Home » කොලොම්බියා ගරිල්ලෝ අවි බිම තබති

කොලොම්බියා ගරිල්ලෝ අවි බිම තබති

by Mahesh Lakehouse
April 12, 2025 12:31 am 0 comment
පී.ආර්. දුෂාන්ති සිල්වා

ප්‍රේල් හය වෙනිදා කොලොම්බියා රජය ඉතාම ප්‍රසාදයෙන් යුතුව ප්‍රකාශ කර ඇත්තේ, එහි ප්‍රබලතම කැරලිකාර කණ්ඩායම වූ Comuneros del sur අවි බිම තබා කොලොම්බියා ජනපති ගෙස්ටාවෝ පෙට්රෝගේ පූර්ණ සාම උපායමාර්ගය සමග ඉතා ශක්තිමත්ව අත්වැල් බැදගත් බවයි. කොලොම්බියා රජයේ ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, “මෙම අද්විතීය සාම ක්‍රියාවලිය හා Comuneros del sur කණ්ඩායම කොතරම් විශ්වසනීයව ඒකාබද්ධ වීද යත්: ඉදිරි මාසවලදී පූර්ණ අවිහරණ ක්‍රියාවලියකට (Disarmament) නායකත්වය දීමට සූදානම්ව සිටින බවයි,” යනුවෙන් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබිණි.

මෙය ලතින් අමෙරිකානු කලාපයේ දශක ගණනාවක පටන්ම ආතතිමය, ගැටුම්කාරි ප්‍රවේශය තුළ ඇසීමට ලැබුණු ඉතාම ප්‍රීති ජනක හා රාජ්‍යතාන්ත්‍රික වැදගත්කමකින් හෙබි පුවතක් ලෙස ගෝලීය විද්වතුන් හඳුන්වා දී ඇත්තේ එබැවිනි. ලතින් ඇමරිකානු කලාපයට අයත් කොලොම්බියාව, දකුණු ඇමෙරිකාවේ ගිනිකොන දිගට වන්නට පිහිටි රාජ්‍යයකි. ස්පාඤ්ඤ භාෂාව ජනප්‍රියතම භාෂාව කරගත් කොලොම්බියාව සෙසු ලතින් අමෙරිකානු රාජ්‍යයන් මෙන්ම අතීතයේදී ස්පාඤ්ඤ යටත්විජිත අධිරාජ්‍යයට නතුව තිබූ රාජ්‍යයකි.

ජනපති පෙට්රෝගේ Total Peace Strategy කොලොම්බියාවේ වාමාංශික නායක ජනපති ගුස්ටාමෝ පෙට්රෝගේ පූර්ණ සාම උපායමාර්ගය කේන්ද්‍ර කරගත් සාම සාකච්ඡාමය ක්‍රියාවලිය තුළ අවසානයේදී කොලොම්බියාවේ පැවති අර්බුදය තුළ එහි ප්‍රධානතම සන්නද්ධ කැරලිකාර කණ්ඩායම වූ Comuneros del sur සාකච්ඡාමය මේසයට කැඳවා අවසානයේදී අවි බිම දැමීම තෙක් මෙන්ම අවිහරණ ක්‍රියාවලියටද එකඟ වීම රාජ්‍යතාන්ත්‍රීය වශයෙන් මෙන්ම ස්වෛරී රාජ්‍යයක සාමය හා ආරක්ෂාව පදනම් කරගත් යහපැවැත්ම උදෙසා ජනපති පෙට්රෝ ගත් තැත මුළුමනින්ම සාර්ථක වීමකි.

ලතින් අමෙරිකානු කලාපයේ හයිටි, කැකටුම්බා ආදි රාජ්‍යයන් මේ වන විටත් පවතින්නේ මත්ද්‍රව්‍ය වෙළෙඳාම්, කල්ලි ප්‍රචණ්ඩත්වය, දේශපාලන අස්ථාවරත්වය පදනම් කරගත් දරුණු අර්බුදකාරී වාතාවරණයකය. එබැවින්, කොලොම්බියාවේ ප්‍රධාන සන්නද්ධ කණ්ඩායම අවි බිම තබා සාම ප්‍රවාහයට එකතු වීම කලාපීය වශයෙන්ද මේ සංවාදයට මහත් වාසියක් සැලසෙන අවස්ථාවකි.

Comuneros del sur කවුරුන්ද?

