– පැරණි ගැමියාගේ දිවිපැවැත්ම සහ ආහාර රටාව ඉතා සරල එකක්
– තාක්ෂණයත් සමඟ අපේ ආහාර රටාවන් වේගයෙන් වෙනස් වෙලා
මේ වන විට ශ්‍රී ලාංෙක්ය සිංහල සහ හින්දු ජනතාව ඉතා සතුටින් තම ඥාති හිතමිත්‍රාදීන් හා එක්ව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අවසන් කර නැවතත් තම සුපුරුදු දින චර්යාවට යොමු වෙමින් සිටි. පසුගිය දිනවල පැණි රස කෑම බීම මෙන්ම තෙල් සහිත ආහාර භුක්ති විඳි ජනතාව නැවතත් තම ශරීර සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කරමින් සිටිති. ඉතින් මේ මොහොතේ මාගේ වෑයම අතීතයේ ශ්‍රී ලාංකික අපට උරුමව තිබූ සුවිශේෂී සෞඛ්‍යසම්පන්න ආහාර සංස්කෘතිය පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීමටයි.
අතීතයේ ශ්‍රී ලාංෙක්ය ජන සමාජය තුළ පැවතියේ කෘෂිකර්මාන්තය මූලික කරගත් ජීවන රටාවකි. ඒ ඔස්සේ ගොඩනැඟුණු ගැමියාගේ දිවි පැවැත්ම ඉතා සරල එකක් විය. නමුත් පැරණි ගැමියාගේ ආහාර සංස්කෘතිය ඉතා පොහොසත් සෞඛ්‍යසම්පන්න එකක් වූවේය. එදා ගැමියාගේ ආහාර සඳහා අවශ්‍ය සියලුම භෝග සපයා ගත්තේ තමන්ගේම ගෙවත්තෙනි. ගෙවත්තේ එක් පසෙක වම්බටු, පතෝල, වැටකොළු ආදියෙන් සමන්විත පාත්තියකි. තවත් පසෙක දඹල, තක්කාලි, කරවිල ආදියෙන් සමන්විත පාත්තියකි.
ගොටුකොළ, කිරි අඟුණ, තිත්ත අඟුණ, කෝවක්කා, ජපන් බටු ආදී පලා වර්ගවලින් සමන්විත පාත්තියක් තව පසෙක වෙයි. කිරි අල, කුකුලල වැනි අල වර්ගත් තව පසෙක වගා කර ඇත. පොල්පලා, හාතවාරිය, කරපිංචා, වැල්පෙනෙල ආදියද කහ, ඉඟුරු, දෙහි සහ මිරිස් ආදියද පැරණි ගැමි ගෙවත්තේ අනිවාර්යයෙන් දක්නට ලැබිණි. ඒවාගේම කොස් ගසක්, දෙල් ගසක්, පොල් ගසක්, කෙසෙල් පඳුරක් නොමැති ගැමි නිවෙසක් නැති තරම්ය. පැරණි ගෙවත්ත ආහාර භෝග ගබඩාවක් වගේම ඔසු උයනක්ද විය.
එදා තමන්ගේ ආහාර වේලට ගැමියන් බත සපයා ගත්තේ තමන්ගේම කුඹුරෙනි. අන් ව්‍යාංජනයන්ද සපයා ගත්තේ තමන්ගේ හේනේ නැත්නම් ගෙවත්තෙන් නෙළා ගන්නා නැවුම් භෝගවලිනි. ඒ නිසාම සමබල සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් භුක්ති විඳීමට එදා ගැමියාට හැකියාව ලැබුණි. ගැමියා තම වගා කටයුතු සඳහා කිසි ලෙසකින්වත් රසායනික පොහොර භාවිත කළේ නැත. ඔවුන් භාවිත කළේ ගොම, කුකුළු පොහොර සහ වැට මාර වැනි ශාකවල කොළවලින් සකසා ගත් ස්වාභාවික පොහොර පමණකි. එනිසා අද මෙන් එදා ගැමියා භුක්ති විඳි ආහාර වේල ශරීරයට අහිතකර වූයේ නැත.
