• දිග අඩි 49’ 3”ක්
• පළල අඩි 7’ 9”ක්
• ආදි බ්‍රාහ්මී අක්‍ෂර 23ක්
• පේළි 11ක්
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ, දිඹුලාගල නාමල්පොකුණ පුරාවිද්‍යා පරිශ්‍රය පිහිටි ශේෂකඳු ගැටය මුදුනේ වසර දහස් ගණනකට පෙර ලියවුණු සුවිශේෂ සෙල්ලිපියක තොරතුරු අනාවරණය කර ගැනීමට මෑත කාලයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හැකි විය. ගම්වැසියන්ගේ දැනුම් දීම මත ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සොයාගෙන ඇති ආදි බ්‍රාහ්මී අක්ෂරයෙන් හා සිංහල ප්‍රාකෘතයෙන් ලියවුණු විශාලතම සෙල්ලිපියේ තොරතුරු මෙලෙස අනාවරණය කර ගනු ලැබීය.
දිඹුලාගල ලිපිය පිළිබඳ තොරතුරු ලැබෙන අවධිය වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරමින් සිටියේ ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මියයි. ඇයගේ මූලිකත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳ පර්යේෂණ කටයුතු ඉතා කඩිනමින් ආරම්භ කළ අතර, ඇය විශ්‍රාම ගැනීමෙන් පසු එම ධුරයට පත්ව ආ නිශාන්ති ජයසිංහ මහත්මියගේ හා වත්මන් අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත ඒ කටයුතු අඛණ්ඩව කරගෙන යෑම සඳහා බාහිර විද්වතුන්ගෙන්ද සමන්විත විද්වත් කමිටුවක් පත් කරනු ලැබිණි. ඒ අනුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, ගල්වැව විමලඛන්ති හිමි, ආචාර්ය මාලිනී ඩයස් හා මහාචාර්ය රත්නසිරි අරංගල යන විද්වත්හුද සෙල්ලිපිය කියවීමේ හා අර්ථ ගැන්වීමේ කාර්යයට සහභාගි වූහ.
මේ ලිපිය සටහන් කර තිබුණු ගල් තලය මතුපිට ඒ වන විට බෙහෙවින් ගෙවී ගොස් පැවති හෙයින් එය කියවීම අතිශය දුෂ්කර කාර්යයක් විය. කියවීම සඳහා අවශ්‍ය කඩදාසි ස්පර්ශ පිටපත සකසාගත්තද, එහිද අක්ෂර පැහැදිලි නොවූ හෙයින් සෙල්ලිපියේ අක්ෂර පැහැදිලි කරගැනීම සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේදයක් කෙරෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමු විය. ඒ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයෙහි සහය ගැනීමට තීරණය කෙරුණු අතර, එහි ආචාර්ය අර්ජුන තන්තිලගේ මහතාගේ ඉල්ලීම මත සුලෙකෝ ආයතනය මඟින් නොමිලයේ සපයන ලද නවීන තාක්‍ෂණික උපකරණ භාවිත කරමින් ජයම්පත් සේනානායක, මනෝජ් මිහිරංග හා ඉන්දික විතානගේ යන විද්‍යාත්මක සහකාර මහත්වරු Lidar and Photogrammetry සහ Multi Spectrum (බහුවර්ණාවලීක්‍ෂ ඡායාරූප) ලබා දීමට කටයුතු කළහ. මේ තාක්ෂණය භාවිත කරමින් සකස් කරන ලද විශේෂ ඡායාරූපය ආශ්‍රයෙන් ශිලා ලේඛනයේ සැලකිය යුතු කොටසක් කියවා ගනු ලැබූ අතර, ශිලාලේඛන කියවීමක් සඳහා එම තාක්‍ෂණය භාවිත කළ පළමු අවස්ථාවද මෙය විය.
