– මේ දිනවල බහුලව පැතිරී යන චිකුන්ගුන්යාවලින් පසු ඇති වන ආතරයිටිස් තත්ත්වයක්
– ඇඟිලි පුරුක්, දණහිස් වැනි සන්ධි ඉදිමිය හැකියි
මේ දිනවල ලංකාවේ බොහෝ දෙනා උණ, කැස්ස සහ සෙම වැනි වයිරස් ආසාදනවලින් පෙළෙති. මේ වයිරස් රෝග අතුරින් චිකුන්ගුන්යා නැවතත් ව්‍යාප්ත වීමක් පෙන්නුම් කරයි. මදුරුවන් මඟින් පැතිරෙන චිකුන්ගුන්යා රෝගයේදී ඉතා අධික උණ, දරුණු සන්ධි වේදනාව, ශරීර කැක්කුම සහ සම මත ලප ඇති වේ. බොහෝ අය දින කිහිපයක් ඇතුළත උණෙන් සුවය ලැබුවද, එය සැම විටම කතාවේ අවසානය නොවේ. ඒ මෙම වයිරස ආසාදනය සම්පූර්ණයෙන්ම සුව වූ පසුවද රෝගියකුට සන්ධි සහ මස් පිඬු වේදනාව ටික කාලයක් යනතුරුම පවතින බැවිනි.

සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චිරන්ති ලියනගේ
ඇත්ත වශයෙන්ම, චිකුන්ගුන්යා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ගෙන් 40%කට වඩා වැඩි පිරිසකට උණ පහව ගිය පසු සති හෝ මාස ගණනක් සන්ධි සහ මාංසපේශි වේදනාව දිගටම පැවතිය හැකි අතරම, සමහරුන්ට ඔවුන්ගේ සන්ධිවල ඉදිමීම පවා ඇති විය හැකිය. මේ රෝගි තත්ත්වය ‘වයිරසය පසු වූ වාතාබාධය‘ (post-viral arthritis) ලෙස හඳුන්වනු ලැබේ.
මේ වාතාබාධය සිදු වීමට නිශ්චිත හේතුවක් කිසිවෙකුත් තවම හරියටම නොදනිති. එහෙත් වයිරසය සහ ආසාදිත පුද්ගලයා යන දෙකටම අදාළ සාධක මිශ්‍රණයක් හේතු කරගෙන එය ඇති වන බව පැහැදිලිය. මෙහිදී සිදු වන්නේ වයිරසයට එරෙහිව සටන් කරන ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ව්‍යාකූල වීමට පටන් ගෙන තමන්ගේම සන්ධි සහ මාංසපේශිවලට පහර දීමට පටන් ගැනීමයි. වයිරසය ශරීරයෙන් ඉවත් වූ පසුව පවා දිගුකාලීන වේදනාවක් සහ ඉදිමීමක් ඇති කරන්නේ මෙයයි. කොවිඩ් වැනි සෙසු වයිරස් ආසාදනවලින් පසු පවා මේ තත්ත්වය ඇති වන බව අප මීට පෙර දැක ඇත.
මේ අතර, චිකුන්ගුන්යා ආසාදනයකින් පසු, සන්ධි වේදනාව මාස ගණනාවක් පැවතිය හැකිය. සමහර පුද්ගලයන් තුළ, එය රූමැටොයිඩ් ආතරයිටිස්, ස්පොන්ඩිලෝ ආතරයිටිස් හෝ ෆයිබ්‍රොමියල්ජියා වැනි දන්නා රෝගවලට සමාන රටා ගත හැකිය. වඩාත් බහුලව බලපාන සන්ධි වන්නේ වළලුකර, දණහිස්, උකුළු, මැණික් කටුව, වැලමිට සහ ඇඟිලිය. මේ දීර්ඝකාලීන සන්ධි වේදනාව හෝ සන්ධි ඉදිමීම වැඩිපුරම අවුරුදු 30 සිට 50 දක්වා මැදි වයස් කාණ්ඩයේ පුද්ගලයන්ට වැලඳීමේ වැඩි ප්‍රවණතාවත් තිබුණද ඕනෑම වයසක කෙනෙකුට වැලඳිය හැකියි.
රෝග විනිශ්චය කරනු ලබන්නේ රෝග ලක්ෂණ සහ වෛද්‍යවරයකුගේ සායනික තක්සේරුව මතය. එය තහවුරු කළ හැකි තනි පරීක්ෂණයක් නැත. එහෙත් රෝග ලක්ෂණ සහ පරීක්ෂණ සාමාන්‍යයෙන් අප නිවැරදි දිශාවට යොමු කරයි. රෝගියා තුළ පෙර තිබූ රුමටොයිඩ් ආතරයිටිස් තත්ත්වයක් නිසා මේ තත්ත්වය මතු වූවාද යන්න පිළිබඳව ද අප සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා සමහර විට, වෙනත් ආකාරයේ ආතරයිටිස් බැහැර කිරීම සඳහා රුධිර පරීක්ෂණ හෝ එක්ස් කිරණ පරීක්ෂාව සිදු කරනු ලැබේ.
ප්‍රතිකාර ලෙස මුල් දින කිහිපය තුළ ජලය වැඩියෙන් පානය කිරීම හා විවේකය ගැනීම ඉතා වැදගත්ය. ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේද බහුලව දක්නට ලැබෙන බැවින්, ඩෙංගු රෝගය බැහැර කරන තුරු ඔබ කිසි විටෙකත් ඉබුප්‍රොෆෙන් හෝ ඩයික්ලොෆෙනැක් (NSAIDs) වැනි වේදනා නාශක නොගත යුතුය. කෙසේ වෙතත්, පැරසිටමෝල් උණ සහ ශරීර වේදනාව සඳහා ආරක්ෂිත සහ ඵලදායි වේ.
උණ පහව ගිය පසු සහ සන්ධි වේදනාව දිගටම පැවතුණ හොත්, අපට මෘදු වේදනා නාශක ආරම්භ කළ හැකිය. එහෙත් සන්ධි රෝග ලක්ෂණ දිගු හෝ දරුණු වුව හොත්, අපට DMARDs ලෙස හඳුන්වනු ලබන ආතරයිටිස් සඳහා විශේෂිත ඖෂධ ආරම්භ කිරීමට සිදු වේ. දිය යුතු ඖෂධ වර්ගය, මාත්‍රාව සහ කොතරම් කාලයක් දිය යුතුද යන කාරණා රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. මේවා ආතරයිටිස් සඳහා ප්‍රතිකාර කිරීමට සහ දිගු කාලීන සන්ධි හානි වැළැක්වීමට භාවිත කරන විශේෂ ඖෂධ වේ.
බොහෝ දෙනකුට මාස කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම සුවය ලැබුණත්, සමහරුන්ට දිගු කාලයක් ප්‍රතිකාර අවශ්‍ය විය හැකිය. මේ තත්ත්වය කලින් හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාර ආරම්භ කිරීම ඉතා වැදගත් වන්නේ එබැවිනි. එසේ කිරීමෙන් වේදනාව සමනය වනවා පමණක් නොව, කල් පවතින සන්ධි හානි හා විකෘතිතා වළක්වයි. අප ඉක්මනින් නිවැරදි ප්‍රතිකාර ආරම්භ කළ හොත්, බොහෝ දෙනකුට වයිරස් රෝගයකින් පසු ඇති වන ආතරයිටිස් තත්ත්වය යම් කිසි කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම සුව කරගෙන ඖෂධ නැවත්වීමට පුළුවන්.
ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්