එදා ගැමියාගේ ආහාර වේල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛනිජ ලවණ සහ ජලය යන පෝෂක කොටස් සියල්ලෙන්ම සමන්විත වූ සමබල ආහාර වේලක් විය. ඒ නිසාම වත්මන් ජනතාවට මෙන් එදා ගැමියාට අධික මේදය, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වැලඳුණේ නැත. උදෑසන අවදි වන ගැමියා තේ වෙනුවට බොහෝ විට පානය කළේ තම ගෙවත්තෙන්ම නෙළා ගත් පලාවලින් සකස් කරගත් කැඳ කෝප්පයකි. සමහරෙක් එළකිරි පානය කරන ලදි. පැරණි ගැමි නිෙවසේ පියාණන් උදේම අවදි වී කුඹුරු වැඩට පිටත් වෙයි. බොහෝ වෙලාවට හීල් බත නැත්නම් දිය බත අතීත ගැමියාගේ උදෑසන ආහාරය විය.
කුරක්කන් රොටිය, කුරක්කන් තලපය, කුරක්කන් පිට්ටු ගැමි නිවෙසේ ආහාර වේලට වැරදුණේ නැත. එදා ගැමියා සවස තේ වෙනුවටද බොහෝ විට පානය කළේ රණවරා, ඉරමුසු, පොල්පලා වැනි ඖෂධීය පානයන්ය. සීනි වෙනුවට බොහෝ විට හකුරු කෑල්ලක් සමඟ එම ඔසුපැන් පානය කරන ලදි. විටෙක කුරක්කන්වලින් සාදන ලද හැලපයකින්ද එම අවස්ථාව රසවත් විය. කැඳ කෝප්පයකින්, හීල් බතකින්, කිරි බතකින් උදෑසන ආහාර වේල සරිකරගන්නා ගැමි නිවසේ පියා කුඹුරට නැත්නම් හේනට ගොස් ගොවිතැන් කටයුතුවලට වෙහෙස මහන්සි වෙද්දී ගැමි ලිය එහෙමත් නැත්නම් ගැමි නිවෙසේ මෑණියන් දරුවන්ගේ කටයුතු කරන අතරේම තම සැමියා සහ දුවා දරුවන්ට රසවත් ගුණවත් ආහාර වේලක් ලබා දීමේ අරමුණින් තුනපහ ආදිය මිරිස් ගලේ ඇඹරීම, කුරහන් ගලේ කුරහන් ඇඹරීම ආදී කටයුතුවල නිරත වූවාය. හොඳින් ලුණු ඇඹුල් පදමට දමා අම්මා හදන පොළොස් මාලුවටත් ගලේ අඹරා සාදන පොල් සම්බෝලයටත් දරුවන් දැඩි ලෙස ප්‍රිය කළහ.
අද කාලේ අම්මලාට මෙන් එදා ගැමි ගෙදර මවට තම ශරීරය හැඩකර ගැනීමට කායවර්ධන මධ්‍යස්ථානවලට යාමට අවශ්‍ය නොවූවාය. ඇය එදිනෙදා නිවෙසේ කරන ඉවුම්-පිහුම් කටයුතු ඇතුළු අනිත් කාර්යයන් ඇයට ඒ සඳහා ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වූවාය.
රාත්‍රී ආහාර වේල අපේ පැරණි ආහාර සංස්කෘතිය තුළ විශේෂ තැනක් ගන්නා ලදි. මන්ද නිවෙසේ සියලු දෙනා එකට වාඩිවී ආහාර ගැනීමට හැකිවන්නේ රාත්‍රී ආහාර වේලේදීය.
උදෑසන ගෙදරින් පිටවී ගොවිතැනට මහන්සි වන පියා රාත්‍රී ආහාර වේලාවෙදී තම බිරිය සහ දරුදැරියන් කෑම මේසයට එකතුකර ගනිමින් රාත්‍රී ආහාරය භුක්ති විඳී. පියා හේනෙන් ගෙන ආ භෝගයකින්, ගෙවත්තෙන් කඩා ගත් පලා මැල්ලුමකින්, කොස් පොළොස් වැනි ව්‍යාංජනයකින්, සමහර අවස්ථාවල වැව් මාළු කෑල්ලකින්ද රාත්‍රී ආහාරය රසවත් වෙයි. එය රස වාගේම පෝෂණ ගුණයෙන් අනූන වන්නකි. රාත්‍රී කෑම වේල අවසානයේදී පවුලේ සැම දෙනා එකතුවී සතුටු සාමීචියේ යෙදීම, ප්‍රශ්න සාකච්ඡා කිරීම සහ පවුලේ ඉදිරි සැලසුම් සාකච්ඡා කිරීම සිදු කරයි. දවස අවසානයේ තම තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන පිරිසුදු මනසකින් පසු දින ආරම්භය ප්‍රබෝධවත්ව ආරම්භ කිරීමට පන්නරය ලබා ගන්නේද රාත්‍රී ආහාර වේල මඟිනි. ඒ නිසා පැරණි ගැමියාගේ ආහාර වේල ආහාර වේලක්ම පමණක් නොව සංස්කෘතියේ සුවිශේෂී අංගයක් බව මොනවට පැහැදිලි වේ.
