වඩු කුරුල්ලාගේ නිර්මාණශීලිත්වය ගැන ගවේෂණාත්මක විමර්ශනයක්
සොබාදහම තවත් එක් අපූර්වතම නිර්මාණයක් ගැන අධ්‍යයනය කරමින් මා මේ රැඳී සිටින්නේ ත්‍රිකුණාමලේ, පෙරියකුලම් වැව් පිටියේය. වැව් පිටියේ කෙළවරට වන්නට පිහිටා ඇති සියඹලා ගසක් පාමුල ‘සෙවණැති ආවරණයක’ට වැදුණේ මාගේ කාර්යය මෙහි ‘නිවැසියන්ගේ’ හැසිරීම්වලට බාධාවක් නොවන පරිදි නිදහසේ, හොර රහසේම ඉටුකර ගන්නා අටියෙන්ය. මාගේ ප්‍රයත්නය සාර්ථක බවට ඉඟි පළ විය. එනම් තමා අවට කිසිම හෝ ආගන්තුකයෙක් හෝ අමුතු දෙයක් සිදු වන බවට හැසිරීමක්වත් මේ ගසේ ‘නිවැසියන්ගෙන්’ ප්‍රකට වන්නේ නැත. කවුද මේ නිවැසි සාමාජිකයින්? ඒ වූ කලී කුරුලු ලොව සොඳුරුතම නිවාසය තනා ගන්නා වඩුවන් අයත් වන ‘රුක් වඩු කුරුලු’ සාමාජිකයින්ය.
තණකොළ, මානා කොළ, කෙඳි ආදිය භාවිතයෙන් තනා ගන්නා ‘කැදැල්ල මුල්’ අවදියේ දිස්වන්නේ ගසේ අතු අග රැඳී කොළ පැහැ ගෙඩි යටවය. එනම් සතියකට කිට්ටු කාලයක් ගෙන මූලික සැලසුම් සහිතව තනනා ‘කැදැල්ල’ ‘ගෝලාකාර’ හැඩැති වන අතර ඉන් ඉදිරි ගොඩනැඟීම් සිදු වනවාද නැද්ද යන්න තීරණය වන්නේ රුක් වඩු කුරුල්ලාගේ ප්‍රියම්බිකාවගේ කැමැත්ත අකැමැත්ත අනුවය. මේ සඳහා ‘රුක් වඩු කුරුල්ලා’ ප්‍රයෝගයක් අනුගමනය කරයි. එනම් තමා විසින් අඩක් තැනූ ගෝලාකාර වු කැදැල්ල මත සිට නාද කරමින් නර්තනශීලී වූ හැසිරීමක් ප්‍රකට කරයි. ඒ කිරිල්ලියකගේ ආකර්ෂණය දිනා ගන්නා අටියෙනි.
මා අබියසැති මයිල ගසේ පිටතට විහිදුණු මුදුන් අතු මත්තේ අඩක් නිමැවු කොළ පැහැති ගෝලාකාර කැදැලි කිහිපයක්ම ඇති අතර උදෑසන සිටම එහි ‘අයිතිකරුවන්’ එකිනෙකා පරයමින් ඒ මත සිට නර්තනශීලී වූ හැසිරීම් සහ කෑගැසීම් පටන්ගෙන ඇත. මේ තම කැදැල්ල වෙතට කිරිල්ලියක් ආකර්ෂණය කරගන්නා නියායෙන්ය. වඩු කුරුල්ලා කිරිල්ලියට සාපේක්ෂව පැහැපත්ය. අපේ රට තුළ නිවැසි වඩු කුරුලු විශේෂ 02 ක් හමුවේ. ඒ රුක්වඩු කුරුල්ලා සහ පන්වඩු කුරුල්ලාය. නමට සරිලන අයුරින්ම ඒ ඒ කුරුලු විශේෂ විසින් තම කැදැලි තනනු ලබන මාධ්‍ය භාවිතයන් මුල්ව ඔවුන් හැඳින්වීමද සිදු වේ. මේ මයිල ගසේ ඉහළ අතු අග සාමූහිකව ජනාවාසගතව කැදැලි තනා ඇත්තේ රුක් වඩු (Baya Weaver) කුරුල්ලන්ය. මෙම විශේෂය විද්‍යාත්මකව ප්ලොසියෙන් පිලිප්පිනස් (Ploceus Philippinus) ලෙස හඳුන්වයි. වඩු කුරුලු විශේෂයන් දෙකේම කුරුල්ලන් සහ කිරිල්ලියන් පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකිය. නළලත සහ ළය දිලෙන කහ පැහැතිව දිස්වන්නේ කුරුල්ලා වන අතර කිරිල්ලිය අඳුරු පැහැතිය.
