– විදේශගතව සිටි කාලෙත් ඒ රටවල තිබුණු අලුත් අවුරුදු වැඩසටහන්වලට සම්බන්ධ වුණා
– මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්රයන්්ගේ මනමේ නාට්‍යයේ පළමු බටනලා වාදන ශිල්පියා වුණේ මම
– අපේ ගමේ අවුරුදු ලබන්න කලින් ඉඳලාම ගමේ ඉහළ පහළ ගෙවල්වල උදවිය තරගයකට වගේ රබන් ගහනවා
“මේ අවුරුද්දේ
කිරි ඉතිරෙන්නයි
රට වැසියන්ගේ
ආයු වැඩෙන්නයි…”
රට පුරා ම අවුරුදු සිරි ඉතිර පැතිර යන මේ කාලයට අප කාගේත් ආදරණීය කලාකරුවාණන් වන ආචාර්ය රෝහණ බැද්දගේ සූරීන් අන් කවර කාලයකටත් වඩා මතකයට නැඟෙනු ඇත. එක් අතකින් ඔහු ජන සිරිතට විරිතට ආදරය කළ, ගැමිකම දෝතින් ගත් සිංහලයෙක් වන නිසා ය. අනෙක් අතින් ඔහු ජන සංගීතය ඇසුරු කොටගත් අපේ හදවත්වලට දැනෙන ගීත ගණනාවක් ඔස්සේ අපට සමීප වී ඇති නිසාය. එසේම ඔහු ජනශ්රැති පර්යේෂකවරයෙකි. එපමණක් නොව ඔහු සිංහල අලුත් අවුරුද්ද ගැන ද ඉතා හැඟීම් බර අරුත්බර රසබර ගී කිහිපයක් ද නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි.
“තුන් හෙළයේ හැඩ
අලුත් කරන්
එන්නෙ අවුරුදු
කුමරු බොලන්
සූරිය මංගල්‍යයේ…”
රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීර සුසංයෝගයෙන් බිහිවූ බොහෝමයක් ගීත ද අවුරුදු උත්සව, අවුරුදු වැඩසටහන් ආදියෙහිදි අපට අසන්නට දකින්නට රසවිඳින්නට ලැබේ. ඒ අතර ‘දොළොස් මහක ගතවී යන මොහොතේ…’ ගීතය වසන්ත සැණකෙළිවල ද අවුරුදු උත්සවවල ද භේදයක් නොමැතිව ඇසේ. සිංහල අලුත් අවුරුද්ද සිංහලයාගේ ජන සංස්කෘතික උරුමය විදහා දක්වන්නක් බැවින් ජන සංගීතය ඊට ඈඳී ඇත්තේ රන් රස මෙනි.
තරුණ තරුණියන්ට ‘මල්සරා බැල්ම…’ හෙළන්නේ වසන්ත කාලයේදී ය. ‘මේ ගම්මානේ…’ අසිරිය මැවෙන්නේ වසන්ත උදානයත් සමඟිනි. ‘කන්දේ ළන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ..’ අවුරුදු සිරියෙන් ඇලලෙන්නේ මේ කාලයේදී ය. ‘මගේ රත්තරන් හෙළේනා…’ සමඟ අවුරුදු සමරන්නේ ද මේ වසන්ත කාලයේදී ය. වසන්ත උදානයේ ගී බොහෝමයක් ගැමිකම, ගැමි සිරිත් විරිත්, සෞන්දර්යාත්මක සිතුවිලි, ගම්මානයක අසිරිය වඩාත් ඉස්මතු වේ. රෝහණ බැද්දගේ සිය ගීත තුළ ඒ අපූරුව ප්‍රතිනිර්මාණය කර ඇත. මේ නිසාම සිය ජීවන ගමනේ අසූ නව වැනි විය පසු කරන නමුත් මේ අවුරුද්දේදීත් මෙරට අවුරුදු අසිරිය, ගැමි සිරිත්, අවුරුදු සංස්කෘතිය ගැන කතා බහ කිරීමේදී මෙරට මාධ්‍ය ක්ෂේත්රයට ආචාර්ය රෝහණ බැද්දගේ සූරීන් අමතක කළ නොහැකිය.