අපේ ගැමියාගේ ආහාර සංස්කෘතිය තුළ අරපිරිමැස්ම, කළමනාකරණය යන ලක්ෂණද කැපී පෙනේ. ඔවුන් වැඩිපුර වී පසුව පාවිච්චි කිරීම සඳහා වී බිස්සේ සුරක්ෂිතව ගබඩා කරන ලදි. ඒ වගේම දුම්මැස්ස, අටුව භාවිත කරමින් කොස්, දෙල්, කජු, කොට්ට පොල් වැනි දේ කල් තබා ගන්නා ලදි. එමෙන්ම වැව් මාළු වැනි දේ ළිපට උඩින් දුමේ දමා වේළාගත් අතර මාළු ඇඹුල් තියල් ලෙස සකසාද කල්තබා ගන්නා ලදි. අපේ ගැමි ඇත්තන්ගේ සූපවේදය ව්‍යාංජන, බැඳුම, මැල්ලුම, පිලිස්සුම, සම්බෝලය, ආනම ආදී වූ අංගයන්ගෙන් පරිපූර්ණ වූවකි. එදා ගැමියාගේ ආහාරයම ඖෂධයක් විය.
වර්තමානය වන විට ඒ සරල සෞඛ්‍යසම්පන්න ජීවන රටාවෙන් මිදී ඉතා වේගවත් තාක්ෂණයත් සමඟ මුසු වුණු ජීවන රටාවට මාරුවීමත් සමඟම අප සතුව පැවති ඉතා සෞඛ්‍යසම්පන්න දේශීය ආහාර රටාව අපෙන් ගිලිහී ගොස් ඇත. ඒ වෙනුවට අපට හුරුකර ඇත්තේ පිටි ගුළිවලින් සමන්විත කෙටි කෑම සහ අධික ලෙස තෙල් සහ රසකාරක යෙදූ ආහාරපාන වේ.
ඒවාගේම වර්තමානයේ අප කන බත් ඇටයේ සිට සියලුම එළවළු සහ පලා වර්ග රසායනික පොහොර යොදා සකසා ගන්නා ලද ඒවාය. නමුත් එදා අප අනුභව කළේ කාබනික පොහොර යොදා ගෙවත්තේම සකසා ගන්නා ලද නැවුම් එළවළු, පලා වර්ග සහ පලතුරුය.
ගෝලීයකරණය ඔස්සේ ගොඩනැඟුණු ව්‍යාපාරික ආධිපත්‍යය සහ ජනමාධ්‍ය මෙන්ම නව මාධ්‍ය ක්‍රියාවලියේ බලපෑමද අපගේ දේශීය ආහාර රටාව බිඳ වැටීමට හේතු සාධක ලෙස පෙනී යයි. එමෙන්ම වෙනත් සංස්කෘතීන්ගේ ආක්‍රමණයන් නිසා අපේ සංස්කෘතියේ එන උසස් සහ ආවේණික සංස්කෘතික සාධකයන් බිඳ වැටීමද මෙයට හේතු සාධක වී ඇත. නැවතත් අපිට උරුමව අපෙන් ගිලිහී ගිය සෞඛ්‍යසම්පන්න දේශීය ආහාර රටාව, ආහාර සංස්කෘතියට නැවත පණ දීම අප හැමගේම වගකීම වේ. ඒ හරහා නැවතත් ශක්තිමත් සෞඛ්‍යසම්පන්න සමාජයක් බිහි කිරීමට අපට හැකි වනු නියතය.