– මධ්‍යම බස් නැවතුම, බැස්ටියන් පාර බස් නැවතුම, ගුණසිංහපුර බස් නැවතුම හිස්ම හිස්
– කොළඹ ස්ටේෂන්, ගෝල්ෆේස් ජන ශුන්‍ය වෙයි
– මොනාද බොසා, අවුරුද්ද හොඳයි. හෝල්සේල් කඩ වහල නිසා අද අපිට වැඩ නෑ
අද කොළඹ යන්න බොහෝ පිරිස් අකැමැති හේතු කීපයකි.
“හපෝ කොළඹ මතක් කරන්න එපා. අඟලෙන් අඟල ට්‍රැෆික්.”
“ඒත් නැත්නම් වාහනයක් නවත්ත ගන්න තැනක් නෑ. ඒ තරම් වාහන ගාල් පිරිලා.”
“මේ මොකවත් නැත්නම් අතින් කටින් ළමයි එල්ලගෙන සෙනඟ පිරිල හිටගෙන ඉන්නකොට තල්ලු වෙලා යනවා.”
ඒත් ඔය කියන මුකුත්ම නැති පාළු කොළඹ නගරයක් පසුගිය සිංහල අවුරුදු දා උදෑසන ඒ කියන්නේ අප්‍රේල් 14 වැනිදා සඳුදා උදය වරුවේ දැකගත හැකි විය.
අපේ ගමන ඇරඹුණේ කොළඹ – කොටුව නිවාස අධිකාරිය ඉදිරියේ සිට ලේක්හවුස් ගොඩනැඟිල්ල දෙස බැලීමෙනි. චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ ලේක්හවුස් වටරවුම තෙක් මෙලෝ වාහනයක් නැත. පයින් ඉදිරියට යන විට රීගල් සිනමා ශාලාව අසල දර කෑලි කීපයක් දමා කිරි උතුරවන හිඟන්නකු දැකගත හැකි විය.
“ආ… අවුරුද්දට කිරි උතුරනවා වගේ…” මම අසා සිටියෙමි.
“මොන කිරි උතුරවනවද! මම මේ මැගී නූඩ්ල්ස් එකක් තම්බගන්නවා ඔය දර කෝටු ටිකක් එකතු කරල. කන්න තැනක් නැහැ.”
ඉන් පසු වමට හිල්ටන් දෙසට යන මාර්ගය සහ ඩී.ආර්. විජයවර්ධන මාවත දෙස බැලුවෙමි. එක වාහනයක්වත් නැත. ඉඳහිට පොලිස්, ආමි හෝ ජීප් රථයක් දැකගත හැකිවිය.
ලේක්හවුස් ප්‍රවාහන අංශයට ගොස් රථයක් ගෙන රියැදුරා සමඟ කොළඹ නගරය වටා සැරිසරන්නට පටන් ගතිමි. ලේක්හවුස් බිම් මහලේ සිට රීගල් සිනමා ශාලාවෙන් වමට දැමූ විට ඇත්තේ චොකලට් අලෙවි සලකි. එතැන පොට්ටනියක් අතින් ගෙන සිටි හිඟන්නකු අපට ආයුබෝවන් කියමින් “සුබ නව වසරක්!” කීවේ පළාතම දෙවනත් කරමිනි.
ඉන් පසු හිල්ටන් හෝටලය පසුකරන විට එකම පාළුව මකාදමා තිබුණේ එහි පැමිණ සිටි විදේශිකයන් පිරිසකි. යෝක් වීදියෙන් දකුණට හැරී ටෙලිකොම් මූලස්ථානය පසු කොට කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය අසලට එන විට මල්වත්ත පාර දෙස බැලීමි. කිසිවකු දකින්නට නැත. වෙනදාට ඇති සපත්තු මහන්නෝ, සපත්තු විකුණන ඩිමෝ බට්ටා ලොරි හෝ තැඹිලි විකුණන වෙළෙන්දෝ කිසිවෙක් නොවූහ. මල්වත්ත පාරේ ආරම්භයේ සිට විමලධර්ම ඔරලෝසු සාප්පුව ඉදිරිපිට ඇති ඔරලෝසු කණුව පමණක් නොව, කොළඹ වරාය ඉදිරිපිට පිලිප් ගුණවර්ධනගේ පිළිරුව පවා දැකගත හැකි බව දැනගත්තේ එදාමය!.