කොලොම්බියා රාජ්‍යයේ විශාලතම මාක්ස්වාදී කැරලිකාර කණ්ඩායම වූ ජාතික විමුක්තිකාමී හමුදාව (No blank) (ELN) වෙතින් වෙන් වී වෙනම සංවිධානය වූ Comuneros del sur 1992 දී බිහිකර ගත් සන්නද්ධ කැරලිකාර කණ්ඩායමකි. සටන්කාමී සාමාජිකයන් 250ක් පමණකින් සැදුම්ලත් Comuneros del sur කොලොම්බියාවේ Narino පළාත් සිය මෙහෙයුම් කටයුතු සිදුකලා වූ කණ්ඩායමකි. ඇත්ත වශයෙන් ම ජනපති ගුස්ටාවෝ පෙට්රෝ ගේ පදවිප්‍රාප්තියේ (2022) ප්‍රථම වර්ෂයේ දී කොලොම්බියාවේ පැවති ප්‍රධාන සන්නද්ධ කණ්ඩායම් වූයේ, ජාතික විමුක්තිකාමී හමුදාව (ELN), කොලොම්බියා විප්ලවීය හමුදා බලකාය (FARC) හා ගල්ෆ් ක්ලෑන්ය. මේ කණ්ඩායම් අතර කොලොම්බියානු ආර්ථිකය පාලනයට නතු කරගැනීමට පැවති තරගය පවතිද්දීම ඔවුන් සාම කතා සඳහා පොලඹවා ගැනීමට, රජය දැරූ වෑයම අද කෙතරම් සාර්ථක වී ඇතිද යන්න මනාව පිළිබිඹු වී ඇත. 2023-2024 අතර දත්ත වාර්තාවලට අනුව 2023 ජනවාරි පළමු දා සිට 2024 නොවැම්බර් 29 වන විට කොලොම්බියා ආරක්ෂක බළකායන් හා මෙම සන්නද්ධ කණ්ඩායම් අතර ප්‍රචණ්ඩත්වය 21%කින් වර්ධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම බොහෝ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට පෙරමුණ ගෙන ක්‍රියාකර ඇත්තේ ගල්ෆ් ක්ලෑන් හා FARC – Central General Staff (EMC) යන කොටස් බව තහවුරු කර ඇත. මෙහි නායකත්වය ගෙන ක්‍රියා කර ඇත්තේ, අයිවන් මෝඩිස්කෝ වන අතර 2024 අප්‍රේල් සාකච්ඡාවලදී මෙය තහනම් කර ඇත. ELN සංවිධානය ද අවුරුද්දකට එපිටට විහිදුණු සටන්විරාමය 2024 අගෝස්තු නිම කර ඇති අතර, 2025 අප්‍රේල් 06දා අවිබිම තබා කොලොම්බියා රජය සමග සාමයට බද්ධ වූ Comuneros del sur ප්‍රධාන කැරලිකාර කණ්ඩායමේ මේ ක්‍රියා පිළිවෙත ඓතිහාසික බව ගෝලීය රාජ්‍යතාන්ත්‍රික පිරිස් පවසන්නේ මේ පසුබිම තුළයි.

Comuneros del sur කැරලිකාර කණ්ඩායම, ඉතා ප්‍රබලම සිය Narino පළාතේ බලයන් භාවිත කළ කණ්ඩායමක් වන අතර, 2024 පළමු මාස එකොළහ ඇතුළත ඔවුන්ගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් 2023 වර්ෂය හා සසඳන විට එය 52%ක වර්ධනයක් ලෙස වාර්තා වී තිබුණි. මේ ආකාර ප්‍රබල කණ්ඩායමක් අවි බිම තබා, ඉදිරි අවිහරණ ක්‍රියාවලියකට නම්මවා ගැනීම කෙතරම් අගනේ ද? අනෙක් අතින් එය අතිමහත් දුෂ්කර කර්තව්‍යයක් නොවන්නේ ද? අසල්වැසි වෙනිසියුලාව, ඉක්වදෝරය ආදී ලතින් අමෙරිකානු රාජ්‍යයන්ට ද එහි කොලොම්බියා රජය සමත් වූ මෙම පියවර ඉතා සාධනීයව බලපානු නොඅනුමානය.

වෙනිසියුලාවද දේශපාලන අස්ථාවරවීම් පෙරදැරි කොටගෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට වරින් වර බාධා මතු කරන රාජ්‍යයක් ලෙස ප්‍රසිද්ධව ඇත. වෙනිසියුලාව මධුරෙයි ජනපතිගේ ආඥාදායක පාලන තන්ත්‍රය වෙනිසියුලානු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයට මහත් බාධාවක් වී ඇති අතර, කොලොම්බියා ජනපති ගුස්ටාවෝ පෙට්රෝ ප්‍රකාශ කර ඇත්තේ මධුරෙයි ජනපතිගේ නව රජය ඔහු නොපිළිගන්නා බවයි.