“සිංහල අලුත් අවුරුද්ද කියන්නේ හරිම අසිරිමත් මංගල්‍යයක්. ද්‍රවිඩ ජනතාවත් අවුරුදු සිරිත් විරිත් සිංහල අපි වගේම වසරක් පාසා උත්කර්ෂවත්ව මීට සමගාමීව සමරනවා. වසර ගණනාවක් තිස්සේ සිංහල අලුත් අවුරුදු වැඩසටහන්වලට මමත් සම්බන්ධ වෙනවා. මම විදේශගතව සිටි කාලෙත් ඒ රටවල තිබුණු අලුත් අවුරුදු වැඩසටහන්වලට සම්බන්ධ වුණා. ඒවායේදී මම ගායනා කළ අවුරුදු ගීත වගේම ජන ගී ආරට නිර්මාණය කර තිබුණු ගීතත් ගායනා කළා. මේ අවුරුද්දේත් පෙර වසරවල වගේම මට අවුරුදු වැඩසටහන්වලට ඇරයුම් ලැබුණා. පුළුවන් විදිහට ඒවාට සහභාගි වෙනවා. දැන් මට තරුණ කාලේ වගේ හොඳට ගීත ගයන්න අමාරුයි. නමුත් ඒ වැඩසටහන්වලට ගිහින් ජන ගායනාවක් දෙකක් ඉදිරිපත් කරලා, පැරණි මතකයන් අවධි කරලා අපේකම අලුත් පරම්පරාවට කියා දෙනවා.”
කළුතර දිස්ත්‍රික්කයේ ඉතාම සුන්දර ගම්මානයක් වූ හොරණ මහාඋඩුව ප්‍රදේශයේ සහෝදර සහෝදරියන් පස්දෙනෙකුගෙන් යුතු පවුලේ සිවුවැනියා ඔහුය. බැද්දගේ නෝමිස් සිංඤෝ සහ හපුආරච්චිගේ එලිසහාමි නම් වන්නේ ඔහුගේ මාපිය යුවළයි. ඔහුට වයස අවුරුදු හතේදී පියාගේ අභාවය සිදුවීමෙන් සිය මව මහත් ධෛර්යයෙන් යුතුව මේ දරුවන් පස් දෙනා රැක බලා ගත්තාය. රෝහණ කුඩා කල පටන් ගායනයට සමතෙකි. ගමේ අවුරුදු උත්සවවලදී ජන ගායනා ඉදිරිපත් කර ඔහු තෑගි දිනා ඇත්තේ ඉතා කුඩාවියේ සිටය.
“අපේ අයියා දුවන්න හපනා. එයා අපේ ගමේ අවුරුදු උත්සවයේ දුවන තරගවලට ඉදිරිපත් වෙලා දිනනවා. මට ඒවා බැහැ. මම ජන ගායනා තරගවලට ගිහින් දිනනවා. අපේ ගමේ අවුරුදු ලබන්න කලින් ඉඳලාම ගමේ ඉහළ පහළ ගෙවල්වල උදවිය තරගයකට වගේ රබන් ගහනවා. එක කණ්ඩායමක් එක රබන් වාදනයක් වැයුවාම අනෙක් ගෙදරකින් ඇහෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ රබන් වාදනයයි. මේක ඉවරයක් නැහැ. අපිත් පුංචිකමට ඒ හැම දේකටම පුළුවන් හැටියකට සම්බන්ධ වුණා. අපේ ගමේ අපේ ගෙදර වටේට අහළ පහළ පෙනෙන නොපෙනෙන දුරවල බැද්දගේ ඥාති පරපුර හිටියා. ඥාති නොවන අයත් හිටියා. ගමේ කාන්තාවෝ හැමෝම එක තැනකට එකතු වෙලා අවුරුද්දට කලින් කැවිලි සේරම හදාගන්නවා. අපේ කුඩම්මා කෙනෙක් හිටියා එයාට හොඳට ආස්මී හදන්න පුළුවන්. එයා හදන ආස්මී කන්න මම හරිම ආසයි. එක එක උදවිය එක එක දේට දක්ෂයි. එක්කෙනෙක් මුං කැවුම් හදන්න දක්ෂයි. තව කෙනෙක් කොණ්ඩ කැවුම් හදන්න දක්ෂයි. ඔය විදිහට හැමෝම සහයෝගයෙන් කැවිලි හදලා ගෙවල්වලට බෙදාගෙන අවුරුද්ද ලබනතුරු ඒවා මුට්ටිවල දාලා අසුරලා තියා ගන්නවා. අලුත් අවුරුද්දේ හැමෝම කිරිබත් කාලා, ගෙදර