Home » මං ට්‍රයි කරලා බලන්නම් කිව්වා ඒක තමයි ආරම්භය

මං ට්‍රයි කරලා බලන්නම් කිව්වා ඒක තමයි ආරම්භය

පූර්ණිමා විජේසූරිය

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment
අනූෂා රණසිංහ

– නිවේදනයට හැකියාවක් තිබුණ හින්දා කට හඬින් ප්‍රයෝජනයක් ගන්න හිතුණා
– ජීවිතේ හීනෙකින්වත් නොහිතපු දෙයක් ඒක

පූර්ණිමා විජේසූරිය කියන්නේ අපේ කලාව තුළ මුණගැහෙන දක්ෂ සංගීත අධ්‍යක්ෂවරියක්. ඇය වේදිකා නාට්‍ය බොහොමයක සිය සංගීත නාද රටා මුසු කරමින් කළ සංගීත අධ්‍යක්ෂණයන් නිසා ඇගයීම් පවා ලබලා තියෙනවා. වෘත්තියෙන් ගුරුවරියක් වන පූර්ණිමා විජේසූරිය සිය කලාවේ ගමන් මඟ ගැන රසඳුනට කිව්වේ මෙහෙම.

පුර්ණිමා කොහොමද සංගීතයට නැඹුරු වුණේ?

පොඩි කාලෙ ඉඳලම සිංදු කියන්න කැමැතියි. අවුරුදු 11 ඉඳන් දිගට දිගට සංගීත හදාරමින් ආවා. හැබැයි උසස් පෙළ විෂයයක් විදිහට හදාරන්න ගත්තම තමයි සංගීතය කියන විෂයය ඇඟට දැනෙන්න ගත්තෙ.

මේ වෙද්දී වේදිකා නාට්‍ය කිහිපයක සංගීත අධ්‍යක්ෂණයෙන් ඔබ දායක වෙලා තියෙනවා, එහි ආරම්භය සිදු වුණේ කොහොමද?

ඒක හරි අහඹු සිදුවීමක්. 2008 වෙනකොට මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ 2 වන වසර ශිෂ්‍යාවක්. හැබැයි මට හිතුණා නිවේදනයට හැකියාවක් තිබුණ හින්දා මගෙ හඬින් ප්‍රයෝජනයක් ගන්න ඕනෙ කියලා. කොහොමහරි ගුවන් විදුලි නාළිකාවක් තියපු සම්මුඛ පරීක්ෂණයකින් සමත් වෙලා 2008 දි මම වැඩ කරන්න ගියා. විශ්ව විද්‍යාලයෙ යන්නත් වේලාව හදාගනිමින්ම තමයි ඒකෙ වැඩ කළේ. ඒ කාලේ මම උදේ 6 ඉඳන් 8 වෙනතුරු වැඩසටහනක් කළා. ඒකෙ වැඩසටහන අතරතුර පුවත්පත්වල සිරස්තල කියන්නත් තියෙනවා. ඒ වැඩේට එළියෙන් කෙනෙක් ගෙනාවා. ඔහු තමයි අසංක සායක්කාර අයියා. එයා ටිකක් කල් ගියාට පස්සෙ මගෙන් ඇහුවා නංගි මගෙ කෙටි නාට්‍යයක් තියෙනවා ඔයාට පුළුවන්ද ඒකෙ මියුසික් කරන්න කියලා. මං කිව්වා ට්‍රයි කරලා බලන්නම් කියල. එතැන තමයි ආරම්භය. ජීවිතේ හීනෙකින්වත් නොහිතපු දෙයක් ඒක.

මුලින්ම ඔබව සම්මානිත කරවූ නාට්‍යය මොකක් ද

ඒක තමයි මගෙ පළමු කෙටි නාට්‍යය. ‘‘ශ්‍රී මත් සු මන‘‘ කෙටි නාට්‍යය.

මේ වෙද්දී නාට්‍යය කියක සංගීත අධ්‍යක්ෂණයෙන් ඔබ දායක වෙලා තියෙනවාද?

අද වනවිට නාට්‍ය 16කට අධිකයි. කෙටි, දිගු සහ ළමා කියන අංශ තුනෙන්ම. ඒ අතර “ශ්‍රී මත් සූ මන, ඇවරේජ්, බබාට නමක්, පීටර්ගෙ ටීටර් එක, දුලා, නයන ලලන, වික්ටර්, ඌරො අතර පෝක්, මං කෙළින් මිනිහෙක්, අයියා මළෝ, කොටු, ඇත්තම යක්කු, මගෙ ආදර වෘක හාමි, අනුන් දන්න ලී, හදටවත් කියමු නාට්‍යය සහ ඉදිරියට තව එන්න තියෙන ඒවත් තියෙනවා.

මේ වනවිට සම්මාන කියක් ලැබිලා තියෙනවද?

මුලින්ම මගේ පළමු නාට්‍යය වන (ශ්‍රී මත් සූ මන ) නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙලේ නිර්දේශ වුණා. 2021 දී ඌරො අතර පෝක් නාට්‍යයට රාජ්‍ය සම්මාන ලැබුණා. 2012 දි බබාට නමක් නාට්‍යයට වේදිකාවෙන් මහ පොළොවට කලා උළෙලේ දී හොඳම සංගීතයට හිමි සම්මානය ලැබුණා.

2008දීත් ජනතාවාදී කලා උළෙලේ ශ්‍රී මත් සූ මන නාට්‍යයේ සංගීතයට සම්මාන ලැබුණා.

වේදිකා නාට්‍යයවලට පමණද ඔබ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ?

දැනට වේදිකා නාට්‍ය පමණයි. ඉදිරියේදී ටෙලි නාට්‍ය දෙකකට සංගීතය නිර්මාණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මං මේ දවස්වල ඒ ගැන හිතමින් ඉන්නවා. මම සංගීත ගුරුවරියක් විදිහට කටයුතු කරනවා. මම මවක් බිරියක් විදිහට ජීවිතය ගෙන යන ගමන් තමයි මේ සියලු කටයුතු කරන්නේ.

අනාගත බලාපොරොත්තු මොනවද?

මං කැමැතියි චිත්‍රපටයකට සංගීත අධ්‍යක්ෂණය කරන්න ලැබුණොත්.

ඒ වගේම මං ගුවන් විදුලි නාළිකා දෙකක ප්‍රවෘත්ති, වැඩසටහන් නිවේදිකාවක් සහ ප්‍රවෘත්ති සංස්කාරකවරියක් ලෙස කටයුතු කළා වසර 10ක් පමණ. තාමත් හැකි සෑමවිටම නිවේදන කටයුතු සහ වෙ‍ෙළද දැන්වීම් සඳහා හඩ දායකත්වය ලබා දෙනවා. ඉදිරියටත් එහෙමයි. ඊට අමතරව මං ගායනා කරපු ගීත කිහිපයක්ම තියෙනවා. ඒවත් මේ වැඩ අස්සෙ එළිදක්වන්න කැමැත්තෙන් ඉන්නෙ. ඊට අමතරව මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු කොළඹ සහ කැලණිය යන විශ්වවිද්‍යාල දෙකේ සිදු කරනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division