අම්මා අවුරුද්දට සැරසෙන්නේ මාර්තු මාසයේ සිටය. ගෙබිම ගොම-මැටි ගා පිරිසුදු කරන්න ඇය සූදානම් වන්නේ දින ගණනක් තිස්සේය. හැමදාමත් මැටි ගන්නා වළෙන් මැටි බාල්දි දෙක-තුනක් ගෙන එන්නේද මාටින් මාමාගේ හරක් ගාලෙන් ගොම ගෙන එන්නේද හිමිදිරියේය. ඇය මුළුතැන්ගෙයි ගොම-මැටි ගාන්නේ බොහෝ විට රාත්‍රියේය. පුංචි අපි නිදාගත් පසු ඇය ගොම-මැටි ගා මුළුතැන්ගෙට අලුත් බවක් ගෙන එයි.
ළිපගිනි දැල්වීමට මැටි වළං ගෙන එන්නේ අවුරුද්ද ලැබීමට සතියක් පමණ තිබියදීය. අවුරුද්ද ලැබීමට දවසක් දෙකක් තිබියදී ඇය කෑම සාදන්න පටන් ගනී. කුඩා අප කොතරම් ඇය ළඟ දැවටුණද අවුරුදු නැකතට ඉඳුල් කරන තුරු ඒවා නම් කිසි විටෙකත් කන්න නොලැබේ. සිංහල අච්චාරු, කොකිස්, අතිරස, සමඟ මුංකැවුම් සැදෙන අවුරුද්ද වඩාත් රස ගැන්වෙන්නේ වත්තේම සෑදෙන කෙසෙල් ගසක කෙසෙල් කැනක්ද කැපුණු විටය. අලුත් අවුරුද්දේ ළිප ගිනි මොළොවා කිරිබත් පිස අනුභවයෙන් පසු ගනුදෙනු කරන නැකත එළැඹෙන තුරු එකල අපි බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. මේ සියලු සිරිත් විරිත් අදටද අපේ ගැමි ගෙවල්හි නම් වෙනසක් නැත. ඇති එකම වෙනස නම් එදා අපට අවුරුදු දුන් අම්මා තාත්තා ඥාතීන් දැන් ජීවතුන් අතර නැති වීමය.
එකල ගැමි ගෙවල්හි සැමරූ අවුරුදු චාරිත්‍ර-වාරිත්‍ර නගරයට එන විට ක්‍රමයෙන් වෙනස් වී ඇත. ගෙමිදුලේ තිබූ ළිඳත් සමඟ එදා ගනුදෙනු කළද දැන් එසේ කරන්නද නිවෙස්වල ළිඳක් නැත. ඇත්තේ නළ ජලය ය. අවුරුදු නැකතට ගසක් සිටුවා මහ පොළොව සමඟ එදවස ගනුදෙනු කළද, දැන් එසේ ගසක් වවන්න මහ ඉඩක් ගෙමිදුලේ නැත. පංච දමන්නට දැන් දරුවන් දන්නේ නැත; ඇතැම් විට වැඩිහිටියන් දන්නේද නැත. මේ යුගයේ දරුවන්ට ද නිවාඩුවක් කියා එකක් නැත. ඒ නිවාඩු සමයේත් දරුවන්ට පන්ති වැඩය.
අපේ සමාජය ක්‍රමයෙන් වෙනස් වී ඇත්තේ එලෙසිනි. සිංහල අවුරුද්දටවත් විවේකයක් නැති මිනිස්සු අපමණය. ඒ කොහොම වුණත් අපි ඇතිහැටියෙන් අවුරුදු සැමරීමට හුරුව සිටිමු. අතීත අවුරුදු සිරිත්-විරිත් දැන් දැකිය හැක්කේ රූප පෙට්ටියෙනි. ඒ හැම දෙයක්ම වාණිජකරණය වී ඇති බැවිනි.
මේ කොයි ලෙසින් කිවුවද ඈත පිටිසර ගමක මෙන්ම මේ රටේ කොයි කොතැනක හෝ සිංහල අවුරුද්දේ අවුරුදු චාරිත්‍ර-වාරිත්‍ර අකුරටම කෙරෙන බව නම් නොරහසකි.