ගල් පුවරු මුහුණතේ දිගින් මීටර් 15ක (අඩි 49.25) හා පළලින් මීටර් 2.4ක (අඩි 7.87) වපසරියක් ලිපිය ලිවීම සඳහා භාවිත කර ඇති අතර, ගල් තලය පූර්ව සකස් කිරීමකින් තොරවම අක්ෂර කොටා ඇත. බ්‍රාහ්මී අක්‍ෂර මාලාවෙන් අක්‍ෂර 23ක් පමණක් උපයෝගි කරගෙන පේළි 11කින් ලියා ඇති ඒ කිසිදු අක්‍ෂර පෙළක් මේ වන විට පූර්ණ වශයෙන් ආරක්‍ෂා වී නැත. මෙතෙක් දිවයිනෙන් අනාවරණය වී ඇති ආදි බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියන ලද විශාලතම ශිලා ලේඛනය වශයෙන්ද, එසේම වැඩිම පිරිසකගේ දායකත්වයක් නිරූපණය කරන පැරණිතම ශිලාලේඛනයද වශයෙන්ද මෙය පෙන්වා දිය හැකිය. ශාසනය වෙනුවෙන් කරන ලද මහා පරිමාණ පරිත්‍යාග පිළිබඳ සඳහන් වන මෙතෙක් හමු වී ඇති පැරණිතම සෙල්ලිපියද මෙය වේ.
අනුරාධපුර රාජධානි සමයේ මුල් අවධියෙහි දිවයිනේ නැඟෙනහිර ප්‍රදේශය – එනම්: දිඹුලාගල කලාපය – සම්බන්ධ තොරතුරු රාශියක් මෙයින් අනාවරණය වෙයි. මුල් අනුරාධපුර යුගයේ දිවයින උප රාජධානි හෝ පරිපාලන ඒකක කිහිපයක් වශයෙන් රාජකීය පවුල්වල සාමාජිකයන් කිහිප දෙනකු විසින් පාලනය කර ඇති බව අභිලේඛන සාක්ෂ්‍යවලින් හෙළි වේ. මේ සෙල්ලිපියේ 5 වැනි පේළියද ඊට අදාළ සාධක සපයයි. ‘දේව මූසික කර්ණිකා’ නම් ප්‍රදේශයක් ඇතුළත් කලාපයක් පාලනය කළ ‘රජ ගමණි අසලි’ හා ඔහුගේ පුත් ‘ශිව’ නම් කුමරුද එකී ශිවගේ පුත් ‘ශුරතිශ’ නම් කුමරකුද ගැන එහි සඳහන් වේ.
මේ අසලි, ශිව හා ශුරතිශ යන නම් මහාවංශයේ ඇති, දේවානම්පිය තිස්සගේ බාල සොහොයුරන් තිදෙනාගේ නම් හා සමාන වුවද, ඔවුන් තිදෙනාගේ ඥාතිත්වය මීට ඉඳුරාම වෙනස්ය. මහාවංශයේ දැක්වෙන්නේ අනුරාධපුරය පාලනය කළ ප්‍රධාන ධාරාවේ රාජකීය සාමාජිකයන්ට සම්බන්ධ තොරතුරු බව සැලකෙන අතර, මේ ලේඛනයේ දැක්වෙනුයේ ඒ ප්‍රධාන ධාරාවට වෙනස් පෙළපතක් බව කල්පනා කළ හැකිය. අනෙකුත් අභිලේඛන සාක්ෂ්‍ය හා සසඳන විට මේ නම් දිවයිනේ දකුණුදිග ප්‍රදේශ පාලනය කළ කතරගම දසබෑ පරපුරට සම්බන්ධ බව හඳුනාගත හැකිය. වංශකථා කතුවරයා කතරගම පරපුරේ සාමාජිකයන්ද දේවානම්පිය තිස්සගේ සහෝදරයන් ලෙස දක්වමින්, අඛණ්ඩ රජ පෙළපතක් පැවති ලෙසට දිවයිනේ ඉතිහාසය නිර්මාණය කිරීමට යොමු වූ බවද පෙන්වා දිය හැකි ය.