මල්වත්ත පාරෙන් පසු පළමු හරස් වීදිය, දෙවැනි හරස් වීදිය දෙපස පේමන්ට් වෙළෙන්දන් විසින් තමන් විකුණන දේ තම තට්ටුව මතම තබා කුඩ රෙද්දෙන් වසා ඊට උඩින් ශක්තිමත් ලණුවලින් ගැටගසා තිබිණි. වාහනය නවත්වා පාළු පාරේ පින්තූරයක් ගන්නා විට,
“මගේ පින්තූර ගන්න එපා. අපි තමයි මේවා මුර කරන්නේ හතර දෙනෙක් ඉන්නවා.”
මේ මාර්ග මෙතරම් පළල් පාරවල් බව දැනගත්තේ එදාමය. මේ පාරවල් දෙකේම සිටි කොලුවන් ක්‍රිකට් ගැසුවේ පළාතම දෙවනත් කරමිනි.
“ඕකුන් ගල් ආඳෝ! වටිනා බඩු තියෙන තට්ටුවලට බෝලෙන් ගහනවා. බෝලේ හොයනවා වගේ තට්ටුවේ බඩුවලට වැඩේ දෙනවා.” තට්ටු මුර කරන පුද්ගලයා බෝල ගහන කොල්ලන් තම ඇස් දෙකෙන් පෙන්වමින් පැවසීය.
ඊට පසු ටික දුරක් ගිය විට ඇත්තේ පිටකොටුව බෝගහ හන්දියයි. පිටකොටුව බෝධිය පාළුට ගොස් තිබිණි. එහෙත් උදේට තබන කිරිපිඬු පූජාව තබා ඇති බව දැකගත හැකි විය.
බෝගහ ඉදිරිපිට කලර් ලයිට් එක ළඟ රතිඤ්ඤා අලෙවියේ නියුතු වූයේ ‘සෆ්තාර්’ ය. ඔහු ගුණසිංහපුර නිවැසියෙකි.
“ඊයෙ නම් හොඳට බිස්නස් තිබ්බා. ගමේ යන අය රතිඤ්ඤා අරන් ගියා. අද එන්න නෙමෙයි හිටියේ. ඉතුරු බට්ට ටික අද කොහොම හරි විකුණගන්න ඕෙන. නැතිනම් මේවා රිටන් ගන්නේ නැහැ. ගිය සැරේට වැඩිය මේ සැරේ මිල සියයට 20ක් වැඩියි.”
ඒ අසලම සිටියේ විශාල හෝඩි පොත් අතින් ගත් වෙළෙන්දකු වූ ‘කපිල’ ය.
“අවුරුද්දට ගෙදර යන අය මේ හෝඩි පොත් තෑගි දෙන්න ගෙනියනවා. ඊයේ මාර සේල් එකක් තිබුණේ.”
ඔහු අත වූ පොත් අතර බබාගේ හෝඩිය, බබාගේ පාට කරන පොත, පුංචි අපට අක්ෂර ලිවීම ආදි පොතක මිල රු. 200/=ක් විය.
නැවත හිස ඔසවා පිටකොටුව බෝධිය දෙස බැලීමි. එතැන ඇත්තේ පත්තර විකුණන තට්ටුවකි. සිළුමිණ පත්තරේ එහි උඩ එල්ලි එල්ලී තිබිණි. පත්තර තට්ටුවක් සිංහල අවුරුදු නැකතට විවෘතව තිබීම සිතාගත නොහැකි විය. එහි පුවත්පත් අලෙවියේ නියුතුව සිටි තරුණයා ‘තරුෂ ධනංජය’ යි.
“ඊයෙ නම් හොඳට බිස්නස් තිබුණා. අවුරුද්දට ගමේ යන්න බස් එකේ යන්න එන අය යන ගමන් බලන්න පත්තරයක් ගන්නවා.”
අපට නම් ඊට පෙර දිනවත් කොළඹ පත්තර තට්ටුවක් දැකගත හැකි වූයේ නැත. ඒ පත්තර තට්ටුවේ ඇපල්, මිදි, රසකැවිලි මෙන්ම බයිට් පැකට්ද විය.
කොටුවේ තාවකාලික පොලිස් මුරපොළද ඇත්තේ ඊට යාබදවය. එහි පොලිස් නිලධාරීන් දෙදෙනා අතරින් කෙනකු මා ඇමතූ විට නින්දෙන් අවදි විය.
