කුඩා දරුවන් පීඩාවට පත් කරන රෝගාබාධ අතර මූත්‍ර ආසාදන ප්‍රමුඛය. ඒ, එයින් ඇති වන වේදනාකාරි තත්ත්වය ඉතා දරුණු නිසා මෙන්ම නිසි ප්‍රතිකාර නොලැබුණු හොත් අනාගතයේ දරුවාට මුහුණ දීමට සිදු වන රෝගි තත්ත්වයන් ඉතා දරුණු වන නිසාය. ඇතැම් විට එය දරුණු වකුගඩු ආබාධයක් විය හැකිය. එබැවින් කුඩා දරුවන්ට වැලඳෙන මූත්‍ර ආබාධ පිළිබඳ මවුපියන් විශේෂ අවධානයක් යොමු කළ යුතුය.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා
අප දිනපතා ගන්නා ආහාරපාන වර්ගවල තිබෙන පෝෂක කොටස් ශරීරයට උරාගෙන අනවශ්‍ය කොටස් ශරීරයෙන් බැහැර වෙයි. මූත්‍ර ලෙස ශරීරයෙන් පිට වන්නේ රුධිරයෙන් පෙරෙන යූරියා වැනි අපද්‍රව්‍යය. වකුගඩු, මූත්‍රවාහිනී, මූත්‍රාශය, මූත්‍ර නාළිකා දිගේ ශරීරයෙන් පිටතට මූත්‍ර ගමන් කරයි. එලෙස ශරීරයේ නිපදවෙන අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීම නීරෝගි ජීවිතයකට අත්‍යවශ්‍යය.
කුඩා දරුවනට ඇතිවන මූත්‍ර ආබාධ අතර මූත්‍ර ආසාදන ප්‍රධානය. කුඩා දරුවකුට මූත්‍ර ආසාදනයක් ඇති වූ විට රෝග ලක්ෂණ කීපයක්ම පෙන්නුම් කරයි. ඒ, මූත්‍ර පහ කිරීමේ අපහසුව, උණ හටගැනීම, පිටතට පෙනෙන මූත්‍ර මාර්ගයේ ඇති වන අසාමාන්‍යතා, මූත්‍ර සමඟ රුධිරය පිට වීම, නිතර මූත්‍ර පහ වීම, දරුවාගේ ශරීර බර වැඩි නොවීම වැනි රෝග ලක්ෂණය. මේ රෝග ලක්ෂණ කිහිපය අතුරින් එකක් හෝ දරුවා කෙරෙන් පෙන්නුම් කෙරේ නම්, වහාම වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්ය.
කිසියම් දරුවකුගේ ශරීරයේ බර වැඩි නොවෙයි නම්, එයට හේතුව බොහෝවිට මූත්‍ර ආසාදනයක් විය හැකිය. මෙවැනි මූත්‍ර ආසාදන ඇති වන්නේ බොහෝ විට බැක්ටීරියා ආසාදනයකට දරුවා ගොදුරු වීම නිසාය. මෙහිදී මූත්‍ර රෝපණ පරීක්ෂාව (Culture Report) මඟින් ආබාධයට හේතු වී ඇති බැක්ටීරියාව හඳුනාගත හැකිය. මූත්‍ර පූර්ණ පරීක්ෂාවක් (Urine Full Report) මඟින්ද මූත්‍ර ආසාදනයට හේතුව නිර්ණය කරගත හැකි වුවද වඩාත්ම සුදුසු වන්නේ මූත්‍ර රෝපණ පරීක්ෂාවක් සිදු කර, රෝග කාරක විෂබීජය කුමක්දැයි නිවැරදිවම හඳුනාගැනීමය.
ඇතැම් දරුවන් ඉපදෙන විටම මූත්‍ර පද්ධතිය සම්බන්ධ යම් යම් ගැටලු ඇති වී තිබිය හැකිය. ශ්‍රෝණිය විශාල වීම, වකුගඩුවල ඇති වන පිළිකා, මූත්‍ර වාහිනීවල ඇති වන අවහිරතා, මූත්‍රාශයේ පේෂිවල ඇති වන අසාමාන්‍යතා, මූත්‍ර මාර්ගයේ ඇති වන අවහිරතා වැනි තත්ත්වයන් උපතේදී ඇති විය හැකිය. ඊට අමතරව මූත්‍ර ප්‍රදාහය වැනි ආබාධද ඇති වීමේ හැකියාව ඇත.
