Home » පුස්කොළ පොත්
වහ වහා සංරක්ෂණය කළ යුතු සංස්කෘතික උරුමයක්...

පුස්කොළ පොත්

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment
ජයත් පියදසුන්
පන්හිඳ, දුර්ලභ පුස්කොළ පොත් රැසක් මුද්‍ර­ණය කරවූ එංග­ල­න්තයේ පාලි පොත් සමා­ගම සහ අලං­කාර කම්බ සහිත පුස්කොළ පොත්

මුද්‍රණ තාක්ෂණය අතිශය දියුණු වී ඇති මෙකල ඕනෑම ග්‍රන්ථයක පිටපත් මුද්‍රණය කර ලොව පුරා බෙදාහැරිය හැකි අතර, කඩදාසි මත තීන්තෙන් මුද්‍රණය නොකළ ලේඛනයක් වුව ‘විදත් පුස්තක’ හැටියට ලොව ඕනෑම තැනක හිඳින්නකුට එසැණින් පරිශීලනය කිරීමේ පහසුව සැලසී ඇත්තේ නවීන ඩිජිටල් තාක්ෂණයට පින් සිදු වන්නටය. ඒ පිළිබඳ අපට සතුටු විය හැකි අතරම, කනගාටුවට කරුණ: මෙලෙස නූතන මාධ්‍යයන්ට දැනුම පවරා, අපේ අවධානයෙන් ශීඝ්‍රයෙන් ගිලිහී යමින් සිටින ‘පුස්කොළ පොත’ මුහුණ දී සිටින ඛේදජනක ඉරණමයි. අපේ ආදිතම ලේඛන සටහන් වූ ශිලා ලිපි සහස්‍ර වර්ෂ දෙකක් ඉක්මවා අදද කියවාගත හැකි මට්ටමේ පවතිද්දී, ශතවර්ෂ දෙක-තුනකට එපිට පුස්කොළ පොතක් සොයාගැනීම පවා අසීරු වීමෙන් පෙනී යන්නේ එය උරුම කරගෙන සිටින දුර්දශාවේ යථා ස්වරූපයයි.

පුස්කො­ළයේ ලිවීම

පුස්කො­ළයේ ලිවීම

මේ හේතුවෙන් පැනනැඟී ඇති අමතර ගැටලුවක් වන්නේ: අපේ අක්ෂර මාලාවේ හැඩ-රුව විකාශනය වූ ආකාරය නිරීක්ෂණය කිරීමේදී අවසන් සියවස් කිහිපයකට එපිට දක්නට ලැබෙන, සියුම් වෙනස් වීම් නොපෙනී යෑමේ කලාපයයි. ක්‍රිස්තු පූර්ව දෙවැනි ශත වර්ෂයේ පමණ සිට හමු වූ සෙල්ලිපිවල සිට ඉකුත් සිය වස පමණ වන තෙක් ලැබී ඇති පුස්කොළ පොත් දක්වා දක්නට ලැබෙන එකිනෙක අක්ෂර, අවධියෙන් අවධියට වගුගත කළ විට මෙහි යථා තත්ත්වය මනාව හැඳිනගත හැකිය.

රළු, ඝන මතුපිටක කටුවක් හා මිටියක් ආධාරයෙන් කෙටීමෙන් සටහන් කිරීමේදීත්, සාපේක්ෂව මෘදු පත්‍ර මතුපිටක සියුම් තුඩක් මඟින් සීරීමෙන් සටහන් කිරීමේදීත් මතු වන හැඩතලවල පැහැදිලි වෙනස එයට හේතුව වන අතර, සියවස් කිහිපයකට පෙරාතුව සිට ශත වර්ෂ දෙකක් පමණ එපිටට අක්ෂර හමු වූ මාධ්‍යය බොහෝ කලක් අවු-වැසිවලට පවා ඔරොත්තු දෙන ශිලා ලේඛන වන විට, අවසන් සියවස්වල මාධ්‍යය පුස්කොළ පොත් වීමත්, ඒ පුස්කොළ පොත්වල කල් තබාගැනීමේ උපරිම කාලයෙන් එපිට ඒවායේ ලියවුණු අකුරුවල හැඩහුරුකම් හඳුනාගැනීමට ක්‍රමවේදයක් නොතිබීමත් මේ අක්ෂර විකාශනයේ සියුම් වෙනස්කම් නොපෙනී යෑමට බලපා තිබේ.