ඉහත සඳහන් කළ රාජකීයයන් තිදෙනාගේ නම්වලට අමතරව, ‘තිශ’ යන එකම පුද්ගල නාමය සහිත රාජකීයයෝ දෙදෙනෙක්ද 5, 6 යන පේළිවලින් හමු වෙති. ‘තිශ’ යන නාමය සඳහන් වන පළමු තැන එය දැක්වෙන්නේ සිංහාසනාරූඪ රජකු ලෙස නොව ‘අය’ හෙවත් කුමාරයකු වශයෙනි. දෙවැනි තැන ඒ නම යෙදෙනුයේ සිංහාසනාරූඪ ‘මහරජ’ කෙනකු සඳහාය. වෙනත් ශිලාලේඛන හා ඓතිහාසික සාධක ඉවහල් කොටගනිමින් සිංහාසනාරූඪ රජකු නොවූ ‘තිශ’ කාවන්තිස්ස ලෙස ගත හැකිය. ඔහු දුට්ඨගාමිණි රජුගේ හා ඔහුගේ සහෝදර සද්ධාතිස්සගේ පියාය. ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේදී දිවයිනේ නැඟෙනහිර දෙසින් පිහිටුවන ලද බෞද්ධ ආයතනවල අනුග්‍රාහකයා ලෙස කාවන්තිස්ස සඳහන් වේ. ක්‍රිස්තු පූර්ව යුගයේ මහාරාජ පදවියට පත් වූ එකම සිංහාසනාරූඪ රජ සද්ධාතිස්ස (ක්‍රි.පූ. 137 – 119) ය. පුරාක්ෂරරූපීය ලක්ෂණ අනුව ගත් කල මේ අභිලේඛනයද ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් සේ සැලකිය හැකිය. මේ අනුව, ලිපියේ අන්තර්ගතය හා අක්ෂරරූප ලක්ෂණ යන සාධක දෙවර්ගයම ගත් කල, මේ අභිලේඛනය සද්ධාතිස්ස රජ සමයේ හෝ තදාසන්නයේ පිහිටුවන ලද බවට නිගමනය කිරීම අපහසු නැත.
මේ ලිපියෙන් අනාවරණය වන වැදගත් තොරතුරක් වන්නේ එකල පැවති, බැංකුවලට සමාන කළ හැකි මූල්‍යායතනවල ක්‍රියාකාරිත්වයයි. ‘මුලතන’, ‘දෙවතන’ හා ‘බදන නම අරිහතන’ වශයෙන් හඳුන්වා ඇති එවැනි ආයතන තුනක් ගැන මෙහි සඳහන් වී තිබේ. මෙහි ‘අතන’ යනු ආස්ථාන එනම් වෙළෙඳ ආයතනය හෝ මූල්‍යායතනය හෝ යන අරුත් දෙයි. දේවනම් වෙළෙඳ ආයතනය ‘දරතිස’ නමැත්තකු විසින් (නගරයෙන්) උතුරු දිශාවෙහි පිහිටුවන ලද්දක් බව ද ලිපියෙහි සඳහන්ව ඇත.
ආදි බ්‍රාහ්මී අකුරින් ලියවුණු සෙසු ලිපි මෙන්ම මේ ලිපියද ආගමික ආයතන සඳහා කරන ලද ප්‍රදාන හා ඉදි කිරීම් පිළිබඳ වාර්තා කරන්නකි. මේ කලාපයෙහි අදින් වසර 2,200කට පෙර බුදු දහම හා තදනුබද්ධ සංස්ථා පැතිර තිබූ බව ඉතා පැහැදිලිය. විශේෂයෙන්ම මෙහි භික්ෂු සාසනයේ උන්නතිය වෙනුවෙන් කරන ලද විවිධ පරිත්‍යාග ගැන සඳහන් ය. එසේම මෙහි විවිධ වෘත්තිකයන් ගැන හා සමාජ කොටස් ගැන සඳහන් වී තිබේ. අශ්වාරෝහකයන් (අශරියො), ආචාර්යවරුන් (අචරිය), චිත්‍ර ශිල්පීන් (ලපණෙ), කාර්මිකයන් (කරමි), දාසයන් (දශ), බ්‍රාහ්මණයන් (බමණ), මැණික් කර්මාන්තකරුවන් (මණිකර), යකඩ කර්මාන්තකරුවන් (කමර) ආදි යෙදුම් ඊට නිදසුන්ය.
මේ ලිපියේ 5 වැනි පෙළෙහි ‘රඣ ගමණි අශලි පුත අය ශිවහ පුත අය ශුරතිශ…’ යනුවෙන් සඳහන් වන රජ පරම්පරාව පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීම අතිශය වැදගත් වෙයි. නිශ්චිත වශයෙන්ම මොවුන් හඳුනාගැනීමට ඍජු සාහිත්‍ය මූලාශ්‍රය සාක්ෂ්‍ය හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය නැති අතර, ලිපියේ අන්තර්ගතයෙන්ද ඊට ප්‍රබල සහයක් නොලැබේ. එසේ වුවත් ලිපියෙහි ගමණි අසේලගේ පුත්‍රයා අය ශිව වශයෙනුත්, ඔහුගේ පුත්‍රයා අය ශූරතිස්ස වශයෙනුත් සඳහන්ව තිබීම මොවුන් හඳුනාගැනීමට යම් රුකුලක් සපයයි.
