පසුගිය දින සටහනෙන් මා කතා කළේ කසක්ස්තානය හා ආසන්න මධ්‍යම ආසියාවෙන් තුර්කියට ගෙනා ටියුලිප් මල් ගැනය. ඒ වගේම කස්ක්ස්තානයෙන් තුර්කියට ගෙනා තවත් ටියුලිප් මලක් ගැන බොහොම ආදරණීය කතාවක් කියන්නට තිබේ.

ප්‍රියාපුස් බළකොටුවේ නටබුන්
මා කලක් කසක්ස්තානයේ ඛනිජතෙල් ආශ්‍රිත වැඩබිමක සේවය කළ බව පෙර දවසක ලීවෙමි. මේ වැඩබිමේ ඉංජිනේරු ඉදිකිරීම් භාර සමාගම තුර්කියට අයත් වූවක් නිසා තුර්කි ආහාරපාන හා භාෂාව ගැන මට තරමක දැනුමක් කල් ඇතිව ලැබිණි. තුර්කි බස හා කසක්ස්තාන බස එකම ටර්කික් මූලයකින් පැවත එන නිසා ඒ දෙරට මිනිසුන්ට අදහස් හුවමාරු කරගැනීම පහසු බවත් ලීවෙමි. මේ පහසු බව ඔස්සේ ප්‍රේම සම්බන්ධතා ඇති කරගත් තුර්කියෙන් ආ ‘එරන්’ හා කසාක්ස්තානීය ‘අයිගුල්’ අපට එකල සිටි හොඳම මිතුරු යුවළකි. එරන් එකී ව්‍යාපෘතියේ තත්ත්ව පාලන ඉංජිනේරුවා විය. අයිගුල් සේවය කළේ ලියකියවිලි පාලකවරිය ලෙසයි. ඒ, 2007 අවුරුද්දයි. එහි සේවය අවසන් කොට වසර 18ක් පිරී තිබුණත්, මේ මුළු කාලයටම යළි මුණගැසී නොතිබුණත්, අපේ මිත්‍ර සම්බන්ධතා බිඳකුදු අඩු වී තිබුණේ නැත.
මේ යුවළ දැන් පදිංචිව සිටින්නේ පැරණි ග්‍රීක පුරාවෘත්තවල නිරතුරු සටහන් වන ‘ට්‍රෝයි’ හා ‘චනක්කලේ’ නගර අයත් දිස්ත්‍රික්කයේ ‘බිගා’ නගරාසන්න ‘කරබිගා’ නම් උප නගරයකය. එය ‘මාමුරා’ මුහුද අද්දර පිහිටි ඉතා කුඩා ධීවර නගරයකි. මේ නගරාසන්නයේ පිහිටි තාප බලාගාරය ඉදි කරද්දී එහි උපදේශකයකු ලෙස සේවයට ආ මා මිතුරා බලාගාරය ඉදි වීමෙන් පසු එහිම මෙහෙයුම් ඉංජිනේරුවකු ලෙස සේවයට එකතු විය. කසක්ස්තානයේ සිට ඔහු සමඟ ආ පිය බිරිය හා පුතණුවෝ එක්ව ඒ කුඩා ධීවර නගරයේ නිවහනක් තනාගෙන පදිංචි වී සිටිති. ලෝකය පුරා බොහෝ නගරවල රස්සාව කර තිබුණු මා මිතුරා අවසාන නවාතැන්පොළ ලෙස තෝරාගෙන තිබුණේ මේ කුඩා කරබිගා නගරයයි.
මා ඉස්තාන්බුල් නුවරට ආ දිනයේ පටන් ඔවුන් බලන්න එන්නයි නිතර ඇරියුම් ලැබුණද, එරන් හා අයිගුල් දැක බලා ගන්නට අපටද මහත් වුවමනාවක් තිබුණද ඒ හමුව දිනෙන් දින ප්‍රමාද විය. අවසානයේ පසුගියදා අපට ඒ සඳහා වාසනාව ලැබුණේ දීර්ඝ සති අන්ත නිවාඩුවක් ලැබුණ නිසාය. අප ගමනාන්තය ලෙස තෝරාගත්තේ බිගා නගරයයි. ඉස්තාන්බුල් සිට එරන්ලාගේ ගමට යන බස්වල ප්‍රධාන නැවතුම බිගා නගරයයි. අප බිගා නගරයේ සිට රැගෙන යෑමට එරන් හා අයිගුල් පැමිණ සිටියහ.