“මොකද මේ සැරේ අවුරුද්දට යන එන සෙනඟ?” මම අසා සිටියෙමි.
“ඊයේ නම් මාර සෙනඟක්. උදේ 2 විතර වෙනකම් නින්දක් නෑ. අද නම් කවුරුවත් නැහැ. ටවුමම පාළුයි.”
අප ඊළඟට පිවිසියේ කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොළටය. බස් රථ ගාල් කර තිබුණත් මගීන් සිටියේ සීමිත ගණනකි. යාපනය බස් නැවතුම අසල පුටුවේ වාඩි වී සිටියේ ‘ජනකන්’ ය.
“උදේම ආවත් යාපනේට බස් එකක් තාම නෑ. දැන් යාපනේට ටිකට් එක රු. 1300/=යි. බොරැල්ල සයිවර් කඩේක වැඩ කරන්නේ. මුදලාලි ලෝකෙ විනාස වුණත් අවුරුදු නැකතට සයිවර් කඩේ අරිනවා.”
කොළඹ ප්‍රධාන බස් නැවතුමේ ඇවිදින විට තරුණ ජෝඩුවක් තම දියණිය සහ පුතණුවන් සමඟ මාළු පෙට්ටියක්ද රැගෙන අපෙන් ඇසුවේ නුවර බස් එක නවත්වන තැනය. ඔහු නමින් ‘ඥානතිලක’ ය.
“අපේ ගෙවල් නුවර, තෙල්දෙණියටත් එහා ගලබොඩවත්ත මීගමුවේ වැඩ කරන්නේ. මාළු කඩේක නැවතිලා. අවුරුද්දට ගෙදරට මාළු ගෙනියනවා. කොහොම යන්නද මන්දා. සෙනඟත් නැහැ…”
ප්‍රධාන බස් නැවතුමේ කාර්යාලය විවෘතව ඇති බැවින් එහි කළමනාකරු සමන් ජයමාන්න හමු වුණෙමි.
“දැන් ඔය දෙතුන් දෙනා හිටියට බස් එකක් දාන්නේ නෑ. පෝලිම බලල තමයි බස් එකක් දාන්නේ. බස් ඕනැ තරම් නවත්තලා තියෙන්නේ, සෙනඟ මදි එකයි ප්‍රශ්නේ?” මේ සැරේ වෙනදාට වඩා සෙනඟ අඩුයි. පළාතම වේළෙනවා.”
සෙනඟ අඩු වුණත් මධ්‍යම බස් නැවතුමේ එක් වැසිකිළියක් නව වසරට වැඩ අල්ලන්නට මෙන් පිරිසිදු කරමින් තිබිණි.
බැස්ටියන් මාවත බස් නැවතුමට යන විට විදේශිකයෝ පිරිසක් ත්‍රිකුණාමලය හා සීගිරියට යන බස් ගැන විමසමින් සිටියහ. මුළු බස් නැවතුමම පාළුවට ගොස් තිබිණි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ උඩුමහල් කාර්යාලය විවෘතව තිබූ බැවින්, එහි සිටි කළමනාකරුට කතා කළෙමි.
“අවුරුද්දට කලින් දවසේ ඊයේ උදේ තුනටත් සෙනඟ බස්වල නැග්ගා. බදුල්ල, මොනරාගල, අම්පාර, හැටන්, මාර සෙනඟක් හිටියේ. වෙන රූට්වල බසුත් ගෙනත් දැම්මා. අද අවුරුද්ද දවසේ නම් පාළුයි. කතරගමට හයිවේ ඉන්ටසිටියක් පැය 5ක් තිස්සේ ගහන් ඉන්නවා. තාම සෙනඟ 7යි ඉන්නේ.”
බැස්ටියන් මාවත බස් නැවතුමෙන් නැවත කොටුව ස්ටේෂම දෙසට එන විට පාර අවසානයේ ඇති කඩ පේළියම කොළඹ කුකුළු මස් තොග කඩ පෙළය. අප මෙතෙක් කල් සිතා සිටියේ සිංහල අවුරුද්දට අවශ්‍ය කැවුම්, කොකිස්, කිරිබත් බවය. ඒත් සිංහල අවුරුද්දට මේ තරම් කුකුළු මස් විකිණෙන බව අප දැනගත්තේ එදාය. කුකුළු මස් කඩ පිරෙන්නට අවුරුදු කන්නට ආ පිරිසගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි. අප සමඟ කතාවට එක්වූයේ ‘ෆාහිම්’ ය.
