වසර 16 කට පසුව බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්බර අවස්ථාව අද(18) උදාවිය.
ඒ අද සිට දින 10 ක් පැවැත්වෙන සිරි දළදා වන්දනාව සමඟිනි.
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාව සඳහා අද (18) දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරට පැමිණියේය. දළදා වහන්සේ වැද පුදා ගැනීමට මෙහිදී ජනාධිපතිවරයා එක්විය.
ක්‍රිස්තු වර්ෂ 310 දී පමණ ත්‍රිකුණාමලයේ වරායකින් ලංකාද්වීපයට වැඩම වූ දළදා වහන්සේ මෙරට රාජධානි කිහිපයකදීම සුරක්ෂිතව රැකබලාගැනීමෙන් පසු වර්තමානයේ ඓතිහාසික සෙංකඩගල ශ්‍රී දළදා මාළිගාවේ වැඩ සිටි.
සිරි දළදා වන්දනාවේ පළමුවැන්න වසර 1715 කට පෙර අනුරපුර කිත්සිරිමෙවන් මහ රජ දවස දක්වා දිවෙන බව දාඨා වංශයේත්, පාහියන් චීන දේශාඨන වාර්තාවලත් සඳහන්ය.
අනතුරුව 1828, 1882, 1972, 1978, 1991, 1995, 2001, 2004 සහ අවසන් වරට 2009 වසරේදීත් සිරි දළදා වන්දනාව පැවැත්වුණි.
මේ අතර, රාජ්‍ය තාන්ත්‍රිකයන් 44 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ද සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාව සඳහා දුම්රියෙන් මහනුවරට පැමිණියේය.