බිගා යනු කෘෂිකාර්මික පළාතකි. වී, තිරිඟු හා එළවළු වගාව ජයටම කෙරෙන බිගා නගරයේ උස් කඳු මුදුනක පිහිටි අවන්හලකට ගොස් අපි ඈතින් ඈතට විහිදෙන වෙල් යායවල් දෙස බලාගෙන අවුරුදු 18ක ආගිය තොරතුරු කතාබහ කළෙමු. ඉන් පසු ඉතා සුන්දර ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කරබිගා හෙවත් එරන්ලාගේ ගමට යන්නට පිටත් වුණෙමු.

බිගා නගරාසන්න කැනෝලා වගාවක්
එය ඇත්තෙන්ම ප්‍රියමනාප ගම්බද නගරයක් විය. කුඩා නගරයේ ධීවර ජැටිය වෙත ගිය එරන් අපට කිවුවේ ගිය අවුරුද්ද වන තුරු ඔවුන්ට අයත් කුඩා බෝට්ටුවක් එහි තිබුණු බවත්, එය නඩත්තු කරගැනීමේ අපහසුව නිසා විකුණා දැමූ බවත්ය.
“අපි ඉස්සර නිවාඩු දවස්වල මේ බෝට්ටුවේ ගිහින් මාළු අල්ලාගෙන එනවා. මාළු අල්ලන එක මෙහෙ ජනප්‍රිය විනෝදාංශයක්.” එහෙම කිවුවේ එරන්ගේ බිරිය අයිගුල්ය.
“එරන්, මා එක්ක වැඩ කරන ගොඩක් රටවල යාළුවන්ට පැන්ෂන් ගියාම ඉන්නේ මොන රටේද කියල හරි තීරණයක් නෑ. අන්තර්ජාතික ව්‍යාපෘතිවල ඉන්න ගොඩක් දෙනෙකුට එහෙමයි. එ්ත් ඔයාලා දැන්ම ඒ ගැන තීරණයක් අරන්. ඒ තැන විදිහට කරබිගා නගරය තෝරාගන්න හේතුව මොකක්ද?”
මා ඇසූ පැනයට එරන් හා අයිගුල් යුවළ එකාවන්ව උත්තර දුන්නේ “මේ නගරය හරිම ප්‍රියමනාපයි, නිස්කලංකයි, මිනිස්සුත් හරි හොඳයි” යනුවෙනි.
“ඔයා විශ්වාස කරන්න. මගේ වාහනේ දොර අගුළක් කැඩිලා. දැන් අවුරුද්දකින් විතර හදාගන්න වුවමනාවක්වත් වෙලාවක්වත් තිබ්බේ නෑ. නගරේ වැඩකට ගියාම හරි කෑම කන්න ගියාම වගේ ඕනි තරම් අවස්ථාවල වාහනේ පාරේ අයිනේ නවත්වලා තියෙනවා. ඇතුළේ වටිනා බඩු එහෙම්මම තියෙද්දී මට කවදාවත් හිතිලා නෑ මේවා හොරෙන් ගනියි කියල. එහෙම වුණෙත් නෑ. ඉස්සරහට වෙන එකකුත් නෑ. ඒ සහතිකේ තියෙනවා මේ පළාත ගැන.”