“මොනාද බොසා, කොම්ප්ලීට් කුකුළා (ජීව බර) තමයි අපි විකුණන්නේ.”
මොහොතක් බලා සිටිද්දී කූඩුවක සිටි තඩි කුකුළකු එළියට ගෙන, උගේ කකුල් දෙක ගැට ගැසූ ෆාහිම් කුකුළා කකුල් දෙකෙන් තරාදි කොක්කේ එල්ලීය.
“කිලෝ දෙකයි අට සීයයි.” ෆාහිම් මොර දෙන්නට විය. කස්ටමර් මුදල් ගෙවූ සැණින් ෆාහිම් අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන්නට මෙන් කුකුළාගේ බෙල්ල වෙන් වෙන්නට කැපුවේ මන්නයකිනි. ඒත් කුකුළා ඒ අතටත් මේ අතටත් දඟලන්නට විය. සැණෙකින් කුකුළා කකුල් දෙකෙන් අල්ලා උණුවතුර බැරලයකට බස්සවා එළියට අරගෙන හම තෙක් පිහාටු ගැලවූයේ ස්ටිකර් ගලවන්නාක් මෙනි. ඉන් පසු තත්පර ගණනකදී කුකුළා කුඩා කොටස්වලට පත් වී පාර්සලය ඔතන විටත් අපට පෙනී ගියේ පණ ඇති ලෙස ගැස්සෙන බවය.
මේ සියල්ල සිදු වූයේ කූඩුවල සිටි අනෙක් කුකුළන් සිර වී බලා සිටිද්දීය. බ්‍රොයිලර්, පේරන්ස්, කරි චිකන්වලට වඩා ඉල්ලුමක් තිබුණේ රතු කුකුළු මස්වලටය.
ඊළඟට අපේ නැවතුම වූයේ කොටුව දුම්රිය ස්ථානයයි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අධ්‍යක්ෂ වන්නේ එස්.එම්.එල්. සිරිවර්ධනය.
“ආයුබෝං, අලුත් අවුරුද්දටත් ස්ටේෂන් එකේම වගේ…” මම කතාවට බැස්සෙමි.
“අවුරුද්දටත් අපි වැඩ. මේක අපේ ඩියුටිය නේ. ගොඩක් ඉන්නේ ටුවරිස්ල තමයි.” දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසීය.
අප නැවත දුම්රිය වේදිකාව දෙස බලන විට වැඩියෙන්ම සිටියේ තඩි බෑග් කරේ බැඳගත් විදේශිකයෝය. එහෙත් ටිකෙන් ටික සෙනඟ ඇදෙන බවක් දක්නට ලැබිණි.
කොටුව දුම්රිය ස්ථානයෙන් එළියට එන විට අරලිය ගස් සෙවණේ හිඟන්නෝ බුරුතු පිටින් ගිමන් හරිමින් සිටියහ.
“පොලිසියෙන් බත් ගෙනල්ල දුන්නද?” මම හිඟන්නකුගෙන් අසා සිටියෙමි.
“ඕවා කටේ තියන්න පුළුවන්ද? අපි කන්නේ අර කඩේ බත් තමා…” හිඟන්නා විවෘතව පැවති මුස්ලිම් බුරියානි කඩයක් පෙන්වීය.
හිඟන්නා පෙන්වූ මුස්ලිම් හෝටලය බුරියානිවලට සුවිශේෂ හෝටලයකි. එහි අඩුම මිලට ඇති බිත්තර බුරියානියක්ම රු.700/=කි. එළුමස් බුරියානි එකක් රු. 2200/=කි. මම අඩුම ලන්සුවෙන් හිඟන්නාගේ ආදායම ඇස්තමේන්තු කරගතිමි.

කොටුව දුම්රිය ස්ථාන අධිකාරි එස්. එම්. එල්. සිරිවර්ධන සහ ව්‍යාපාරික මොහොමඩ් ඉන්ෆිකාර්
තවත් හිඟන්නකු හා සිඟමන් යදින කාන්තාවක සමඟ කතා කළෙමි.