දරුවකු ඉපදී පළමු දිනයේදී එක් වරක් හෝ මූත්‍ර පහ කළ යුතුය. ඉන් පසු දින කිපය තුළ අවම වශයෙන් දිනකට හය වතාවක්වත් දරුවා මූත්‍ර පිට කළ යුතුය. එය දිනකට පහළොස් වතාවක් හෝ විසි වතාවක් වුවද එය සාමාන්‍ය තත්ත්වයකි. මෙහිදී මවුපියන් වඩාත් සැලකිලිමත් විය යුත්තේ තම දරුවා දිනකට හය වතාවකට වඩා අඩුවෙන් මූත්‍ර පිට කරන්නේ නම්ය. දරුවා ඉපදී මාස 2ක් පමණ ගත වන විට, දිනකදී මූත්‍ර පිට කරන වාර ගණන ක්‍රමයෙන් අඩු විය හැකිය. එයද සාමාන්‍ය තත්ත්වයකි.
කුඩා දරුවකුගේ වයස අවුරුදු 2 – 3 පමණ වන තෙක් හොඳින් මූත්‍ර පිට වීම ස්වාභාවිකය. ඒ, එම වයසේ දරුවනට මූත්‍රාශය පිරුණු පසු මූත්‍ර පිටවීම පාලනය කළ නොහැකි නිසාය. දරුවාට වයස අවුරුදු 3 ඉක්මවූ පසුව දිවා කාලයේ මුත්‍රා පහ කිරීමට අවශ්‍ය නම් වැඩිහිටියනට ඒ ගැන පවසනු දැකිය හැකිය. එහෙත් එම දරුවාට රාත්‍රියේදි නොදැනී මුත්‍රා පිටවීමේ හැකියාව ඇත.
ඇතැම් දරුවනට වයස අවුරුදු 5 – 10 වූ විටත් රාත්‍රියේදී නොදැනී මූත්‍ර පහ වීමේ හැකියාව ඇත. එය දරුවා නොදැනී සිදු වන්නකි. මෙහිදී, දරුවා ලජ්ජාවට පත් වන අයුරින් කතා කිරීම, බැණවැදීම, දඬුවම් කිරීම කිසි සේත්ම නොකළ යුතුය. එය දරුවාගේ එම තත්ත්වය තව තවත් උග්‍ර වීමට හේතු විය හැකිය. වඩාත් සුදුසු වන්නේ වෛද්‍ය උපදෙස් පැතීමය. ඇතැම් දරුවන්ට රාත්‍රියේදී නොදැනීම මූත්‍ර පිට වන්නේ මූත්‍ර ආසාදනයක් තිබීම නිසා විය හැකිය. කුඩා කාලයේදීම දියවැඩියා රෝගයට ගොදුරු වූ දරුවන්ටද රාත්‍රියේදී නොදැනී මූත්‍ර පහ වීමේ හැකියාව ඇත. නින්දේදී මූත්‍ර පහ කරන දරුවනට ඖෂධීය ප්‍රතිකාර ලබාදීමට පෙර කළ යුත්තේ දිවා කාලයේදී දරුවාට වැඩිපුර ජලය පානය කිරීමට දීමය. එවිට වැඩි මූත්‍ර ප්‍රමාණයක් මූත්‍රාශය තුළ දිවා කාලයේදී දරා සිටීමට හැකියාව ලැබේ. එවිට රාත්‍රී කාලයේදී වැඩිපුර මූත්‍ර ප්‍රමාණයක් දරා සිටීමට දරුවාගේ මූත්‍රාශයට හැකියාව ලැබේ. මෙමඟින් දරුවා රාත්‍රියට මූත්‍ර කිරීම නැවතුණේ නැති නම් ඖෂධීය ප්‍රතිකාරවලට යා හැකිය. මේ සඳහා සාර්ථක ඖෂධීය ප්‍රතිකාර ඇත.
