සිවුවැනි වරටත් පැවැත්වෙන ජාතික සුපිරි ලීග (නැෂනල් සුපර් ලීග්) ක්‍රිකට් තරගාවලියේ පසුගිය සති අන්තය වඩාත් උණුසුම් බවක් ගත්තේ එකම තරගයකදී ද්විත්ව ශතකයක් ද ඇතුළුව ශතක 6ක් වාර්තා කිරීම නිසාම නොව, තරගාවලියේ වේගවත්ම ලකුණු හඹා යෑම වාර්තා කොට දඹුලු කණ්ඩායම ජය ගත් නිසාය.
තරගාවලියේ අටවැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති දඹුලු-මහනුවර කණ්ඩායම් අතර තරගයේ සිවුවැනි හා අවසන් දිනයේදී ජයග්‍රහණය සඳහා දෙවැනි ඉනිමට දඹුල්ල කණ්ඩායමට ලකුණු 392ක ඉලක්කයක් ලැබිණි. ඒ අනුව මහනුවර කණ්ඩායමට එරෙහිව එක් දින තරගයකදී මෙන් ලකුණු රැස් කළ දඹුලු පිතිකරුවෝ පන්දුවාර 65 නිමා වීමටත් එක් පන්දුවක් ඉතිරිව තිබියදී මෙවර තරගාවලියේ වේගවත්ම ජයග්‍රහණය සටහන් කළහ.
එසේ ලකුණු හඹා යෑමේදී දඹුලු කණ්ඩායමේ දසුන් ශානක මේ සුපර් ලීග් තරග ඉතිහාසයේ 2 වැනි වේගවත්ම ශතකය රැස් කළ අතර, හයේ පහර 6ක් සහ හතරේ පහර 9කින් වර්ණවත් වූ ඒ ශතකයට ඔහු වැය කළේ පන්දු 56ක් පමණි. දසුන් අංක 3 පිතිකරුවා ලෙස එසේ හරියටම ශතකයක් ලබා සිටියදී දැවී යන්නට පෙර ආරම්භක පිතිකරුවන් ලෙස නිෂාන් මධුෂ්ක හා රොන් චන්ද්‍රගුප්ත පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 136ක සබඳතාවක් ගොඩනැඟීම දඹුල්ලේ ජයග්‍රහණයට ප්‍රබල අත්තිවාරමක් විය. තවද, දඹුලු නායක ධනංජය ද සිල්වා පළමු ඉනිමේදී ලකුණු 108ක් රැස් කළ අතර, එසේ පිතිකරුවන් මහනුවර පන්දු යවන්නන්ට පහර දෙද්දී මහනුවර පිතිකරුවන්ට ඉමහත් හිසරදයක් වූයේ දඟපන්දු යවන අකිල ධනංජයයි.

අකිල ධනංජය
අකිල මෙවර තරගාවලියේ ඉනිම දෙකේදීම පිතිකරුවන් 5ක් බැගින් දවාගත් ප්‍රථම පන්දු යවන්නා බවට නම ලියාගත් අතර, ඔහු පළමු ඉනිමේදී ලකුණු 140කට කඩුලු 5කුත් (36-1-140-5) දෙවැනි ඉනිමේදී ලකුණු 87කට කඩුලු 5ක් (24-2-87-5) ලෙස දක්ෂතා දැක්වීය. කෙසේ වෙතත් දඹුල්ලේ ප්‍රබල පන්දු බළඇණියට පෙරළා දරුණු ලෙස පහර දුන් මහනුවර පැතුම් නිශ්ශංක පන්දු 260කින් ලකුණු 203ක් රැස් කළේ මෙවර තරගාවලියේ 2 වැනි ද්විත්ව ශතකයට හිමිකම් කියමිනි. ඉන් පෙර මේ දස්කම කළේ මහනුවර කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 206ක් රැස් කළ යාපනය කණ්ඩායමේ රවිඳු රසන්තයි.