පළමුව, මෙහි සඳහන් ‘ගමණි අශලි’ යනු කවරෙක්දැයි හඳුනාගැනීමේදී වංශකථා සාක්ෂ්‍ය යම් මට්ටමකට පාදක කරගත හැකිය. ‘අශලි’ හෙවත් ‘අසේල’ නමින් හැඳින්වෙන පුද්ගල චරිත දෙකක් වංශකථාවේ සඳහන් වේ. දීපවංශය වාර්තා කරන පරිදි පණ්ඩුවාසදේවගේ පුතුන් දස දෙනා අතර අසේල නමින් පුත්‍රයකු සිට ඇත. එනමුත් ලිපියේ අන්තර්ගත තොරතුරුවලට අනුව පණ්ඩුවාසදේවගේ පුත්‍රයා මෙහි සඳහන් අසේල විය නොහැකිය. මින් පසුව වංශකථාවල එන තොරතුරුවලට අනුව මුටශිව රජුගේ පුතුන් දස දෙනා අතරද අසේල නමින් පුතකු සිට ඇත. ඔහු දේවානම්පිය තිස්ස රජුගේ බාල සහෝදරයාද වේ. වංශකථාවට අනුව දේවානම්පිය තිස්සගෙන් පසු ඔහුගේ සහෝදරවරුන් වූ උත්තිය, මහාසිව, සූරතිස්ස හා බාල සොහොයුරු අසේල යන අය රජකමට පත්ව ඇත. මේ අසේල දස අවුරුද්දක් රජකම් කොට, එළාර රජුගේ ග්‍රහණයට පත් වූ බව මහාවංශයට අනුව පැහැදිලිය. ඒ අනුව දිඹුලාගල ලිපියේ සඳහන් ‘රජ ගමණි අශලි’ යනු දේවානම්පිය තිස්ස රජුගේ සහෝදර අසේල රජු බවට යම් උපකල්පනයක් කළ හැකි වුවත්, මතු වන ගැටලුව නම් ඔවුන් සහෝදරයන් වීමත්, සෙල්ලිපියෙහි පිය පුතු පරම්පරාවක් වශයෙන් – එනම්: අසේලගේ පුත්‍ර අය ශිව, ඔහුගේ පුත්‍ර අය ශූරතිස්ස ලෙස – දක්වා තිබීමත්ය. ඒ අනුව අසේලගේ මුනුපුරකු ලෙස සූරතිස්ස දැක්විය හැකි බැවින් වංශකථාවේ සඳහන් සූරතිස්ස හා මේ ලිපියේ දැක්වෙන ශුරතිශ අතර සබඳතාවක් නොපෙනේ.
ලිපියේ සඳහන් ගමණි අශලි හෙවත් අසේල යනු කවරෙක්දැයි විමර්ශනය කිරීමේදී අභිලේඛන මූලාශ්‍රයවලින් ලැබෙන සාක්ෂ්‍ය ඉතා වැදගත්ය. මිහින්තලයෙන් හමු වී ඇති ලිපියක ‘ගමණි ධමරඣහ පුතශ අය අශලිය ලෙණෙ’ – එනම්: ගාමිණී ධම්මරාජගේ පුත්‍ර අසලි කුමරාගේ ලෙන – යනුවෙන් සඳහන් වේ. ඊට අනුව දිඹුලාගල ලිපියේ සඳහන් රජ ගමණි අශලි හා මිහින්තලා ලිපියේ සඳහන් අය අශලිය යන දෙදෙනාම එකම අයෙකු ලෙස සැලකීමට පුළුවන. මෙහිදී, මිහින්තලා ලිපියේ සඳහන් අය අශලියගේ පියා වූ ගමිණි ධමරඣ යනු කවරෙක්දැයි සෙවීම වැදගත් ය. බෝවත්තේගලින් හමු වූ ලෙන් ලිපියක ධමරජ කෙනකු ගැන සඳහන් වේ. මේ ලිපියේ පෙනෙන ආකාරයට ධම්මරාජ යනු ගමණි නම් තැනැත්තෙකුගේ පුතුන් දස දෙනකු අතුරින් – එනම්: දස බෑයන්ගෙන් – ජ්‍යෙෂ්ඨයා වූ ශිවගේ පුත්‍රයා වන්නේය. ඒ ධමරඣගේ පුත්‍රයා මහතිශ අය වන බව ඒ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය. මේ පරපුරෙහිම තවත් ව්‍යාප්තියක් කොටාදැමූහෙල ලිපියෙන් අනාවරණය වෙයි. ඒ ලිපියට අනුව ධම්මරාජගේ පුත්‍ර මහතිස්ස කුමාරයාගේ දුව වූ ශවෙර කුමරිය ගැනත්, ඇය අභයගේ පුත්‍ර තිස්ස කුමාරයාගේ භාර්යාව බවත් සඳහන්ව ඇත. මෙහි සඳහන් ධර්මරාජගේ පුත්‍රයා කැලණිතිස්ස බවත්, ශවෙර කුමරිය යනු විහාරමහා දේවිය ලෙසත්, ඇයගේ ස්වාමියා කාවන්තිස්ස හා ඔහුගේ පියා ගෝඨාභය ලෙසත් ආචාර්ය පරණවිතාන හඳුනාගෙන ඇත.