මූත්‍ර පද්ධතිය ආශ්‍රිතව දරුවන්ට ඇති වන තවත් ආබාධයක් වන්නේ වෘක්ක ප්‍රදාහයයි. එය වකුගඩු ආශ්‍රිතව ඇති වන රෝගි තත්ත්වයකි. වකුගඩු ආශ්‍රිත ප්‍රදේශයේ තද කැක්කුමක් සමඟ උණ ඇති වෙයි නම්, එය වෘක්ක ප්‍රදාහය විය හැකිය. මෙහිදී වේදනාව ඇති වන්නේ පිටුපස සිට ඉදිරිපසටය. එසේම, වකුගඩු ආශ්‍රිත ප්‍රදේශය ඇල්ලූ විට තදබල වේදනාවක් දරුවාට ඇති වේ. එසේම මෙහිදී ඇති වන උණ සාමාන්‍ය මූත්‍ර ආසාදනයකදී ඇති වන උණට වඩා උග්‍ර විය හැකිය. මේ ආසාදන තත්ත්වය හට ගන්නේ ‘ස්ට්‍රෙප්ටොකොකුස්’ නම් බැක්ටීරියාව නිසාය.
ශරීරයේ කන, අැස අමතර කනක් වැනි ආසාමාන්‍යතා සහිතව උපදින දරුවන්ගේ වකුගඩු ආබාධ ඇති වීමේ හැකියාව වැඩිය. එම දරුවන් ඉපදුණු පසුව වකුගඩු ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීමෙන් එම දරුවාට වකුගඩු ආබාධයක් ඇතිදැයි හඳුනාගත හැකිය. මෙසේ වන්නේ කන සහ වකුගඩු අතර ඍජු සම්බන්ධයක් ඇති නිසාය.
කිසියම් දරුවකුගේ රුධිරයේ තිබිය යුතු ප්‍රෝටීන ප්‍රමාණය අඩු නම්, මූත්‍ර සමඟ ප්‍රෝටීන පිට වෙයි නම්, දරුවාගේ ශරීරය ඉදිමෙන්නේ නම්, එය ද මූත්‍ර පද්ධතිය ආශ්‍රිතව ඇති වන රෝගී තත්ත්වයකි. මේ සඳහා ද සාර්ථක ප්‍රතිකාර ඇත.
කිසියම් දරුවකු නිතර නිතර කහ පාටට මූත්‍ර පිට කරයි නම්, එම රෝග ලක්ෂණය දරුවාට ආමාශයේ ආබාධයක් ඇති බවට ලක්ෂණයකි. මෙහිදී පූර්ණ මූත්‍ර පරීක්ෂාවක් මඟින් රෝගය හඳුනාගත හැකිය. එසේම දරුවකුගේ මූත්‍ර කහපාටින් පිට වන විට දරුවාගේ දෑස් කහපාට වී ඇත් නම්, එය හෙපටයිටිස් රෝගයද විය හැකිය.
පිරිමි දරුවකුට වඩා ගැහැනු දරුවකු තුළ මූත්‍ර ආසාදිත ඇති වීමේ හැකියාව වැඩිය. ඊට හේතු වන්නේ ගැහැනු දරුවන්ගේ මූත්‍ර මාර්ගය කෙටි වීම, මූත්‍ර මාර්ගය සහ ගුද මාර්ගය ඉතා සමීපව පිහිටා තිබීම වැනි කරුණුය. ගැහැනු දරුවකුට බොහෝවිට මූත්‍ර ආසාදන ඇති වන්නේ මලවල ඇති ‘ඊ කෝලයි’ නම් බැක්ටීරියාව මූත්‍ර මාර්ගයට ගොස් ආසාදනය වීම නිසාය. එබැවින් ගැහැනු දරුවන්ගේ මූත්‍ර මාර්ගය අවට ප්‍රදේශය පිරිසුදුවට තබා ගැනීම මවගේ වගකීමකි. විශේෂයෙන්ම ගැහැනු දරුවකු මලපහ කළ පසු සෝදා පිරිසුදු කරන විට පළමුව මූත්‍ර මාර්ගය අවට සෝදා පසුව ගුද මාර්ගය සේදිය යුතුය. එසේ නැතිව කුඩා ගැහැනු දරුවකුගේ පළමුව ගුද මාර්ගය සෝදා පසුව මූත්‍ර මාර්ගය සේදීමෙන් මලවල ඇති බැක්ටීරියාවන්ට ඉතා පහසුවෙන් මූත්‍ර මාර්ගයට ගමන් කිරීමේ හැකියාව ඇත.