මේ අතර මෙතෙක් ජාතික සුපිරි ලීග් (එන්එස්එල්) ක්‍රිකට් තරගාවලියේ පැවති තරග අට තුළදී ශතක 23ක් වාර්තා වී ඇති අතර, ඉන් ශතක හයක්ම වාර්තා වූයේ 8වැනි තරගය ලෙස පැවති දඹුලු-මහනුවර තරගයේදීය. එසේම දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දඹුලු කණ්ඩායම තරගාවලියේ තම දෙවැනි ජයග්‍රහණය කරා ගිය ගමනේදී පන්දුවාරයකට ලකුණු 6.04ක වේගයක් වාර්තා කරමින් දිගට හරහට පන්දු යවන්නට එළව එළවා පහර දුන්නේ අවුරුදු නිවාඩුවට පෙර වැඩ පෙන්වන්නාක් මෙනි. එනම් අලුත් අවුරුදු මංගල්‍යය හේතුවෙන් තරගාවලියේ දුන් එකම නිවාඩුව නිසා දින 4ක් පැවැත්වෙන මේ සති අන්තයේ තරග ක්‍රියාත්මක නොවන අතර, මූලික වටයේ අවසන් තරග දෙක පැවැත්වෙන්නේ අප්‍රේල් මස 20 සිට 23 තෙක් දින හතරේදීය.
මේ තරග අතර එක් තරගයක් ගාලු හා කොළඹ කණ්ඩායම් අතර දඹුල්ලේදීත් පැවැත්වෙන විට දඹුලු, යාපනය කණ්ඩායම් දෙක තරග වදින්නේ පල්ලෙකැලේදීය. කෙසේ වෙතත් වත්මන් එන්එස්එල් ශූරයන් වන දඹුලු කණ්ඩායම මේ වනවිට තරගාවලියේ ලකුණු සටහන අනුව ජයග්‍රහණ 2ක් ලබා ඉදිරියෙන්ම සිටින අතර, දෙවැනි ස්ථානයේ සිටින්නේ ගාලු කණ්ඩායමයි. ලබන සතියේ දඹුල්ලේදී පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය අනුව ලකුණු සටහනේ 2 වැනි ස්ථානයේ සිටින ගාලු කණ්ඩායම හෝ 4 වැනි ස්ථානයේ සිටින කොළඹ කණ්ඩායමට දඹුල්ල සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඇත.
අවසන් මහා තරගය මේ මස 27-30 දින හතරේදී කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මේ තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා වන්නේ යාපනය කණ්ඩායමේ රවිඳු රසන්තය. ඔහු ඉනිම 6කදී රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව (ශතකයක් හා ද්විත්ව ශතකයක් සමඟ) 443කි. ශතක 2ක් සමඟ ඉනිම 5කදී ලකුණු 366ක් රැස් කළ මහනුවර කණ්ඩායමේ කමිල් මිෂාර 2 වැනි ස්ථානයේ පසු වන අතර, මේ ලැයිස්තුවේ 3 වැනි ස්ථානයේ සිටින්නේ දඹුලු නායක ධනංජය ද සිල්වාය. ඔහු ඉනිම 6කදී ශතක 3ක් සමඟ ලකුණු 361ක් රැස් කරගෙන ඇත. එසේම, පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින්නේ දඹුලු කණ්ඩායමේ අකිල ධනංජයයි. ඔහු ඉනිම 6කදී කඩුලු 32ක් දවාගෙන සිටින අතර, මහනුවර කණ්ඩායමේ ශිරාන් ප්‍රනාන්දු (ඉනිම 6කදී කඩුලු 15ක්) හා සහන් නානායක්කාර (ඉනිම 6කදී කඩුලු 13ක්) පිළිවෙළින් දෙවැනි සහ තුන්වැනි ස්ථානවල පසුවෙති.