‘පුස්කොළ’ නිමැවීමට යොදාගැනෙනුයේ තල් කොළයයි. සාම්ප්‍රදායික ක්‍රමවේදයකට වේළා පදම් කොට සකස් කරගත් තල් පත්‍රය මත ‘පන්හිඳ’ නම් වූ ලෝහමය මෙවලමකින් අකුරු සටහන් කර, එසේ සටහන් වූ අකුරු ‘කළුමැදීම’ නම් උපක්‍රමයක් මඟින් මතු කරගැනීම මෙහිදී සිදු වේ. ඉක්බිති අනුපිළිවෙළට තබනු ලබන පත්තිරු යටින් සහ උඩින් විසිතුරු ලෙස සකසාගත් ‘කම්බ’ ලෙස හැඳින්වෙන ලී පතුරු දෙකක් තබා නූල් මඟින් බැඳගැනීමෙන් ‘පොතේ’ නිමාව සිදු වේ. එසේ දෙපසින් තබනු ලබන කම්බය සහිතව පුස්කොළ පොත බැඳීම සඳහා නූල රුවනු පිණිස එක් එක් පුස්කොළයේ දෙපොළක එකාකාරව සිදුරු දෙක බැගින් විදිනු ලැබේ. එහිදී කැපී ඉවත් වන, වත්මන් ‘පන්චරය’ මඟින් සිදුරු කිරීමේදී එකතු වන කුඩා රවුම් කොළ බඳු පත්‍ර කොටස් ‘කරං’ ලෙස අතීතයේදී හැඳින්විණි (රත්නපුර පොත්ගුල් විහාරය පිහිටි ග්‍රාමය අදටත් හැඳින්වෙන ‘කරංගොඩ’ යන නාමය එයට දිවමන් සාක්ෂ්‍යයක් බඳුය. ‘පොත්ගුල’ යනු ‘පුස්තකාලය’ සඳහා පර්යාය පදයක් වන අතර, මේ විහාරස්ථානය එවකට සබරගමු, දක්ෂිණ දෙපළාත සඳහා ධර්ම ග්‍රන්ථ පිටපත් කළ මධ්‍යස්ථානයක් බව ප්‍රවාදයේ දැක්වේ. ‘කරං’ ගොඩගැසෙන්නට නම්, එදවස එහි කොපමණ නම් පුස්කොළ පොත් සම්භාරයක් නිෂ්පාදනය වන්නට ඇත්දැයි සිතාගත හැකිය).

එතෙක් මුඛපරම්පරානුගතව – එනම්: නිවැරදිව ස්මරණයේ රඳවාගෙන සජ්ඣායනා කිරීම මඟින්, කටපාඩමින් – රැකගෙන ආ ත්‍රිපිටක ධර්මය එක පිට එක ආ පරසතුරු උවදුරු හා බැමිණිටියා සාය බඳු සාගත වසංගතාදිය හේතුවෙන් මැකී යෑමේ අවදානම දුටු වට්ඨගාමිණි අභය (වළගම්බා) දෙවැනි රාජ්‍ය සමයේ (ක්‍රි.පූ. 87-76) මහ තෙරවරුන් මාතලේ අලු විහාරයේදී ග්‍රන්ථාරූඪයට පෙලඹීම මෙරට ග්‍රන්ථ සම්ප්‍රදායේ පුනරුදයක් වූ සේ සැලකිය හැකිය. ඒ කෙසේ වෙතත්, එයටද පූර්වයෙන් මෙරට පැවති බව පැවසෙන ‘හෙළටුවා’ (හෙළ අටුවා) පොත් පිළිබඳ තොරතුරු සඳහන් වන බැවින් ඇතැම් විට දෙවනපෑතිස් රජ සමය (ක්‍රි.පූ. 250-210) දක්වා හෝ විහිදෙන ග්‍රන්ථ සම්ප්‍රදායයක් අපට වූ බව අනුමාන කළ හැකිය.

