පී සරවනමුත්තු ක්‍රීඩාංගණය හෙවත් කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණය කී පමණින් අපට එක්වරම සිහිපත් වන්නේ ක්‍රිකට්ය. එහෙත් වසර 82ක් පැරණි මේ ක්‍රීඩාංගණයේ හිමිකරුවා වන්නේ ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජයයි. (Tamil Union Cricket and Athletic Club). තවත් විදිහකින් කිව හොත් 1943දී ස්ථාපිත කරන ලද පාක්‍යසෝති සරවනමුත්තු ක්‍රීඩාංගණය (කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණය) භාරකාරත්වය දරන ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය විසින් ක්‍රියාවට නංවනු ලබන්නේ ක්‍රිකට් පමණක් නොවේ. එනම් 1899 දෙසැම්බර් මාසයේදී ස්ථාපිත කරන ලද ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය ක්‍රිකට් සහ මලල ක්‍රීඩා නමින්ම හඳුන්වා ඇත්තේ ක්‍රිකට්වලට අමතරව මලල ක්‍රීඩා අංශ රැසක්ම එම සමාජය විසින් මෙහෙයවනු ලබන නිසාය.
එනම්: ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රීඩා සමාජවලින් එකක් මෙන්ම කීර්තිමත් ක්‍රීඩා සමාජයක් වන ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජයට දැන් වයස අවුරුදු 125 සම්පූර්ණ වී හමාරය. ඒ අනුව සිය 125ක් වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ. ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජයේ ප්‍රෞඪ ඉතිහාසය මෙන්ම එම ක්‍රීඩා සමාජය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩාවන්ගේ උන්නතියට දෙන ලද දායකත්වය සංකේතවත් වන ආකාරයට මේ වැඩසටහන් පැවැත්වෙනු ඇතැයි පැවසේ.
මේ සංවත්සරික උත්සවයට අදාළව එම ක්‍රීඩා සමාජයේ බලධාරීන් විසින් සැලසුම් කරන ලද වැඩසටහන් මාලාවට මෙරටින් බිහි වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන මහා ක්‍රිකට් තරගයක් සහ දිවයිනේ පැසල් ක්‍රිකට් ක්‍රීඩකයන් 100කගේ නියෝජනයෙන් පවත්වන පුහුණු වැඩමුළුවක් සහ ක්‍රිකට් තරගාවලියක් ද ඇතුළත් කර ඇත. ඒ අනුව ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගය ලබන ජූලි මාසයේදීත් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තරග සහ වැඩමුළුව ලබන අගෝස්තු-සැප්තැම්බර් මාසවලදීත් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, සංවත්සර සමාප්ති උලෙළ එළඹෙන ඔක්තෝබර් මස 31 දා පැවැත්වීමට නියමිතය.
ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය ආරම්භ කරන ලද්දේ 1899 වසරේ දෙසැම්බර් 2 දිනය. එහි වසර 125ක ගමන් මඟ තුළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථාන රාශියක් සලකුණු වී තිබේ. සිය 125 වැනි සංවත්සරය වෙනුවෙන් ඉහත සඳහන් ක්‍රීඩා ඉසව්වලට අමතරව විවිධ තරගාවලි, ප්‍රදර්ශන සහ ප්‍රජා සත්කාර වැඩසටහන් පැවැත්වීමට ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය සැලසුම් කර ඇති අතර මේ වැඩසටහන් සඳහා ඒ සමාජයේ අතීත හා වර්තමාන සාමාජිකයන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු විශාල පිරිසක් දායක වනු ඇතැයිද දැනගන්නට ඇත.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදරක් ලෙස සැලකෙන ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අන්තර්ජාතික තලය ජය ගැනීමට මහෝපකාරි වී තිබේ. 1943 වර්ෂයේදී ඉදි වුණු පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය මෙරට තුළ එබඳු පහසුකම් සහිතව ඉදි වූ ප්‍රථම ක්‍රීඩාංගණය ලෙස ද සැලකේ. තවද මේ ක්‍රීඩාංගණය මෙරට ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන ස්ථානයකි. එනම්: ශ්‍රී ලංකාව සහභාගි වූ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය (එංගලන්තය සමඟ)1982 වසරේ දී පැවැත්වුණේද මේ ක්‍රීඩාංගණයේදීය. එමෙන්ම ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඔස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ ක්‍රීඩාංගණ හැරුණු විට, ක්‍රීඩා කළ එකම ක්‍රීඩා පිටිය පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය වීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකාව ප්‍රථම වරට ටෙස්ට් තරගයක් ජය ගත්තේද මේ ක්‍රීඩාංගණයේදීය.
