Home » ට්‍රම්ප්ගේ ආනයනික බදු අර්බුදය සාකච්ඡා මඟින් විසඳාගත හැකි ලකුණු

ට්‍රම්ප්ගේ ආනයනික බදු අර්බුදය සාකච්ඡා මඟින් විසඳාගත හැකි ලකුණු

by Mahesh Lakehouse
April 12, 2025 12:32 am 0 comment
විජය දිසානායක

මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් සතියේ එක්සත් ජනපද වෙළෙඳ හවුල්කරුවන් 180කට වැඩි සංඛ්‍යාවකට එරෙහිව දැඩි තීරුබදු පැනවීමක් ප්‍රකාශයට පත් කළේය. එක්සත් ජනපදය අපනයන සඳහා දැඩි බද්දක් පවත්වාගෙන යන රටවලට එරෙහිව මෙලෙස ආනයනික බදු ඉහළ නැංවීමෙන් තම රටට හිතකර වන අන්දමින් ගෝලීය වෙළෙඳාමේ සමතුලිතතාවක් ඇති කරලීම මේ ප්‍රතිචක්‍රීය බදු (reciprocal tariffs) පැනවීමේ අරමුණ බව ට්‍රම්ප් පවසයි.

ජනාධිපතිවරයා තම තර්කය සාධාරණීකරණය කිරීමට සෙසු රටවල් වොෂිංටනය සමඟ පවත්වාගෙන යන වෙළෙඳ අසමතුලිතතාව ගෙනහැර දක්වයි. අන්තර්ජාතික වෙළෙඳාමේ දී ලොව විශාලතම වෙළෙඳ හිඟයට හිමිකම් කියන එක්සත් ජනපද‍යේ ආනයනික පිරිවැය, 2023 වසරේදී පමණක් එහි අපනයනවලට වඩා ඩොලර් ට්‍රිලියන 1.1කින් වැඩි වීමක් පෙන්නුම් කරයි.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ මේ තීරුබදු ඉලක්කවලට ගොදුරුව සිටින රටවලින් බොහොමයක් එක්සත් ජනපදය සමඟ සුළු වෙළෙඳාමක නිරතව සිටින මෙන්ම ලොව විශාලතම ආර්ථිකයට සුළු ආර්ථික අභියෝගයක් එල්ල කරන විරල ජනගහනයක් සහිත කුඩා දූපත් රාජ්‍යයන්ය. ඒ අතරම, එක්සත් ජනපදය සමඟ විශාල වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යන රටවල්ද මේ ලැයිස්තුවට ඇතුළත්ව සිටී. කෙසේ වෙතත්, ට්‍රම්ප් පරිපාලනයේ තීරුබදු ගණනය කිරීමේ සූත්‍රය පිළිබඳව ගැටලු ගණනාවකි.

ට්‍රම්ප් කණ්ඩායම භාවිත කරන තීරුබදු සූත්‍රය කුමක්ද? එහි ඇති පැහැදිලි කිරීමට අපහසු ඉලක්කම් කවරේද? සාකච්ඡා මගින් මේ ගැටලුවලට සහ අනෙකුත් රටවලට සහණයක් ලබාගත හැකිද? යන්න අපි මඳක් විමසා බලමු.

රටක ආනයනවලට එහි අපනයනවලට වඩා වැඩි වටිනාකමක් හිමිවන විට වෙළෙඳ හිඟයක් (trade deficit) උද්ගත වන අතර, අතිරික්තයක් (surplus) යනු අපනයන ආනයනවලට වඩා ඉහළ වටිනාකමක් ඇති වීමය. උදාහරණයක් ලෙස: 2024 වසරේදී චීනය සමඟ අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 295ක් වූ අතර, චීනයෙන් අමෙරිකාවට සිදු කෙරුණු මුළු ආනයනවල වටිනාකම ඩොලර් බිලියන 439ක් විය. මේ හිඟය ආනයනවල ආදායමෙන් බෙදූ විට 0.67ක ඉලක්කමක් ලැබෙන අතර, මේ සංඛ්‍යාව අඩකින් අඩු කළ විට එය 0.34කි. ට්‍රම්ප් චීනය මත 34%ක අන්‍යොන්‍ය තීරුබදු පැනවීමක් සිදු කරන්නේ මේ සමීකරණය පදනම් කොටගනිමිනි. කෙසේ වෙතත්, මේ සමීකරණය චීනය එක්සත් ජනපද නිෂ්පාදන සඳහා පනවා ඇති තීරුබදු ප්‍රතිශතයට සාධකයක් ලෙස යොදා ගත නොහැකිය.