වැඩිහිටියන්ට බුලත් දීලා වැඳලා ඉවර වෙච්ච ගමන් කරන්නේ අහළ පහළ ගෙවල්වලට කැවිලි පිඟන් අරගෙන යන එක. ඒ වැඩේට පුංචි කාලේ අපි හරිම ආසයි. අලුත් ඇඳුම් ඇඳගෙන ඒ ගෙවල්වලට ගියාම එයාලා අපට ආදරයෙන් කතා කරනවා. අපේ අලුත් ඇඳුම් දැකලා අගය කරනවා. පුංචි වයසට අපට ඒවා හරි ඉහළයි. ඒ ගෙවල්වලින් ආයෙමත් අපේ ගෙදවල්වලටත් කැවිලි පිඟාන් අරන් නංගිලා, මල්ලිලා, අක්කලා, අයියලා එනවා. එක ගෙදරට නැති කැවිලි අනෙක් ගෙදරකින් ලැබෙනවා. හුවමාරුව වාගේම පුදුමාකාර සමගියක් ඒ කාලේ ගම්වල තිබුණා. දැනුත් ඒක නැති වෙලා නැහැ. මේ අවුරුදු චාරිත්‍ර නිසා තවමත් අපේ රටේ අහළ පහළ උදවිය එක්ක තියෙන හිතවත්කම් රැඳී තිබෙනවා. කැවිලි පිඟන් බෙදලා ඉවර වෙච්ච ගමන් අපි කළේ ඇති තරම් සෙල්ලම් කළ එකයි. ඉස්සර ගම්වල තිබුණු ජන ක්‍රීඩා අද සමහර අය දන්නෙත් නැහැ. හැම ගෙදරක ම මිදුලේ මේ කාලෙට පොඩි අයට පදින්න වැල් ඔංචිල්ලාවක් හදලා දෙනවා. කතුරු ඔංචිල්ලාවක් ගමේ තරුණයෝ එකතු වෙලා හදනවා. ඒක ඉතින් වැඩිහිටි අයට තමයි. හැමෝම එකතුවෙලා කතුරු ඔංචිල්ලා කවි ගායනා කරනවා. නෑදෑයින්ට බුලත් දීලා වැන්දාම අපටත් කමිසයක්, සරමක් තෑගි හැටියට ලැබෙනවා. 1967දී මම පද්මා සමඟ විවාහ වූ පසු බොහෝ කාලයක් යනතුරු අපි දෙන්නා අපේ මහ ගෙදර ජීවත් වුණා. මගේ බිරිඳ ගුරුවරියක් හැටියට රාජකාරි කළා. අපි දෙන්නත් හැම අවුරුද්දකදීම අපේ දරුවන් එක්ක එක්වෙලා අලුත් අවුරුදු සැමරුවා. අපේ පුතා තාරක සහ ඒ පවුලේ අයත්, අපේ දුව තුෂාරා සහ ඒ පවුලේ අයත් එකතු වෙලා අදටත් අපි අලුත් අවුරුද්ද සමරනවා. දැන් අපේ මහ ගෙදර පුතා ඉන්නවා. එයා ශබ්දාගාරයක් පවත්වාගෙන යනවා. අපි දෙන්නා දුවගේ ගෙදර නතර වුණා. දුව සංගීත ඉගැන්වීම් කරනවා. අපි දෙන්නා දැන් වයසයි. දුවයි, බෑනයි අපි දෙන්නා ගැන හොඳින් බලනවා. ජීවිතයේ සැඳෑ සමය සතුටින්,නිදහසේ ඉන්නවා.”
උඩුව ප්‍රාථමික විද්‍යාලයෙන් සහ පසුව හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද ඉගෙනීම් කටයුතු කළ ඔහු පාසල් කාලයේ පටන් ගායනයට සේම වයලීනය, බටනලාව සහ තබ්ලා වාදනයට ද දස්කම් පෑවේ කිසිවෙකුගේත් ඉගැන්වීමකින් තොරවය. පාසලේ පැවති ගායන, නර්තන උත්සව හා තරගවලදී ඔහු ඒ සඳහා ඉදිරිපත් වී ජයග්‍රහණ ලද අතර 1983දී යුනෙස්කෝ මඟින් පවත්වන්නට යෙදුණු සමස්ත ලංකා පාසල් ගායන, නර්තන තරගයේදී හෙළ ශාන්තිකර්ම හා නාඩගම් ගී ඇසුරෙන් ඔහු විසින්ම තනු නිර්මාණය කර ගැයූ ගීතයට පළමු ස්ථානය හිමි විය. පසුව ඔහු සුමිත්‍ර නේරංගම යටතේ සංගීතය නිසි පරිදි හදාරා ඇත.