දර්ශනීය කුඩා ජැටිය හා වෙරළ තීරය නරඹමින් සිටි අපි නගරයට පේනමානයේ වූ සුවිසල් බළකොටුවක නටබුන් බලන්න ගියෙමු. එය ක්‍රිස්තු පූර්ව 10 වැනි සියවසටවත් පෙර ප්‍රියාපුස් නම් පාලකයකු විසින් ඉදි කර ඇති බවට විශ්වාස කෙරේ. ප්‍රියාපුස් යනු ග්‍රීක මිථ්‍යා කතාවල සඳහන් සරුඵල හා බවබෝගවලට අයත් දෙවියෙකි. මේ බළකොටුවේ නටබුන් ඉතා විශාල ප්‍රදේශයක විසිරී තිබෙන අතර, තැන තැන වැවී තිබූ අනර්ත්‍රිකා පඳුරු ග්‍රීක කතාන්දරවලට සම්බන්ධය. දුරාතීතයේ එහි දණ්ඩ වේළා ඔලිව් තෙලේ පොඟවා පන්දම් තනාගත් බව අසන්නට ලැබිණි.
“දැන් මම ඔයාලව එක්කරගෙන යන්නම් මාළු රෙස්ටෝරන්ට් එකකට. පසුගිය අවුරුදු දහය පුරාම අපි සතියකට වරක් වගේ එහෙ යනවා. නිතරම අලුත් අලුත් වෙනස් කෑම වර්ග එහෙ තියෙනවා. කිසිම දවසක රසේ හරි තත්ත්වයේ අඩුවක් වෙලා නෑ.”

වට්ටක්කා අතුරුපස
ඉන් පසු අප මිතුරු යුවළ සමඟ එකී මුහුදු ආශ්‍රිත අාහාර අඩංගු අවන්හලට ගොඩ වුණෙමි. එය ඉපැරණි කව්බෝයි චිත්‍රපටයක කුඩා නගරයක පිහිටි දැවමුවා ගොඩනැඟිල්ලක් වැන්න. මේ අවන්හලට ඇතුළු වන තැනම මාළු, ඉස්සන් හා පොකිරිස්සන් ඇසිරූ වීදුරු කුටියක් විය. ඉන් පසු විවිධ මාළු වර්ගවල නම් හා කෑම වර්ග සහිත පින්තූරද මාළු මිශ්‍ර ආහාර ගැනීමෙන් පසු අත සෝදාගැනීමට ගන්නා සුවඳ විලවුන් අඩංගු විශාල කැබිනෙට්ටුවක්ද පසු කරගෙන අපි උඩුමහලේ පිහිටි භෝජනාගාරයට ගියෙමු.
එය ඉතා මනෝරම්‍ය ස්ථානයක් විය. පරණ තාලේ ලී බිත්ති, පුටු මේස අතරේ විශාල වීදුරු ජනේලයකින් ඈත මාමුරා මුහුදත්, අලංකාර ප්‍රදීපාගාරයත් පෙනේ. ලී බිත්තියේ එල්ලා තිබූ චිත්‍රයක් දෙස සුරත දිගු කළ අප මිතුරිය මෙසේ කීවාය:
“අපි ඉස්සෙල්ලම මෙහෙ ආපු දවසේ මම දැක්කා ඔය බිත්තියේ මොකක් හරි පාළුවක් තියෙනවා කියලා. ඉතින් මම පස්සේ දවසක මෙතන ඉද්දි මම දැක්ක දර්ශනය චිත්‍රයකට ඇඳලා ඔතනින් එල්ලන්න කියලා දුන්නා. ඒ පින්තූරේ තමයි ඔය තියෙන්නේ…” ඇය හිනැහෙමින් කීවාය.
ලුණු දමා තැම්බූ මාළු, බේක් කළ මාළු, ඉස්සන් හොදි සමඟ පාන් කා අවසාන වෙද්දී අපූරු අතුරුපසක් ලැබිණි. ඒ, සීනි වතුරෙන් තැම්බූ වට්ටක්කා මත යෝගට් ක්‍රීම් තවරා, තැන තැන වොල්නට් කැබලි විසුරුවා තිබූ මේ කලාපයේ ජනප්‍රිය අතුරුපසකි.
එදා කෑම ගන්නා අතරතුර අප මිතුරා මෙසේ කීවේය:
“සමහර ගමනාන්ත තියෙනවා නතර නොවී ඇවිදලා ගොඩක් තැන් බලන්න වෙන. ඒත් සමහර ගමන් තියෙනවා නතර වෙලා නිවී සැනසිල්ලේ ඉන්න වෙන. කරබිගා කියන්නේ ඒ වගේ ගමනාන්තයක්.”