ඒ කෙසේ වෙතත්, වරින් වර මෙරටට මුුහුණ පෑමට සිදු වූ විවිධ විදේශ ආක්‍රමණ හේතුවෙන් පැවිදි-ගිහි විද්වතුන් විසින් කලක් තිස්සේ මහත් හරසරින් රැකගෙන ආ පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් අපට අහිමි විය. ඔවුන් විසින් එලෙස පැහැරගනු ලැබූ බොහෝ පුස්කොළ පොත් ගිනි තබා විනාශ කරනු ලැබිණි. තෙවළා දහම, හෙළ වෙදකම, සංගීත කලා ඈ අපගේ පුරාණ ශාස්ත්‍ර සටහන් වූ තවත් එවන් පොත් ඔවුන් විසින් ගෙන යනු ලැබුවාටද සැක නැත. මේ අතර අවසනට අප යටත් කරගත් යුරෝපීය ආක්‍රමණිකයන්ගේ සමයේ ඒ රටවල විසූ උගත්තු පෙරදිග ශාස්ත්‍රයන්හි ගැඹුර ඉව කළාහු, පාලි සංස්කෘතාදි ඒ භාෂා මහත් වෑයමෙන් ප්‍රගුණ කර, මේ ඥාන සම්භාරය හැඳිනගත්තෝ, පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් සිය රටවලට ගෙන ගියහ. එලෙස ගෙන යනු ලැබූ බොහෝ පොත් තවමත් ඒ ඒ රටවල විශ්විද්‍යාලයවල, පුස්තකාලයවල තැන්පත් කර ආරක්ෂා කරනු ලැබේ. ඒ අතුරින් බුදු දහම සහ පාලි ව්‍යාකරණාදිය පිළිබඳ පොත් රාශියක් මුද්‍රණය කරවනුද ලැබීය. එංගලන්තයේ ‘පාලි පොත් සමාගම’ (පාලි ටෙක්ස්ට් සොසයිටි, 1881) විසින් මේ මෙහෙවර ‍අද දක්වාම ඉටු කරගෙන එනු ලබන අතර, ඒ හා සමාන වැඩපිළිවෙළක් මේ වන තුරුත් අප රටේ දක්නට නොවීම ඛේදයට කරුණකි.

අප රටට අයත් බුද්ධිමය දේපොළ මෙසේ විදේශයන්හි හිමිකාරිත්වය යටතේ පැවතීම සංවේගයට කරුණක් වුවත්, තවමත් මුද්‍රිත මාධ්‍යයකට නොනැඟුණු අගනා පුස්කොළ පොත් රාශියක් ශ්‍රී ලංකාවේ අහුමුලුවල කළුමැදීම් ආදි සංරක්ෂණයකට බඳුන් නොවී නමුුදු, සුවඳ දුම් ආදි පුද පූජා පමණක් ලබමින් දිරා යමින් හෝ කාවුන් ඈ කුඩා සතුන්ගේ කුසගිනි නිවමින් හෝ තිබෙනු දක්නා කල, නොරටක හෝ ඒවා රැකී තිබීම ගැන සැනසුම් සුසුමක් හෙළිය හැකිය (ස්වකීය මරණ දණ්ඩණය හමුවේ කැප්පෙටිපොළ දිසාව පෑ අභීත චර්යාව නිසා විස්මයට පත් ඉංග්‍රීසීහු ඔහුගේ සිරස සිය රටට ගෙන ගොස් කපාලය පිළිබඳ පර්යේෂණ පවත්වා සංරක්ෂණය කළහ. නිදහසින් පසු අපි එය මහත් උජාරුවෙන් ලංකාවට ඉල්ලා ගෙනවුත්, පිළිරුවක් කරවා එහි යට වැළලීමු!).