“අපේ ගම බොහොම පිටිසරයි. ගමේ තොවිල් පවිල්කංකාරි මඩු, දෙෙවාල් මඩු, කෝළම් මඩු, නාඩගම් නැටුම් ගැයුම් වැයුම් දේවාල ආශ්‍රිත යාතුකර්ම ඕනෑතරම් තිබුණා. මම කෝළම් මඩුවල බෙර වාදනය කළා. අත් රබන්, මහා රබන් වයන්න ගමේ අයගෙන් ඉබේම වගේ ඉගෙන ගත්තා. ගමේ පරිසරයේත්, ගම්වැසියන්ගේත් ඇසුර නිසා මගේ කලා කුසලතා වර්ධනය වුණා.
‘කන්දේ ලන්දේ
ගඟුලැල්ලේ
පේනා තෙක් මානේ…’
ගීතය මගේ අතින් පද බැඳුණේ අපේ ගෙදර පිහිටි කන්දේ සිට පහළ බලද්දී මගේ හිතට නැඟුණු හැඟීමයි. මගේ ගීත බොහෝමයක් මගේ අතින්ම පද නිර්මාණය වෙලා, මා අතින් තනු යොදලා ගැයූ ගීතයි. ඒවා මගේ ගමේ අනන්‍යතාවය මගේ ලේ නහරවලට දැනුණු විදිහයි. පුංචි කාලේ ඉඳලා ගමේ ගොයම් කපන කාලෙට හැම කුඹුරු යායකින්ම ගොයම් කවි ඇහුණා. හේන් රැක්ක අය රාත්‍රියට පැල් කවි ගැයුවා. කංකාරි මඩුවල ගායනා තිබුණා. දේවාලවල යාතිකා මේ හැමදෙයක්ම මටත් ටික ටික පුළුවන් වුණා. ඒ හැමදෙයක්ම අපි පුංචි කාලේ ඉඳලා ප්‍රායෝගිකවත් අත්වින්දා. මම ගායකයෙක් වුණාට ගමේ හොඳ ගොවියෙක්. මට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් හමුවන්නේ 1956දී යි. ඔහුගේ ‘මනමේ’ නාට්‍යයේ පළමු බටනලා වාදන ශිල්පියා ලෙස වසර ගණනාවක් කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ අතර මම රජයේ ලලිත කලා ආයතනයට (හේවුඩ්) ඇතුළත් වුණේ නර්තනය ඉගෙන ගන්නයි. නමුත් මම එහිදී සංගීතය ඉගෙන ගත්තා. අද සෞන්දර්ය විශ්වවිද්‍යාලය බවට පත්වෙලා තියෙන්නේ එම ආයතනයයි. එම අධ්‍යයන කටයුතු අවසන් කිරීමෙන් පසු කලෙකදී මම නර්තන කලාවත් හැදෑරුවා. ගුරුවරයෙක් වශයෙන් රාජකාරි කළා. පාසල් නාට්‍ය හැදුවා. ඒ අතරේ ඩබ්ලිව්. බී. මකුලොලුව මහතාගේ වේදිකා නාට්‍ය කණ්ඩායමට බැඳිලා දිගින් දිගට ම නාට්‍ය කළා. සුදර්ශි ශාලාවේ පුහුණුවීම් කළා. ඊට පස්සේ බන්දුල විජේවීරත් එක්ක එකතු වෙලා ගීත එකතුවක් ම කළා. ඒ ගීත ජනප්‍රිය වුණා. ඔය අතරේ වේදිකා නාට්‍ය කිහිපයකම සංගීත අධ්යක්ෂණ කටයුතු කළා. ටෙලි නාට්‍ය පසුබිම් සංගීත නිර්මාණ කටයුතු කළා. තරුණ පරපුර එකතු කරගෙන පර්යේෂණාත්මක නිර්මාණ කළා. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය කළා. ඒවායේ රඟපෑවා. මේ වෙද්දි පොත් දහයක් විතර මම ලියලා තියෙනවා. හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් මම සම්මානත් බොහෝමයක් දිනාගෙන තිබෙනවා. ඒ හැම තැනකදීම හැමදේකදීම මගේ අනන්‍යතාව, මගේ ජන සංස්කෘතික උරුමය නිතැනින්ම ඉස්මතු වුණා. අදටත් අපේ විශිෂ්ටතම සිංහල සංස්කෘතික උත්සවය වන ‘සිංහල අලුත් අවුරුද්ද’ සමරද්දි මට කතා කරන්නේ, මාව සිහි ගන්වන්නේ මෙන්න මේ නිසායි.
ඉතින් මගේ ආදරණීය රසික සැමටත්, පාඨක ඔබ සැමටත් ‘සුබ අලුත් අවුරුද්දක් වේවා…!’