ඒ අනුව, යථාර්ථය නම්, ට්‍රම්ප් පරිපාලනය විසින් අන්‍යොන්‍ය තීරුබදු ලෙස පවසන දේ ගණනය කිරීමට භාවිත කරන සූත්‍රය, අනෙකුත් රටවල් එක්සත් ජනපදය මත පනවන ලද තීරුබදු සමඟ කිසි සේත් සම්බන්ධතාවක් නොදැක්වීමයි. අනෙක් අතට, ට්‍රම්ප් පරිපාලනය මේ සූත්‍රය පවා ඒකාකාරව අනුගමනය කරන බවක් නොපෙනේ. එය එසේ කළේ නම්: එක්සත් ජනපදයට වෙළෙඳ අතිරික්තයක් ඇති රටවල් සහ ප්‍රදේශ ඉලක්ක කරගනිමින් තීරුබදු පැනවීමක් සිදු නොවිය යුතුව තිබිණි.

චීනයට සහ අමෙරිකාවට සදාකාලික වෙළෙඳ යුද්ධයක නිමග්නව සිටිය හැකිද?

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීනය සමඟ වෙළෙඳ යුද්ධය ගෝලීය ආර්ථික ඉතිහාසයේ වැඩිම අවධානයක් දිනාගත් බෙදුම් රේඛාව නිර්මාණය කරමින් සිටී.

එක් අතකින්, අමෙරිකානු ජනාධිපතිවරයා චීනයට එරෙහිව සිය බලවත් විරෝධය පළ කරමින් 104%ක තීරුබදු පනවන බවට තර්ජනය කරයි. ඔහුගේම උප ජනාධිපතිවරයා ආසියාවේ විශාලතම ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිතය ජනනය කරනු ලබන්නේ බිලියන 1.4කට වැඩි චීන ගොවීන් පිරිසක් ලෙස හුවා දක්වයි.

අනෙක් අතට, ට්‍රම්ප් ජපානය, දකුණු කොරියාව, වියට්නාමය සහ අන්‍යොන්‍ය තීරුබදු සම්බන්ධයෙන් බියෙන් පසු වන සෙසු ජාතීන් සමඟ සාකච්ඡා කිරීමට ඇති තම අභිලාෂය ද නොසඟවයි.

ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා සිය මුදල් අමාත්‍ය කට්සුනොබු කැටෝ ඇතුළු ප්‍රධාන ආර්ථික අමාත්‍යවරුන් වොෂින්ටනයට පිටත් කර හැරියේ මෙම තීරුබදු තීරණය වෙනස් කරන ලෙස ඔහුට බලපෑම් කිරීමේ අරමුණින් ය. එසේ නොවුණහොත් අපනයන මත බෙහෙවින් රඳා පවතින ජපාන ආර්ථිකයට එය මරු පහරක් වනු නිසැකය.

එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ෆොක්ස් නිව්ස් වැඩසටහනකට සහභාගි වෙමින් කියා සිටියේ “ජපානය අපට ඉතා වැදගත් යුදමය සගයෙක් වගේම වැදගත් ආර්ථික සගයෙක්. අපට ඔවුන් සමඟ සහයෝගිතාව පිළිබඳ දිර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ඔවුන් ඉතා ඉක්මනින් ඉදිරියට පැමිණි නිසාම ජපානයට ප්‍රමුඛතාවය ලැබේවි කියල මම විශ්වාස කරනවා,” යනුවෙනි.