කළු­මැ­දීම

කළු­මැ­දීම

මේ අතර, ඇතැම් විටක යම් පුස්කොළ පොතක පිටපතක් ශ්‍රී ලංකාවේම ඇත්තේ එක් ස්ථානයක පමණි. සමහර විට ලොවටම එහි ඇත්තේ ඒ පිටපත පමණක් විය හැකිය. එවන් පිටපතක් එහි අගය දන්නා විද්වතකුගේ නේත්‍රස්පර්ශය නොලැබම යම් තැනක විනාශ මුඛයට යමින් ඇත්තේ නම් එය කොතරම් අභාග්‍යයක්ද? අපේ සාම්ප්‍රදායික ඥානයෙන් කොපමණ ප්‍රමාණයක් මෙලෙස අද වන විට අපට අහිමි වී ඇත්දැයි කිසිවකුට පැවසිය හැකිද? මීට ඍජුවම අදාළ නැතත්, එබඳු පාරම්පරික ඥානයක් අපගේ ඇස් හමුවේම අභාවයට ගිය සිද්ධියක් මෙහිදී සිහියට නැඟේ. රත්තණපිටියේ විසූ පාරම්පරික වෙද මහතෙක් බටහිර වෛද්‍ය විද්‍යාවේ ‘ලියුකේමියා’ ලෙස හඳුන්වනු ලබන රුධිරගත පිළිකා රෝගය නිට්ටාවට සුව කරන පිළියමක් දැන සිටියේය. ඔහු ඊට කී නම ‘ලේ-සුද’ නම් විය. ලියුකේමියාවේදී සිදු වනුයේ රුධිරයේ රක්තාණුවලට වඩා ශ්වේතාණු ශීඝ්‍රයෙන් වැඩි වීමයි. එනයින් ‘ලේ-සුද’ යනු කොතරම් විදුහුරු නමක්ද? ඒ තිබියේවා! දූදරුවන් තිදෙනකු බිහි කළ මේ වෙද මහතාණන්ගේ වැඩිමහල් පුතු රෙදි ව්‍යාපාරයටත්, මද්දුමයා මුද්‍රණ කර්මාන්තයටත්, බාල දියණිය විදෙස් දිවියකටත් යොමු වූයේ, ඉන් එකකු වත් මේ මහාර්ඝ ශාස්ත්‍රය ගත්තේ නැත. ඒ අතර සිය බාල වියේදී මේ වෙදැදුරාණන්ගේ පිළිසරණ ලැබ දිවි ගලවාගත් අයකු වැඩී විවාපත්ව තම දරුවන්ද කැටුව දැකුම් පඬුරුද ගෙන ඔහු බැහැදක්නට ආ සැටි වරක් මම දිටිමි. ඔහු ඒ වෙදකමට ගත් ‘මිනී මල්’ කලකට පෙර කිසියම් පිරිසක් විදෙසකට ගෙන ගිය බවත්, ඔවුන් එයින් ලියුකේමියාවට ඔසුවක් නිපදවා, ඊට ‘පේටන්ට්’ බලපතද ගෙන ඇති බවත් පසු කලෙක ඇසීමි. ලක් දිව ඒ වෙදකම දත් වෙනත් අයකු සිටීදැයි නොදනිමි.

මේ අපට උරුමව පැවති දැනුමට අත් වූ, අත් වෙමින් තිබෙන ඉරණමයි. වෙහෙර විහාර, පොත්ගුල් ආදියේ නිසි අවධානයක් නැතිව අඳුරේ පවතින පුස්කොළ පොත් සංරක්ෂණයට වහ වහා පියවර ගත යුතු කාලය එළඹ ඇත.

ඒ අතර, මෙරට ඉතිරිව ඇති පුස්කොළ පොත් රැකගැනීමට උත්සුක වන ආයතන සහ පුද්ගලයන් කිහිප පොළක් හෝ වන බව මෙහි සඳහන් කරනුයේ ඔවුන්ට කරන උපහාරයක් වශයෙනි. එහිදී කොළඹ ජාතික කෞතුකාගාරය ප්‍රමුඛය. කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්කොළ පොත් අධ්‍යයනයට වෙන් වූ අංශයක් ඇති අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේද අවසර ලත් පාඨකයන්ට පුස්කොළ පොත් පරිශීලනයට අවකාශ සැලසේ. විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙන්හිද පුස්කොළ පොත් සංරක්ෂණ කටයුතු සිදු කෙරේ. මේ අතර අප්‍රකටව වෙසෙමින් මේ වටිනා සම්පත රැකගැනීමට කැප වූ හිමිවරුන් ඇතුළු විද්වත්හුද රට පුරා සිටිය හැකිය.

ඒ සැමටම අපගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරන අතරම, අදාළ ආයතනයක් ස්ථාපනය කර, විද්වත් මණ්ඩලයක සංස්කරණයකින් සහ ක්‍රමවත් වර්ගීකරණයකින් යුක්තව පුස්කොළ පොත් මුද්‍රණය කරවීමට සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ අවධානය යොමු වේවායි ප්‍රාර්ථනා කරන්නේ, මේ මොහොතේද කවර හෝ තැනක දුර්ලභ පුස්කොළ පොතක විනාශය සිදු වෙමින් පැවතිය හැකි බැවිනි. එහිදී පත් කෙරෙන මණ්ඩලය ප්‍රමුඛව: ඒ ඒ ශාස්ත්‍රයේ පාරම්පරික විද්වතුන්ගෙන්ද දෙවනුව: ශාස්ත්‍රාලයීය ප්‍රාමාණිකයන්ගෙන්ද පමණක් සමන්විත විය යුතු බව අවධාරණය කරන්නේ, මෙවන් කටයුතුවලදී දේශපාලන, ගුරුකුල ළැදියා ආදිය ඉස්මත්තට ගත හොත්: ‘පරිස්සමට තැබූ දෙය ඈලියාවට යෑමට වැඩි දෙයක්’ සිදු නොවන බැවිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division