සෙල්ලිපියේ සඳහන් වන අයුරු රජ ගමණි අශලිගේ පුත්‍රයා ‘අය ශිව’ වන්නේය. ‘අය ශිව හා ‘රඣ ගමණි අශලි අතර සබඳතාව පෙන්විය හැකි ඍජු වංශකථා හෝ අභිලේඛන සාක්ෂ්‍ය කිසිවක් තවම හමු වී නැත. ධාතුවංශයට අනුව ‘අය ශිව’ යනු සේරුනුවර පාලකයා ලෙස සඳහන් වන සිව රජු ලෙස උපකල්පනය කළ හැකිය. ධාතුවංශයේ දැක්වෙන විස්තරවලට අනුව දිඹුලාගලද සේරු රාජ්‍යයට අයත් ප්‍රදේශයකි. සේරුවිලින් තඹලගමුව පාරේ පිහිටි උල්පත්වැව අප්‍රකාශිත පුවරු ලිපියක ‘අය ශිව’ නම් පාලකයකු ගැන සඳහන් වේ. එමෙන්ම දිඹුලාගලින් කිලෝමීටර පහළොවක් පමණ ඈතින් පිහිටි මුතුගල නම් ස්ථානයෙන් හමු වූ ලිපියකද ‘අය ශිව’ නම් පුද්ගලයකු සංඝයාට ලෙනක් පූජා කිරීමක් ගැන සඳහන් වේ. මේ ලිපිවල සඳහන් ‘අය ශිව’ නම් පාලකයා හා දිඹුලාගල ලිපියේ සඳහන් ‘අය ශිව’ යනු ධාතුවංශයේ සඳහන් සේරුනුවර පාලකයා වීමට බෙහෙවින් ඉඩ කඩ ඇත.
අනතුරුව ලිපියේ සඳහන් වන අය ශිවගේ පුත්‍රයා වන ‘අය ශුරතිශ’ ද දස භාතික පරම්පරාවටම අයත් පාලකයෙක් විය යුතුය. ඊට අනුව මහාවංශයේ සඳහන් දේවානම්පිය තිස්ස රජුගේ සොහොයුරු ලෙස වංශකථාවේ සඳහන් සූරතිස්ස රජු හා මේ ශුරතිශ අතර සබඳතාවක් නැති බව පෙර විස්තර විය. තවද, අය ශිවගෙන් පසුව සේරුනුවර පාලකයා ලෙස අය ශුරතිශ කටයුතු කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.
දිඹුලාගල සෙල්ලිපියේ අය ශුරතිශගෙන් පසුවද එම රජ පරම්පරාව තව දුරටත් දක්වා ඇතත්, ඒ තොරතුරු සම්පූර්ණයෙන් මැකීගොස් ඇති බැවින් මින් ඉදිරියට රජ පරම්පරාව ගැන යමක් කිව නොහැකිය. මේ දක්වා විමර්ශනයට ලක් කළ කරුණුවලට අනුව පෙනී යන්නේ ලිපියේ සඳහන් රජ ගමණි අශලි නම් රජ පරම්පරාව රුහුණේ දසභාතික පරපුරෙන් පැවත එන්නන් බව සැලකීමට වැඩි ඉඩකඩක් ඇති බවයි.