දකුණු කොරියාවද ඒ හා සමාන උපාය මාර්ගයක් අනුගමනය කරමින් සිටී. කොරියාවේ වැඩ බලන ජනාධිපති හැන් ඩක්-සූ ඉකුත් අඟහරුවාදා කියා සිටියේ තීරුබදු සම්බන්ධයෙන් තමා සහ ට්‍රම්ප් අතර මනා සංවාදයක් ඇති වූ බවයි. “අපට රටවල් දෙකටම වෙළෙඳාමට අදාළ සීමා මෙන්ම විභවතාවයන් පවතිනවා” හැන් කියයි. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරමින් ට්‍රම්ප් පැවසුවේ, සියල්ල හොඳින් සිදු වන බවයි. ට්‍රම්ප්ගේ ආනයනික බදු පැනවීම ක්‍රියාත්මක කිරීමට අදාළ දින 90ක විරාමයක් ප්‍රකාශයට පත් කෙරෙන්නේ මෙවැනි පසුබිමකය.

මේ අතර, ඉදිරි සති කිහිපය තුළ රටවල් 70කට වැඩි සංඛ්‍යාවක් සමඟ මෙම ආනයනික බදු පිළිබඳ සාකච්ඡා මෙහෙයවීමට ට්‍රම්ප් පරිපාලනය සූදානමින් සිටී. එහිදී එක්සත් ජනපදයේ හවුල්කරුවන් සමඟ එකඟතාවකට එළඹිය හැකියැයි තමා විශ්වාස කරන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසයි. එහිදී චීනය සමඟ වඩාත් සමීපව පෙළගැසීමේ පියවර පාරා වළල්ලක් බවට පත් විය හැකි බවට හෙතෙම අනතුරු අඟවයි.

එක්සත් ජනපදය සමඟ සෙසු බොහෝ රටවල් පවත්වාගෙන යන වෙළෙඳ හිඟය අවසන් කිරීම අරමුණු කරගත් ට්‍රම්ප්ගේ දඬුවම්ශීලී තීරුබදු, ගෝලීය වෙළෙඳ පර්යාය උඩුයටිකුරු කිරීමට සමත්ව ඇති අතර ලෝක ආර්ථිකය අවපාතයක් කරා යොමු කරලීමේ බියක්ද උද්ගත කොට තිබේ. ට්‍රම්‍ප්ගේ විමුක්ති දින නිවේදනය නිකුත් වීමත් සමඟ ලොව ප්‍රධාන සමාගම්වලට තම වෙළෙඳපොළ වටිනාකමෙන් ඩොලර් ට්‍රිලියන ගණනක් එක විට අහිමි විය.

චීන භාණ්ඩ සඳහා ට්‍රම්ප් ඇස් තෙත් කරවන 104%ක තීරුබද්දක් ක්‍රියාත්මක වීමත් සමඟ අමෙරිකානු බැඳුම්කරවල විකුණා දැමීමේ කලබගෑනියක් උද්ගත විය. විදේශ අරමුදල් අමෙරිකානු වත්කම්වලින් පලා යන බවට බියක් ඇති වීමත් සමඟ බදාදා දිනය වන විට ගෝලීය වෙළෙඳපොළවල දරුණු කඩාවැටීමක් දක්නට ලැබිණි.

චීනයත් අමෙරිකා එක්සත් ජනපදයත් අතර මෙම ගැටුම හුදෙක් ආර්ථිකයට පමණක් නොව, ඒ තුළ සැලකිය යුතු දේශපාලන ඇඟවුම් ගණනාවක් ද පවතී. ලොව විශාලතම ආර්ථික දෙක අතර වෙළෙඳ යුද්ධය අඛණ්ඩව උත්සන්න වෙමින් පවතින අතර, දෙපාර්ශ්වයම ඔවුන්ගේ ස්ථාවරයන්හි ගැඹුරින් මුල් බැසගෙන සිටින බව දැන් සක්සුදක් සේ පැහැදිලිය.