“අපි කියන්නේ පොලීසියට අපිව අත්අඩංගුවට ගන්න එපා. ඔක්කොම වෙඩි තියලා දාන්න කියලා. මම දැන් අවුරුදු තිස්පහක් හිඟා කනවා. ඔය විස්සෙ කොළ ඔක්කොම ගිනි තියන්න ඕනැ. මොකද 5, 10 කාසියක් දෙන්න ලජ්ජා නිසා රුපියල් විස්සෙ නෝට්ටුවක් දෙනවා. විස්සෙ කොළ ගිනි තිබ්බ නම් මිනිස්සු අපිට රු. 50/= නෝට්ටුවක් දෙයි.”
අප නැවතත් ටෙලිකොම් වටරවුමෙන් බෝගහ දෙසට යන විට මුස්ලිම් හෝටලයක් විවෘතව තිබිණි. සිලෝන් බේකරියේ කළමනාකරු ‘මොහොමඩ් ඉෆ්නිකර්’ අප සමඟ කතාවට එක් විය.
“නෝම්බි අවුරුද්ද අප්‍රේල් 1 වැටුණ නිසා සිංහල අවුරුද්දටත් හෝටලේ වැහුවෙ නෑ. ගෝලයො ටිකක් එක්ක වැඩේ ඇදගෙන යනවා. අවුරුදු චාරිත්‍ර වෙලාවෙත් සමහර ගම්වල යන අය හෝටලේ කකා හිටියා.”
අප ඉන් පසු ගුණසිංහපුර බස් නැවතුමට ගියත් එහි දර්ශනය හිස් පිට්ටනියක් වගේය. වෙනදාට ඝෝෂාකාරි බස් තදබදය වෙනුවට එහි එකම බස් රථයක්වත් නොවීය. වේල්ල වීදියෙන් සෙන්ට්‍රල් රෝඩ් එකට පිවිසුණ අපට දැකගත හැකි වූයේ ගෑස්පහ හන්දිය තෙක් මාර්ග දෙපස කයි කරත්ත නොහොත් නාට්ටාමිලා බඩු ගෙන යන කරත්ත ඉබි යතුරු දමා ගාල් කර ඇති අයුරුය. ගෑස්පහ හන්දියෙන් පැරණි නගර ශාලාව අසලින් මේන් ස්ට්‍රීට් එකට අපේ රථය හරවන විට පේමන්ට් එකේ කොඩමු විකුණන තට්ටුවක් ළඟ සිටියේ ‘එම්.ජී.ආර්.’ ය.‘එම්.ජී.ආර්.’ යනු පිටකොටුව ෆුල්සූට් ගසා කයි කරත්ත බඩු අදින නාට්ටාම් කෙනෙකි. ඔහු අනුකරණය කරන්නේ තමිල්නාඩු ප්‍රසිද්ධ නළු එම්.ජී. රාමචන්ද්‍රන් ය.
“මොනාද බොසා, අවුරුද්ද හොඳයි. හෝල්සේල් කඩ වහල නිසා අද අපිට වැඩ නෑ තමයි.” ‘එම්.ජී.ආර්.’ පැලඳ සිටි බැජ් කීපයක් අතගාමින් අපට පැවසීය.
ඉන් පසු අප ගියේ ගෝල්ෆේස් පිටියටය. ගෝල්ෆේස් පිටිය පරණ පාර්ලිමේන්තුවට ප්‍රතිවිරුද්ධ දෙසින් ආරම්භ වන තැන පමණක් දැන් රැල්ල පෑගිය හැකිය. පෝට්සිටි නිසා අනෙක් භූමිය ගොඩ කර ඇත. එතැන් සිට ගෝල්ෆේස් හෝටලය දක්වා එදා නම් වෙරළක් තිබුණේ නැත. මුළු ගෝල්ෆේස් පිටියේම හිටියේ එකම බැලුම් වෙළෙන්දෙකි.
අප නැවත ලේක්හවුසියට එන විට කල්පනා කළේ ජනශූන්‍ය වූ කොළඹ කොතරම් සුන්දරද කියාය. ඊටත් වඩා, කොළඹ රැඳෙන මේ පිරිස් තම ගම්බිම්වලට ගිය දාක මුළු කොළඹම හිස් වන බව නොවේද? කොළඹට ඇඳිරිනීතිය දැම්මත් සිංහල අලුත් අවුරුදු නැකැත් වේලාවට තරම් කොළඹ ජනශූන්‍ය නොවන බව අපට අවසානයේ තහවුරු විය.