ඒ අතීතය සිහි කරමින් ලියවුණු ගී බොහෝය. අප දන්නා කාලයේ සිටම ඇසුණු අවුරුදු ගීත අතර සිංහල අවුරුද්දට පමණක් කලඑළි බසින ගීත අතරට එක්ක වූ අලුත්ම ගීතයකි:
‘මියුරු හඬක් ඇහෙනවා
මිහිරි හඬින් ගයනවා
කවුදැයි මේ ඇවිදින් ඉන්නෙ
නටා ගයා සතුටු වෙයල්ලා
යාළුවනේ කොහා ඇවිල්ලා
අවුරුදු අරන් ඇවිල්ලා…’
යන ගීතය ගයන්නේ විශාරද එඩ්වඩ් ජයකොඩිය. එය සංගීතවත් කරන්නේ විශාරද දර්ශන වික්‍රමතුංගයන්ය. පද මාලාව දැනට ප්‍රංසයේ වෙසෙන මාපලගම ලකී ගණේවත්තගේය. ලෝකයේ කොයි ඉසවුවක සිටියත් සිංහල අවුරුද්දට ඒ හැඟීම හිතෙන් ඉවත් කර ගන්න බැරි, තමන්ගේ රට මවුපියන් සිහි කර කඳුළක් හෙළන කෙනකු ලෝකයේ කොතැනක හෝ සිටින බව විශ්වාසය.
‘මියුරු හඬක් ඇහෙනවා, මිහිරි හඬින් ගයනවා’ ගීතය පිළිබඳ විමසූ විට ලකී ගණේවත්ත පැවසුවේ මෙවන් අදහසකි:
“මේ වෙනකොට මම ලංකාවෙන් ගිහින් අවුරුදු තිහකට වැඩියි. ඒත් ඒ ගෙවුණ අවුරුදු කාලෙම මට මගෙ රට මතක් වුණා. විශේෂයෙන්ම සිංහල අවුරුදු කාලයට හිතට දුකක් දැනෙනවා, ඥාතීන්ගෙන් වෙන් වෙලා නේද ඉන්නේ කියලා. වසර ගණනක් තිස්ස හිතේ තිබුණ හැඟීමක් තමයි මේ විදිහට ලියවුණේ. අපි ලෝකෙ කොහේ හිටියත්, අපට අපේකම අමතක කරන්න බැහැ. ‘මියුරු හඬක් ඇහෙනවා’ මේ මම ලියූ පළමු ගීතය. අපි පුංචි කාලේ අවුරුදු ළඟ එන බව දැනගන්නේ කොහාගෙන්. ඒ හඬ හරි මිහිරියි. එරබදු මල් පිපෙන්නේ බක් මාසෙට. පරිසරයේ පුදුමාකාර සොඳුරු නැවුම් බවක් තියෙනවා. ඒ මිහිරියාව කියා නිම කරන්න බැහැ. අවුරුදු ගාණක් තිස්සේ මගෙ හිතේ තිබුණ අවුරුදු සිරියාව තමයි මේ විදිහට ගීතයක් වුණේ. විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා මේ ගීතය ගයන්න බොහෝම කැමැත්තෙන් භාර ගත්තා. දර්ශන මල්ලි මේ පද පෙළට අපූරු තනුවක් නිර්මාණය කරලා, සංගීතවත් කරලා දුන්නා. මගේ මේ ගීතය එළිදක්වන්න මට බොහෝ උදවු කළ කෙනෙක් තමයි ෆර්නි රෝෂණි නංගී. මේ හැමෝටම බොහෝම ස්තුතියි.
“ඒ වගේම ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!”
මියුරු හඬක් ඇහෙනවා..
මිහිරි හඬින් ගයනවා
කවුදැයි මේ ඇවිදින් ඉන්නෙ
නටා ගයා සතුටු වෙයල්ලා
යාළුවනේ කොහා ඇවිල්ලා
අවුරුදු අරන් ඇවිල්ලා
බක්මහ සිරියාව ගලන
හෙළ සිරිතෙහි සුවඳ බෙදන
ළමා අපේ සිත් සනසන
හෙළ අවුරුද්ද ඇවිල්ලා
සිංහල අවුරුද්ද ඇවිල්ලා….
ගෙන් ගෙට යන කැවිලි බෙදන
අලුත් ඇඳුම් සුවඳ ගෙනෙන
හිතේ සතුට දෝරෙ ගලන
හෙළ අවුරුද්ද ඇවිල්ලා
සිංහල අවුරුද්ද ඇවිල්ලා….
රබන් ගහල ඔට්ටු තියලා
කැරකෙන ඔංචිලි පදින්න
සින්දු කිය කියා නටන්න
හෙළ අවුරුද්ද ඇවිල්ලා
සිංහල අවුරුද්ද ඇවිල්ලා…
ගායනය – විශාරද එඩිවඩ් ජයකොඩි
පද රචනය – මාපලගම ලකී ගණේවත්ත
සංගීතය – විශාරද දර්ශන වික්රමතුංග
ඉසවි