආර්ථික අර්බුදයකට ලක් වුණු රටක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි අද මේ තත්ත්වය ගෙනවිත් තිබෙන්නේ. අද ඇතැම් අයට ඒ දේවල් අමතක වෙලා. අද මේ රට පාලනය කරන උදවිය විවිධ තැන්වල පහුගිය අවුරුදු දෙක හමාරක කාලය අමතක කර කතා කරනවා. ඒ ගැන මහජනතාව අවදියෙන් සිටිය යුතුයි. ඔබ ගෑස් නැතිව, ඉන්ධන නැතිව පෝලිම්වල සිටිද්දි රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි ඒ සියලු දේවල් ඔබට ලබාදීලා පෝලිමෙන් ඔබව ගෙදර යැවුවේ. අද මේ අයට එය අමතක වීම කනගාටුවට කරුණක්.” වජිර අබේවර්ධන විසින් පෙන්වාදෙන ලදී.