හෙල්මලී ගුණතිලක
පුස්තකාලයාධිපතිනි
ප්‍රෙස්බිටීරියන් බාලිකා පාසල
මෙල්බර්න්, ඔස්ට්‍රේලියාව
කවියක් යනු සියුම් ලෙස මිනිස් සන්තානය ස්පර්ශ කළ හැකි බලගතු මායා යෂ්ටියක් බැව් කව් රස විඳින්නෝ දනිති. මේවා අතුරින් පරිසරයෙන් උකහා ගත් සෞන්දර්යයද, නැණවත්කම්ද එකට කැටි කර ගෙන සරල භාෂාවෙන් ලියවුණු කවි අප ඇස ගැටෙන්නේ කලාතුරකිනි. මේරි ඔලිවර්ගේ ‘ඩිවෝශන්ස්’ කවි එකතුව මට නම් මෙවැනි රස පිරි ආකරයක් හා සමානය.
වර්ෂ 1935දී අමෙරිකාවේ ක්ලේව්ලන්ඩ් ප්‍රදේශයේ උපන් මේරි ඔලිවර් කාව්‍යකරණයට පිවිස ඇත්තේ දාහතර වැනි වියේදීය. කටුක ළමාවියක් ගෙවා ඇති ඈ කවි ලිවීමට පෙලඹී ඇත්තේ සිය තනිකම දුරු කර ගැනීම සඳහාය. යොවුන් වයසේදී මෙන්ම පසුකාලීනවද මේරි ඔලිවර් තම කවි සඳහා නිමිති සපයා ගෙන ඇත්තේ අවට පරිසරයෙනි. තම නිවෙස අසල ඇවිදින්න යද්දී ඇස ගැටුණු ගහකොළ, පක්ෂීන්, පොකුණු සහ ඒවායේ නිවසන ජලජ සතුන්, තෘණ මල් ආදිය ඇයගේ හැම කවියකම පාහේ හිස ඔසවනු දක්නට හැකිය.
නිවෙසින් නික්ම
විවිධ දෑ බලන්න යමි
දකිමි,
දිලිසෙන හරිත සමක් ඇති ගෙම්බිය
ලිහිසි වේල් පටක් වැනි ඇයගේ බිත්තර
රන් පැහැති දාර ඇති දෑස
ඉහළට මතු වූ නෙලුම් මල් සහිත විල
තැන තැන රෝස පැහැ මල් ඉහිරුණු
එහි උණුසුම් ඉවුරු
සහ දීර්ඝ, නිශ්චල හවස් වරුව
බිමට වට සුදු වලාකුළක් වැනි
සුදු කෙකින්න
සෙමෙන් එක් අඩියක් තබා
මඳක් නැවතී
අනෙක තබන්නීය
බලා සිටිමි
නිසල දිය මත
ඈ
තමන්ගේම මෘදු පා සටහන් කවිය
ලියන අයුරු
(‘සමර් පොයම්’)
‘ඩිවෝශන්ස්’ කවි එකතුව දශක පහක් තිස්සේ මේරි ඔලිවර් ලියූ පැදි අතුරින් ඈ විසින්ම තෝරා ගත් කවිවලින් සමන්විතය. මෙහි කවි දෙසියයකට වැඩි ප්‍රමාණයක් අඩංගු වන අතර, ඊට ඈ 1963දී ලියූ කවි මෙන්ම 2015දී කළ නිර්මාණද ඇතුළත්ය. එකම කිවිඳියක මේ තරම් කාල පරාසයකදී කළ නිර්මාණ එකතුවක් රස විඳිද්දී පාඨකයා ඇයගේ ජීවන දෘෂ්ටියේ භක්තිවන්තයකු බවට පත් වීම නිරායාසයෙන්ම සිදු වන්නකි. මේරි ඔලිවර් සියලු මනුෂ්‍ය හැඟීම් පරිසරයේ කෝණයෙන් දකින්නියකි. ඇයට අනුව නම් මිනිසුන් සහ සතුන් වෙන් කර අඳින ඉර අහසත් පොළොවත් වෙන් කරන කඩයිම මෙන් අස්පෘශ්‍ය රේඛාවකි.