පූර්ණ සාම උපායමාර්ගය තුළ සාර්ථකත්වය

අඩ සියවසකට එපිටට විහිදුණු කැරලිකාර සන්නද්ධ ගැටුම් ප්‍රවාහයන් ඉතා පහසුවෙන් විසඳීමට නොහැකි බව ලෝක තත්ත්වයකි. කොලොම්බියාවේ ජනපති ගුස්ටාවෝගේ පූර්ණ සාම උපායමාර්ගය තුළ පැවති ඇත්තේ බලහත්කාරි හෝ හමුදාමය මර්දනය නොව උපාය මාර්ගිකත්වය හා බද්ධ වූ සාකච්ඡාමය ස්වරූපයේ උපරිමයට ළගා වූ සාර්ථකත්වයකි. එහෙත් මෙම සාම ක්‍රියාවලිය තුළ පැවති සාකච්ඡා තුළ ජාතික ආරක්ෂාව, ස්වෛරීත්වය හා අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීම (Confidence Building) යන සංකල්පයන් මනාව අන්තර්ගතව පැවතීම කිසිදු ලෙසකින් කිසිදු අවස්ථාවක අඩුවක් නොවීය.

යම් කැරලිකාර සන්නද්ධ කණ්ඩායමක් සාකච්ඡා මේසයට පැමිණෙන්නේ තමාට ඇහුම්කන් දීම තුළ ඉදිරියේ දී ඔවුන්ට අත්විඳීමට සිදුවන්නේ කුමන ආකාරයේ ප්‍රතිඵලයක් ද යන්න මනාව තහවුරු කොටගත් පසුබිමක පමණකි. එබැවින්, වත්මන් කොලොම්බියා පෙට්රෝ සාම ක්‍රියාවලිය තුළ Comuneros del sur සටන්කාමීන්ට ඉදිරියේ දී ඔවුන් සිවිල් ජන ජීවිතය හා මුසුකිරීමේ සාධනීය සැලැස්මක් තිබීම තුළ මේ විශ්වාසය වැඩි වර්ධනයක් ගනු ලැබීය. Comuneros del sur තමන් සතුව පැවැති පුපුරණ ද්‍රව්‍ය යුධ උපකරණ කොලොම්බියා රජය වෙත දැනටමත් භාර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ජනපති ගුස්ටාවෝ පෙට්රෝ

ගුස්ටාවෝ ෆැන්සිස්කෝ පෙට්රෝ කොලොම්බියාවේ 34 වැනි ජනපති මෙන්ම වර්තමාන කොලොම්බියා ජනපති ධුරයද උසුලයි. මොහු කොලොම්බියාවේ ප්‍රථම වාමාංශික ජනපතිවරයා වන අතර, මොහු කොලොම්බියාවේ (M19) 19th of April Movementට සම්බන්ධව කටයුතු කළ අයෙක් ලෙස විස්තර වේ. පසුව M19 ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලෙස දේශපාලන පක්ෂයක් ලෙස කොලොම්බියාවේ ස්ථාපිත විය.

ජනපති පෙට්රෝ 1985දී හමුදාව වෙතින් අත්අඩංගුවට ගෙන දරුණු වදහිංසා පමුණුවනු ලැබූ අතර, පසුව M19 හා කොලොම්බියා රජය අතර ස්ථාපිත වූ සාම ගිවිසුමෙන් පසු ජනපති ගුස්ටාවෝ එවකට නිදහස් වූ බව වාර්තා වී ඇත. 1991 දී පාර්ලිමේන්තු මැතිවරණයට ගුස්ටාවෝ පෙට්රෝ තරග කිරීම, කොලොම්බියානු දේශපාලනය තුළ ඔහුගේ ජීවිතයේ දොරගුළු විවරවීමක් සිදු විය. 2006 දී කොලොම්බියා පාර්ලිමේන්තු මැතිවරණයේ දී දෙවන විශාලතම ඡන්ද ප්‍රමාණය ලබාගත් ගුස්ටාවෝ පෙට්රෝ 2011-2015 දී බොගෝටා හි නගරාධිපති ලෙස සේවය කර ඇත. මේ ආකාර පසුබිමකින් යුතු දේශපාලන භූමිකාවක් නිරූපණය කරන වත්මන් ජනපති පෙට්රෝ 2025 දී ඔහුගේ රජය ඉතා ශක්තිමත්ව නිර්මාණය කළ අතර, අප්‍රේල් 6 දා කැරලිකාර සංවිධානය අවි භාර දීම තෙක් රැගෙන ආවේද ඔහු තුළ වු මේ මනා දක්ෂතාව, වීර්යය හා උපායමාර්ගික ඥානය පෙරදැරි කරගත් නව සැලසුම නිසාය.

අවි බිම තබමින් සාම ප්‍රවාහයට එක් වූ කොලොම්බියා කැරැලිකාර කණ්ඩායමේ නායකයෙකු වූ රෝයර් කාසොන් පවසා ඇත්තේ, “සන්නද්ධ ගැටුම් දැන් කල්පැන ගිය තත්ත්වයක් වන අතර, පරිච්ඡේදයකට හා නව අවශ්‍යතා උරගා බැලීමට දැන් කාලය පැමිණ ඇති බවයි.”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division