ලිපියෙහි 5 වැනි අක්‍ෂර පෙළෙහි සඳහන්ව ඇති ‘අය තිශ’ සහ 6 වැනි අක්‍ෂර පෙළෙහි ආරම්භයෙහි සඳහන්ව ඇති ‘මහරජ තිශ’ යනු කවුරුන්දැයි සොයා බැලීම ලිපිය ලියූ කාලය හා කර්තෘත්වය සොයාගැනීමට බෙහෙවින්ම ඉවහල් වන්නකි. පළමුව අය තිශ යනු කවුරුන්දැයි සොයා බැලීම වටී. පෙර විස්තර කළ රජවරුන්ගේ කාලය හා සසඳන කල මෙකල දේශපාලන ක්ෂේත්‍රයේ කැපීපෙනෙන තිශ හෙවත් තිස්ස නාමය ගත් පාලකයෝ තුන් දෙනෙක් විද්‍යමාන වෙති. එක් අයකු කාවන්තිස්ස වන අතර, දෙවැන්නා ඔහු පුත් සද්ධාතිස්සයද තුන්වැන්නා සද්ධාතිස්ස පුත් ලජ්ජිතිස්සද වෙති. කොටාදැමූහෙල ලිපියේ කාවන්තිස්ස හඳුන්වා ඇත්තේ ‘තිශ අය’ යනුවෙනි. මලයඩිකන්ද හා සමන්ගල ලිපිවලද ‘අය තිශ’ වශයෙන් කාවන්තිස්ස රජු හඳුන්වා ඇති බව එල්ලාවල මේධානන්ද හිමියෝ සඳහන් කරති. කාවන්තිස්ස ප්‍රදේශීය පාලකයකු වශයෙන් සිටියා විනා, රාජ්‍යත්වයට පත් නොවූ නිසා සමකාලීන ලිපිවල කාවන්තිස් ‘තිශ අය’ යනුවෙන් හඳුන්වා ඇත. එබැවින් පෙර විස්තර කළ රජවරුන්ගේ කාලය, අන්තර්ගතය, අක්ෂර ලක්ෂණ සමඟ සසඳන කල්හි, මේ ලිපියෙහි සඳහන් ‘අය තිශ’ යනු ‘කාවන්තිස්ස’ ලෙස සැකයකින් තොරව හඳුනාගත හැකිය. ඔහු ආරාමයට දන්වැට සකස් කළ බව දැක්වේ.
මින් අනතුරුව දිඹුලාගල සෙල්ලිපියෙහි සඳහන් ‘මහරඣ තිශ’ යනු හඳුනාගැනීම සුදුසුය. මින් අදහස් කරන්නේ කාවන්තිස්සගේ පුත්‍රයා වූ සද්ධාතිස්ස ලෙස සැලකීම යුක්තිසහගතය. මේ කරුණෙහි සත්‍යතාව වඩා තහවුරු වන්නේ අංක 428 දරන රජගල ලෙන්ලිපියෙනි. එහි ‘දෙවනපිය මහරඣගමිණි තිශහ පුත ලඣක රජහ’ යනුවෙන් සඳහන්ව ඇත. ලජ්ජිතිස්ස රජුගේ පියා සද්ධාතිස්ස වන හෙයින් ද ‘මහරජ තිශ’ යනු ‘සද්ධාතිස්ස’ (ක්‍රි.ව. 137-119) ලෙස යෝජනා කළ හැකිය. ඔහු (ආරාමයට) බිම් කොටස් 100ක් පරිත්‍යාග කළ බව ලිපියෙහි සඳහන්ය.
ලිපියේ අවසානයට හමු වන රාජකීය නාමය ‘මහරජ තිශ’ වන හෙයින්, දිඹුලාගල නාමල්පොකුණ සෙල්ලිපිය සද්ධාතිස්ස රාජ්‍ය සමයෙහි – එනම් ක්‍රි.පූ. 2 වැනි සියවසේදී – සටහන් කරන ලද්දක් බවට සැකයක් නැත.
බුද්ධි නාගොඩවිතාන
සහකාර අධ්‍යක්ෂ
(අභිලේඛන හා නාණකවිද්‍යා)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව