Home » හිච්චා

හිච්චා

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment

ලොකු දරුවා හම්බවෙලා අවුරුදු දහයක් වෙනවා තාම කෝච්චියක ගිහිල්ලා නැහැ. සජීවනී කෑගහනවා.

“දරුවෝ දෙන්නා හරි ආසාවෙන් ඉන්නේ කෝච්චියක යන්න.”

මම මොකුත්ම නොකියා නිහඬවම හිටියා.

“කොයි වෙලේ යං කිව්වත් එක්කෝ සෙනඟ වැඩියි. නැත්නම් පරක්කු වෙයි. එහෙමත් නැත්නම් පීලි පනී.”

ඕක අලුත් කතාවක් නෙවි. ඉඳලා හිටල එන කෝඩයක්. ඒත් ඒ වෙලාවට ඇගේ වචන මගේ කන් දෙක ඇතුළත ඊතල විදිනවා වගේ දැනෙන්නෙ. ඒවා ගිහිල්ලා නවතින්නේ පපු කුහරය මැද්දෙන්. ඒ හිර වෙච්ච ඊතල දවස් ගානක් පපුව මැද්දේ තියෙනවා, තද වෙලා.

“මම තනියෙන් හරි දරුවෝ දෙන්නා එක්ක යනවා.” අවසානයේ මා දෙස හැරෙමින් ඈ කීවේ අභියෝග කරන්න වගේ.

මම පොතේ පිටු දිහා බලාගෙනම හිටියේ ඇහුනේ නැති ගානට. මම කෝච්චියට වෛර කරනවා කියලා සජීවනී දන්නෙ නැහැ. මං කියලත් නෑ. ඒක අවුරුදු තිහක් විතර පරණ කතාවක්. මගේ වෛරය විතරක් නොවෙයි, බයත් තාම අඩු වෙලා නැහැ. ඒත් ගෙදර ඇති වෙන සිදුවීම් පෙළ, දරුවන්ගේ ආසාව, මගේ බය මේ සියල්ල පපුවේ හිරවෙච්චි ඊයම් බරු වගේ මට තවදුරටත් දරාගන්න බැහැ. මම දවසම කල්පනා කරනවා. අන්තිමේදී කෝපි පඳුර ගාව බංකු ලෑල්ලට වෙලා සජීවනීට සම්පූර්ණ විස්තරේ කිව්වා.

“හිච්චා කියන්නේ අපේ අම්මාගේ එක බඩවැල කඩාගෙන ආපු මගේ බාල මල්ලී.”

“කෝ දැන් එයා?” ඇය මැද්දට පැනලා ප්‍රශ්නයක් දැම්මා.

“කතාව අහගෙන ඉන්නකෝ.” මම කිව්වේ ටිකක් කේන්තියෙන් “හිච්චා මට වඩා අවුරුදු හතරක් බාලයි. ඌ හරිම හුරතල්. අපි දෙන්නා හරිම එකමුතුයි. හිච්චාට මම නැතුව බැහැ. මට හිච්චා නැතිවත් බැහැ. දවසක් ඌට ඉස්කෝලෙදි පන්තියේ කොල්ලෙක් ගහලා. මම උගේ පන්තියටම ගිහිල්ලා ගහපු එකාගේ කනට ගැහුවා බිම වැටෙන්න.”

“ඉතින් මල්ලිට මොකද වුණේ?” ඇයට ඉවසිල්ලක් නෑ. ආයිමත් මැද්දට පනිනවා.

“අපේ ගෙදර තිබුණේ මුහුද කිට්ටුව. වෙලාවක් හම්බෙච්ච ගමන් අපි දෙන්නා දුවන්නේ වැල්ලට. සෙල්ලම් කරන්න, රැල්ල පාගන්න, වගේම වාරකනෙන් පස්සේ එන සිප්පිකටු, ගොංගෝ, දැලි පොත්තන් අහුලන්න අපි හරි ආසයි. කිරි කවඩි ගෙනැල්ලා පංචි දාන එක අපේ සිරිතක් වෙලා තිබුණා. උදේ වරුවක නම් ඔරු වැල්ලට බැහැලා හොඳහැටි නානවා.”

“ඉතින් මල්ලි මුහුදේ ගියා ද? පව් අනේ…” ආයෙමත් සජීවනී.

“ඒත් තාත්තා, මේ වැඩේට කොහොමටවත් කැමැති නැහැ. එයා නැති වෙලාවට මුහුදට යන එක අපිට තහනම් කරලයි තිබුණේ. ඒ වුණාට අපි හොරෙන් වැල්ලට පැන්නා. මුහුදේ නෑවා. අහු වුණු වෙලාවට පස්ස පැත්ත හම යනකං බලුදං කෝට්ටෙන් තාත්තා ගහනවා. අම්මා මැද්දට පැනලා තමයි අපිව බේරගන්නේ

“තාත්තා මුහුද එක්ක ඔච්චර තරහ ඇයි?” හිච්චා ඇහුවේ බැරිම තැන. “උඹලා හිතනවට වඩා මුහුද නපුරුයි.” කියලා තාත්තා නිහඬ වුණා.

“තාත්තා වැඩ කළේ ඩී.ආර්.ඕ. කන්තෝරුවේ. එයා මාසෙකට සැරයක් ගාල්ලේ කච්චේරියට යනවා. එදාට ගෙදර එන්න රෑ වෙනවා කියලා අපි ඉන්තේරුවෙන්ම දන්නවා. ස්කෝලේ නිවාඩු හින්දා තාත්තා ගාලු ගියදාක මායි හිච්චායි මුහුදෙ පැන්නා.

එදා මුහුද හරිම නිහඬයි. හරියට ගඟක් වගේ. රැල්ල ගහනවාවත් දැනෙන්නෙ නෑ. කොට කපිලයයි, ගුණයයි, අද්දර වත්තෙ හාවයි අපිත් එක්ක නාන්න ආවා. ඔය අතර පීතර මාමයි ඇලඩින් ගොයියයි වැල්ලේ හොර ගල් අහුලනවා අපි දැක්කා. ගමේ හැමෝටම කේලම් කිය කියා යන එක ඒ දෙන්නගෙ රාජකාරිය.”

“තාත්තට කියයි ද අයියේ?” කියලා හිච්චා ඇහුවත් එක්ක.

“තාත්තා එන්නේ රෑ වෙලානේ. එතකොට කියන්න වෙලාවක් නෑ. අපි නොදැක්කා වගේ ඉඳිමු.” මම කිව්වා.

අපි ඇති වෙනකන් දියබුං ගැහුවා. වැල්ලේ ලොකු මාලිගාවල් හැදුවා වැලිවලින්. ටිකක් ලොකු රැල්ලක් ආපු වේලාවට ඒවා මුහුද දිහාවට හෝදාගෙන ගියා. එතකොට අපි ආයෙමත් හැදුවා. අපි පැය දෙකක් විතර හොඳ හැටි මූදේ නෑවා. කොටින්ම ලුණු පිපෙනකම්ම.

හිටිහැටියේම ඔරුවක් අස්සෙන් තාත්තා මතු වුණේ හිතාගන්න බැරි විදිහට. ඒ පිටිපස්සෙම පීතර මාමයි ඇලඩින් ගොයියයි ඉන්නවා දැක්කා. අද තාත්තා කලින් ඇවිල්ලා. එකත් එකටම මගදීම ජෝඩුව කේලම කියලා ද කොහෙද?

බලු දං කෝට්ට පස්ස රත් කරන්න කලින් අපි පැන ගත්තා.

“මල්ලි දුවමු….”

අපි ගාලු පාර හරහා පැනලා අම්බලම් බොක්කෙන් මතුවුණා.

“නවතින්නයි කීවෙ දෙන්නටම” තාත්තා කියනවා ඈතින් ඇහුණා. අපි රේල් පාර දිගේ සයිමං මාමලාගේ ගෙවල් පැත්තට දිව්වා. හිච්චත් මගේ පස්සෙන් ආවා.”