සිය ඉතිහාසය පුරාම ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය මෙරට විවිධ පසුබිම්වලින් පැමිණි නවක ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම හැකියා වැඩිදියුණු කරගැනීම සඳහා සුවිශාල අත්වැලක් දී ඇත. ටෙස්ට් තරග 133කදී කඩුලු 800ක් දවාගනිමින් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා බවට පත් වූ මුත්තයියා මුරලිදරන්ද ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකි. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම පිතිකරුවකු ලෙස සැලකෙන එම්. සතාසිවම්ද ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයෙන් බිහි වූ තරුවකි.
1945 වර්ෂයේදී මුල්ම වරට ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ඔහු එහිදී ඉන්දියාවට එරෙහිව ලකුණු 111ක් රැස් කළේය. 1948 වසරේදී ඔහු ඩොන් බ්‍රැඩ්මන්ගේ ඔස්ට්‍රේලියානු පිල සමඟ පැවති තරගවලදී ශ්‍රී ලංකාවට නායකත්වය දුන් අතර, ඔහු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව (206) මෙන්ම අවසන් ශතකය වාර්තා වූයේ ද 1955 වර්ෂයේ රාජ්‍ය සේවා කණ්ඩායමට එරෙහිව ‘ඒකාබද්ධ’ (Rest) කණ්ඩායම වෙනුවෙනි. ඒ කොළඹ එන්සීසී (Nondescript Cricket Club) ක්‍රීඩාංගණයේදීය.
ටැමිල් යූනියන් යනු හුදෙක් ක්‍රිකට්වලට සීමා වූ ක්‍රීඩා සමාජයක් නොවේ. හොකී ක්‍රීඩාව සම්බන්ධයෙන් ද ඒ සමාජයට කීර්තිමත් හා දීර්ඝ ඉතිහාසයක් ඇත. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම හොකී ක්‍රීඩකයා ලෙස සැලකෙන ඒ. මයිල්වාගනම්ද ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික තරගාවලි රැසකට සහභාගි වූ ඔහු මෙරට හොකී ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළේය. මේ සියල්ල නිසාම ඔහු ‘හොකී විශාරද’ (The Hockey Wizard) යනුවෙන් හඳුන්වනු ලැබේ.
ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපති රමේෂ් ෂාෆ්ටර් මහතා ‘සිළුමිණට’ අදහස් දක්වමින් පැවසුවේ, මෙවර සංවත්සර සැමරුම් උලෙළට සමගාමීව පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයට අදාළව සංවර්ධන කටයුතු රැසක් ක්‍රියාත්මක වන බවයි. “අපි මෙම ක්‍රීඩාංගණය අන්තර්ජාතික ටෙස්ට් තරගවලට වගේම අන්තර්ජාතික එක්දින හා විස්සයි20 දිවා/රාත්‍රී ක්‍රිකට් තරග පැවැත්විය හැකි ආකාරයට උසස් මට්ටමට ගේනවා. ඒ සංවර්ධන කටයුතු වසර දෙකක් ඇතුළත අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ” යනුවෙන් පැවසීය.
වසර 125ක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවනාලිය වූ ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය, රටේ ජාතික ක්‍රීඩා අනන්‍යතාව හැඩගැස්වීමෙහිලා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කළ බව ද පැවසූ සභාපතිවරයා “මේ සැමරුම් වැඩසටහන් තුළදී ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ ඉතිහාසයේ රන් අකුරින් නම ලියවුණු කීර්තිමත් පුද්ගලයන් රැසකට උපහාර පිදීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය උදෙසා වන කැපවීම තවදුරටත් තහවුරු කිරීමටත්, මෙහෙවර තවත් වසර සියයක කාලයක් පුරා ඉටු කිරීමට අවශ්‍ය අඩිතාලම නිර්මාණය කිරීමටත් මා බලාපොරොත්තු වනවා” යැයිද වැඩිදුරටත් පැවසීය.
ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව පිහිනුම්, බැඩ්මින්ටන්, ස්කොෂ් සහ ටෙනිස් වැනි ක්‍රීඩාවන් සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම සියලු පහසුකම්වලින් සමන්විත ව්‍යායාම මධ්‍යස්ථානයක්ද ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය සතුය. එමෙන්ම මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ කේන්ද්‍රයක් ලෙසද සැලකෙන එම සමාජය ශ්‍රී ලංකාවේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය පුහුණු හා යටිතල පහසුකම්ද පිරිනමයි. 1994 වන තෙක් පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය නිතිපතා අන්තර්ජාතික තරග සඳහා සත්කාරකත්වය දුන් නමුත් ඉන් පසුව වසර අටක කාලයක් අන්තර්ජාතික තරග නැති තත්ත්වයක් ඇති විය. 2002 දී, ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලිය සඳහා මේ ක්‍රීඩාංගණය මධ්‍යස්ථ පිටියක් ලෙස භාවිත කරන ලදි. මේ ක්‍රීඩාංගණය ටෙස්ට් තරග 15ක්, එක්දින තරග 12ක් සහ එක් විස්සයි20 තරගයක් සඳහා සත්කාරකත්වය දී ඇත.