මූත්‍ර රෝපණ පරීක්ෂාවකදී (Culture Report) එම පරීක්ෂණය සඳහා මූත්‍ර සාම්පලය එකතු කර ගැනීමේ ක්‍රමය ඉතා වැදගත්ය. ඒ, නිවැරදි ලෙස මූත්‍ර සාම්පලය ලබා නොගැනීමෙන් ලැබෙන වැරදි සහගත පරීක්ෂණ වාර්තාව දරුවාට ප්‍රතිකාර කිරීමේදී ඍජුවම බලපාන නිසාය. මූත්‍ර ආසාදනයකදී ලබා දිය යුතු ප්‍රතිජීවක ඖෂධය කුමක්දැයි වෛද්‍යවරයා තීරණය කරන්නේ මේ මූත්‍ර රෝපණ පරීක්ෂාවේ ප්‍රතිඵලය සමඟය. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් ඇත. මේ වන විටත් දරුවාට වෙනත් රෝගයක් සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන්නේ නම්, මූත්‍ර රෝපණ පරීක්ෂාවකට මූත්‍ර සාම්පලය ගැනීමට පැය 48කට පෙර වෛද්‍ය උපදෙස් මත එම ප්‍රතිජීවක ඖෂධය ගැනීම නැවැත්විය යුතුය. මූත්‍ර සාම්පලය ගත් පසු ඒ ප්‍රතිකාරය දිගටම කළ හැකිය. මූත්‍ර රෝපණ පරීක්ෂාවක් සඳහා මූත්‍ර සාම්පලය ගත යුතු වන්නේ පරීක්ෂණාගාරයක් තුළදීය. නිවෙසේදී ගන්නේ නම් පරීක්ෂණාගාරයෙන් ගත් බෝතලයකට දරුවාගේ මූත්‍ර සාම්පලය ගෙන එය අයිස් කැට සහිත භාජනයකට දමා පැය බාගයක් ඇතුළත පරීක්ෂණාගාරය වෙත රැගෙන යා යුතුය. රෝපණ පරීක්ෂණයට මූත්‍ර සාම්පලය ලබා ගැනීමේදී ප්‍රථමයෙන්ම මූත්‍ර ඉන්ද්‍රිය ප්‍රදේශය අවට හොඳින් සෝදා පිරිසුදු කළ යුතුය. ඉන් පසුව දරුවාට මූත්‍ර කිරීමට ඉඩ දී මූත්‍ර ස්වල්පයක් පිට වූ පසුව මැදදී මූත්‍ර සාම්පලය එකතු කරගත යුතුය.
මූත්‍ර ආසාදනයක් සඳහා වෛද්‍යවරයා නිර්දේශ කරන ප්‍රතිජීවක ඖෂධය වෛද්‍ය උපදෙස් අනුව නොකඩවා ගැනීම වැදගත්ය. කිසි විටෙකත් දිනක් හෝ දෙකක් ප්‍රතිජීවක ඖෂධය දී එය නවතා දැමීම සුදුසු නැත. වෛද්‍ය උපදෙස් නොතකා දිනක් හෝ දෙකක් පමණක් ප්‍රතිජීවකය දීමෙන් සිදු වන්නේ බැක්ටීරියාව බාගෙට මර්දනය වී යළිත් එය හිස එසවීමය. දරුවකු තුළ මූත්‍ර ආසාදනයක් දිගින් දිගටම පවතී නම්, ඒ දරුවාගේ වකුගඩු අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාවකට ලක් කළ යුතුය. එමඟින් දරුවාගේ මූත්‍ර පද්ධතිය ආශ්‍රිතව කිසියම් ගැටලුවක් ඇත් නම් එය සැක හැර හඳුනාගත හැකිය.
තරුණ වයසේ සහ මැදි වියේ පුද්ගලයන්ට සිදු කරනු ලබන වකුගඩු බද්ධ කිරීම් බොහොමයකට හේතුව කුඩා අවදියේදී ඇති වූ මූත්‍ර ආබාධයකට නිසි පිළියම් නොයෙදීම බව පෙනී යයි. එබැවින් දරුවනට ඇති වන මූත්‍ර ආබාධ කිසි සේත් සුළු කොට තැකිය නොහැකිය.