“නවතින්න පුතේ…” තාත්තගේ කට හඬ යාන්තමට ඇහුෙණ් මුහුදේ සද්දෙත් එක්ක මුහුවෙලා. අපි ගුරුකන්ද ගාවින් පේරගහ වත්ත පාරට පැනගත්තා. තත්පර දහයක්වත් ගියේ නෑ ගාල්ල දිහාවට කෝච්චිය ඇදුණෙ මහා හඬින් හූ තියාගෙන.

දඩාස් ගාලා එකපාරට කෝච්චිය නැවතුණා.

මමත් නැවතුණා. දෙයියනේ! තාත්තා හිටියේ රේල් පාරෙ. මගේ පපුව දඩ දඩ ගාලා ගැහෙන්න ගත්තා.

කට්ටිය දුවගෙන යනවා කෝච්චිය නැවතුණ දිහාට. හිච්චා පේන්න නෑ. එයත් දුවන්න ඇති. මාත් දිව්වා.

සෙනඟ පිරිලා. මම අස්සෙන් රිංගලා බැලුවා. මූණ අඳුනගන්න බෑ. ඒත් ඉරි වැටුණු කොටු කමිසෙ… මම අඳුරගත්තා.

“හිච්චා…..” මම මහා හයියෙන් කෑගැහුවා. ළඟ තිබුණු පොල් බිඩංගයක් අරගෙන කෝච්චියේ රෝදවලට තඩි බෑවා. කවුරු හරි මාව අල්ල ගත්තා කියල මතකයි.

මම හිච්චා බැලුවේ නැහැ කියලා මං මටම දොස් තියා ගත්තා. එදා මගේ පපුවට දැනුණු බර තාමත් තියෙනවා. තාත්තා පස්සෙන් එළවපු නිසා හිච්චා නැතිවුණා කියලයි තාත්තා හිතුවේ. එයා ඒ ගැන කාගෙත් එක්කවත් කතා කළේ නෑ. තව තවත් නිහඬ වුණා මිසක්. තාත්තා අපිට මූදේ නාන්න නොදී එළවපු නිසා

හිච්චා හැප්පිච්ච දවසේ ඉඳල මම කෝච්චියට වෛර කරනවා. ඒ සද්දෙට මම අදත් බයයි. හරියට ඇඟ උඩින් යනවා වාගේ මට දැනෙන්නෙ.

අරටුව හයිය මහා ගහක් හුළඟට වැටෙන්නේ නෑ වගේ අම්මා පුදුම ආත්ම ශක්තියකින් මේ සියල්ලම විඳගත්තා.

“අපි මුහුදට යනවා තාත්තා ඇයි ඔච්චර අකැමැති වුණේ?” දවසක් මම අම්මාගෙන් ඇහුවේ තාත්තා නැති වුණාටත් පස්සේ.

“තාත්තාගේ මල්ලි පොඩි කාලේදිම මුහුදේ ගිහිල්ලා මැරිලා. මට විස්තර කිව්වා. එදා ඉඳලා තාත්තා මුහුදට බයලු.”

අද මට වූ දේම එදා තාත්තාටත් වෙලා. ඒක ඇහුවට පස්සේ මගේ හිතේ තාත්තා ගැන තිබුණ වෛරය නැතිවෙලා ගියා. මම එහෙම කරපු එක ගැන ඇති වුණ පසුතැවිල්ලත් මගේ හදවතේ තවත් බරක් විදිහට ඉතුරු වුණා විතරයි. ඒත් කෝච්චියත් එක්ක මගේ තිබුණ වෛරය තාමත් එහෙමම තියෙනවා.

මම උඩට ගත්තු හුස්ම වේගයෙන් පිට කළේ මගේ හිතේ බර දැන් හෑල්ලුයි කියල හිතුණ නිසා.

මෙච්චර වෙලා මැද්දට පැනලා ප්‍රශ්න අහපු සජීවනී දැන් නිහඬයි. ඇය මගේ අත අල්ලාගෙන කියල මට දැනුණා. ඇගේ අත සීතල වෙලා.

“අපි කෝච්චියේම යන්න ඕන කියල නීතියක් නෑනේ. ඔය ඕනතරම් පාරේ බස් තියෙන්නේ.” සජීවනී කිව්වා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division