ලොව පුරා ගමන් බලපත්‍ර, වීසා සහ සංචාරක ඇතුළු වීමේ ගාස්තු සංශෝධනයක් වර්තමානයේ අප ජීවත් වනුයේ පෙර නොවූ විරූ ආකාරයේ ඔබ මොබ ගමන් කිරීමේ නිදහසකින් යුත් කාල පරිච්ඡේදයකය. එහෙත් මෑතක සිට එම සංචරණවලට අදාළ දොරටු කිහිපයක් කෙමෙන් වැසී යනු දක්නට ලැබිණි.

ඉතාලිය එහි පුරවැසිභාවය දීමට අදාළ අවශ්‍යතා දැඩි ලෙස සීමා කරමින්, මුතුන් මිත්තන් හරහා ඉතාලි විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමට බලාපොරොත්තු වන දහස් ගණනකගේ සිහිනයට අවසන් තිත තැබීය. විදේශීය පුරවැසියන්ට පදිංචිය සඳහා අයිතිවාසිකම් දීමට අදාළ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ ස්පාඤ්ඤය ද එහි රන් වීසා වැඩසටහන අවසන් කර ඇත. යුරෝපා සංගමයෙන් එක්සත් රාජධානියට පැමිණෙන අමුත්තෝ දැන් සංචාරයට පෙර අයදුම් කර ගාස්තුවක් ගෙවිය යුතු සෙසු රටවල් 48 ක ජනයා සමඟ එක්ව සිටිති. ඒවා මේ සතියේ අන්තර්ජාතික සිරස්තල මැවූ මාතෘකා කිහිපයකි.

අධික ලෙස සංචාරකයන් පැමිණීම අධෛර්යවත් කිරීම සඳහා වැනීසිය එහි දිවා සංචාරක ප්‍රවේශ ගාස්තු දෙගුණකින් වැඩි කොට ඇති අතර, එඩින්බර්ග් නගරය රාත්‍රී නවාතැන් සඳහා සංචාරකයන්ගෙන් බදු අය කිරීමට තීරණය කර ඇත.

නිව් යෝර්ක්හි එම්පයර් ස්ටේට් ගොඩනැඟිල්ලට ඇතුළු වීමේ ගාස්තු ඉහළ නංවා ඇත. ඉල්ලුමට අනුව එහි මිල වැඩි වන අතර, ජපානයේ, කියෝතෝ හෝටල් බදු දස ගුණයකින් වැඩි කොට ඇතැයි වාර්තා වේ.

කඳු නඟින්නන්ටද දැන් තවත් අභියෝගයක් පවතී. එවරස්ට් කන්ද තරණය කිරීම සඳහා බලපත්‍ර ගාස්තු 35%කට වඩා වැඩි කොට ඇති අතර, ෆුජි කන්ද තරණය කිරීම සඳහා දැන් ඩොලර් 27ක ගාස්තුවක් සහ පූර්ව පරීක්ෂණයකට පෙනී සිටීමටද අවශ්‍ය වේ.

සංචාරක කර්මාන්තයට අදාළ මේ සීමා මධ්‍යයේ යුරෝපයෙන් සතුටුදායක කාරණයක් අසන්නට ලැබේ. යුරෝසා සංගමය තරුණයන්ට නොමිලේ අන්තර්ජාතික දුම්රිය බලපත්‍ර 36,000ක් පිරිනැමීමට සූදානම් වෙයි. ඒ සඳහා අයදුම්කරුවන් වයස අවුරුදු 18ක් සපුරා තිබිය යුතු අතර, යුරෝපා සංගමයේ සාමාජික රටවලින් එකක හෝ එහි එරස්මුස් ප්ලස් අධ්‍යාපන වැඩසටහනට සම්බන්ධ තුන්වැනි රටක පදිංචිකරුවෙක් විය යුතුය. ඉල්ලුම් පත් භාර ගැනීමේ අවසන් දිනය අප්‍රේල් මස 16 වේ.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division