ඒ රතු කුරුල්ලා
වෙන කිසිවකුටවත් නොහැකි වූ ලෙස
තම පැහැයෙන් හාත්පස ගිනි ලමින්
මුළු සීත කාලය පුරා පැමිණීම ගැන
මම කෘතඥ වෙමි
(‘රෙඩ් බර්ඩ්’ කවියේ කොටසක්)
මම නිරතුරුවම වද වීමි
ගෙවත්ත සරුව වැඩේවිද?
ගංගා නිවැරදි දිශාවට ගලාවිද?
පෘථිවිය ඊට උගන්වා ඇති ක්‍රමයට භ්‍රමණය වේද?
එසේ නොවුණොත් මා එය නිවැරදි කරන්නේ කෙසේද?
අන්තිමේදී මේ වද වීම් කිසිවකින්
කිසිම පලක් නැති බව වැටහුණු නිසා
මම එය අත්හළෙමි
ඉනික්බිති මේ මහලු සිරුර ගෙන
උදෑසන වෙත ගොස්
ගී ගැයුවෙමි
(‘අයි වොරීඩ්’ කවියේ කොටසක්)
ඩිවෝශන්ස් කෘතියේ කවි අතර තනිකම, ප්‍රතික්ෂේප වීම සහ මරණය යන තේමා ඔස්සේ කවි ද තිබුණත් එහි පොදු තේමාව ලෙස ඈ ජීවිතය කෙරෙහි දක්වන විස්මයත්, කෘතඥ බවත් පැහැදිලිය. ඉතා සරල දේ තුළින් දෙවියන් දකින ඈ ඒ දෘෂ්ටිය පාඨකයා තුළද ඇති කරන්නට වැර දරයි.
දෙවියන්ගෙන් අනන්‍යතා සහතික සොයමින්
මිනිසුන් වෙහෙසෙන්නේ ඇයි?
අඳුර බිඳී අරුණලු නැඟීමම ඊට ප්‍රමාණවත් නොවේද?
(‘අයි වේක් ක්ලෝස් ටු මෝනින්’ කවියේ කොටසක්)
අවට පරිසරයේ සෙනෙහෙවත් බවත්, කවියේ සෞන්දර්යයත් බොහෝ අවස්ථාවලදී තමාගේ දිවි බේරා දුන් බව ඈ තම නිර්මාණ ගැන කළ සාකච්ඡාවකදී පවසා තිබේ. ජීවිතයේ නේකවිධ කඩාවැටීම් හමුවේ නොවැටී ඉන්නට ඈ පන්නරය ලබා ඇත්තේ මේ අරමුණු දෙකෙනි.
ශෝකය රහසින් නුඹේ පසුපස එන විට
තණ පිටිය වෙත යෑම ගැන
කල්පනා කර බලන්න
මින් පෙර කිසි දිනක නොදුටු දෙයක් දකින්න
ඔබේ මහපටැඟිල්ලක් තරම් වූ
හිම පළඟැටියකුගේ
ටැම්බරීන් නාදයක් වැනි හඬ අසන්න
ගිම්හාන වැස්සේ සරන
හමිංබර්ඩ් කුරුල්ලකු
තම තටුවලින් දිය බිඳු විසුරුවන යුරු බලන්න
(‘ද ලීෆ් ඇන්ඩ් ද ක්ලවුඩ්’ කවියේ කොටසක්)
1984දී ‘පුලිට්සර්’ සම්මානයත්, 1992දී ‘නැෂනල් බුක් අවෝඩ්’ සම්මානයත් ඇතුළු ඇගයීම් රාශියක් දිනා ඇති මේරි ඔලිවර්, අමෙරිකාවේ වැඩිම කවි පොත් අලෙවියක් ඇති කිවිඳිය ලෙස නම් දරා සිටින්නීය. එරට අද්‍යතන සාහිත්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන ලකුණක් ඉතිරි කළ කිවිඳිය 2019 වසරේදී ජීවිතයෙන් සමු ගත්තද, පරිසරය හා ඇය සතුව පැවති ගැඹුරු බැඳීමත්, පරම්පරා කිහිපයක පුළුල් රසික පිරිසකගේ හද බැඳ ගත් සරල කාව්‍ය රටාවත් තවත් බොහෝ කාලයක් පාඨක සිත් තුළ නොනැසී පවතිනු ඇත.