අඩක් තනා නිමැවූ කැදැල්ල මත සිට සිදුවන කුරුල්ලන්ගේ ගීතවත් නර්තනශීලී හැසිරීම් දෙස බලා සිටිනා කිරිල්ලිය වඩාත් ආකර්ෂණීය කුරුල්ලා තම තාවකාලික සහකරු ලෙස තෝරා ගැනීම සිදු කරයි. එහිදී කුරුල්ලා විසින් තනා ඇති කැදැල්ලද කිරිල්ලියන්ගේ විමසුමට භාජනය වේ. කිරිල්ලිය කැදැල්ල පිටත සහ ඇතුළත ගැවසෙමින් එහි නිමැවුම් තත්ත්වය කෙබඳුදැයි පරීක්ෂා කරයි. එහිදී කැදැලි එක හා සමානව නිමවා තිබුණද බොහෝ විට කිරිල්ලියන්ගේ තේරීමට ලක්වන්නේ ගස පිහිටා ඇති භූමියට වඩාත් ඉහළට වන්නට පිහිටා ඇති කැදැලි බව මාගේ නිරීක්ෂණයට හසු විය. ඒ ආරක්ෂාව යන දිවිපැවැත්මේ මූලිකම සාධකයට වනය තුළදී ප්‍රමුඛතාව ලැබෙන නිසාවෙන්ය. කිරිල්ලියන් විසින් තේරු කැදැලි තනමින් සිටි වඩු කුරුල්ලන්ට එතැන් සිට කාර්යබහුලම සමය උදා වෙයි. එනම් කුරුල්ලන් අඩක් නිමැවූ ගෝලාකාර වූ කැදැලි සැකිල්ල අනතුරුව කඩිනමින් අපිට හුරුපුරුදු ‘රුක් වඩු කුරුලු’ කැදැල්ලේ ස්වරූපයෙන් තනා නිම කිරීමේ කාර්යය කුරුල්ලා ආරම්භ කරයි. ගසේ අත්තේ අගිස්සේ දිගු එල්ලෙන කැදැල්ල තනා නිම කිරීම සඳහා කුරුල්ලාට සති දෙකකට ආසන්න වූ කාලයක් ගතවේ. මාගේ නිරීක්ෂණයට බඳුන් වූ අඩක් තනා නිමැවූ කැදැල්ල හිමි රුක් වඩු කුරුල්ලාට නම් අද දිනය සුබ නැති හැඩය. මන්ද යත් ඒ කැදැල්ල තුළට එකම හෝ කිරිල්ලියකවත් පැමිණියේ නැත. එනම් එම කැදැල්ල කිරිල්ලියන් විසින් ප්‍රතික්ෂේප කරන ලද කැදැල්ලක් බවට පත්ව ඇති හැඩය. ගස පිහිටා ඇති භූමියට ආසන්න අත්ත මත තනා ඇති කැදැල්ලේ බිජු දැමීම මතු උපදින පැටවුන්ට සහ මාපියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වූ බැවින් එසේ ප්‍රතික්ෂේප වන්නට ඇත. මිනිස් සමාජයේ හා සමව මේ විහඟ සමාජය තුළත් කරන්නන් වාලේ වැඩ කරනා අලසයින්ද නැතිවා නොවේ. දුර දිග නොබලා වැඩ කිරීමේදී සිදු වන්නේ කාලය අපතේ යාම බව මේ වඩුවන්ටත් අවබෝධ වන්නේ සියල්ල සිදුවී හමාර වූ පසුවය. එයින් පාඩම් උගෙන ගන්නා ඔවුන් ඉනික්බිති යළිත් කැදැල්ලක් තැනීම ආරම්භ කරයි. ඒ ආරක්ෂාවට මුල් තැන දෙමින්ය.
බොහේ විට පළමු වර, දෙවන වර ප්‍රතික්ෂේප වන්නේ ‘තරුණ වඩුවන්ගේ’ කැදැලිය. පරිණතයින් තනන කැදැලි නිබඳවම ජය ලබයි. ඒ අත්දැකීම් මත පදනම්ව ඔවුන් ක්‍රියාත්මක වන බැවින්ය. රුක් වඩු කුරුල්ලන්ගේ කැදැලි පිහිටන්නේ සාමූහික ජනාවාසගතවය. ඒ අතරේ හොඳින් නිර්මාණය කළ කැදැලි, තට්ටු නිවාස ක්‍රමය සිහි ගන්වමින් තැනු කැදලි මෙන්ම අඩක් නිමැවු අතැර දැමූ නව කැදැලිද නිරීක්ෂණය කළ හැකිය. ආරම්භයේ කොළ පාටින් දිස් වන කැදැලි, කල් යත්ම වියළි පැහැයට හැරේ. එසේ වුවත් ඒවා දිරාපත් වන්නේ නැත. ඒ කැදැලි තැනීම සඳහා භාවිතයට ගන්නා අමුද්‍රව්‍ය පිළිබඳව වඩු කුරුල්ලන් වඩාත් සැලකිලිමත් වන නිසාවෙන්ය. කැදැලි ජනාවාසයක් හොඳින් නිරීක්ෂණයට ලක්කළ කල රුක් වඩු කුරුල්ලාගේ සමස්ත ජීවිත අන්දරයම ඒ තුළ ලියැවී ඇති ආකාරය කෙබඳුදැයි මනාව වටහාගත හැකිය.
කැදැලි ගස තම නිවස්නය බවට පත් කරගෙන වාසය කරනා ‘රුක් වඩු කුරුලු කොළනියේ’ දවස ආරම්භ වන්නේ හිරුගේ පළමු රැස් දහර ලැබිම මත පතිත වීමත් සමඟමය. හාවක් හූවක් නැතිව පසුවු ‘වඩු කුරුලු කොළනිය’ එක්වරම මීයකට පිම්බාක් හා සමව අවදි වෙයි. කැදැලි තුළ, අතු මත්තේ ලැග සිටි කුරුලු සාමාජිකයෝ තම කටයුතු ආරම්භ කරති. නව කැදැලි තනන්නන් ඒ සඳහා සුදුසු තැන් සොයයි. අඩක් නිමා කළ කැදැලි යළිත් තැනීමේ කටයුතු ආරම්භ කළ සාමාජිකයින් ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය රැගෙනඒම සඳහා පිටත්ව යයි. රැගෙන ආ අමුද්‍රව්‍ය භාවිත කරමින් සමහරු කැදැල්ල තැනීම ආරම්භ කර ඇත. තනා නිම කළ කැදැලි තුළ බිජු රකිනා කිරිල්ලට හෝ බිජුවලින් උපත ලැබූ පැටවුන්ට ලබා දීමට කෑම රැගෙන එන්නන්ද විටෙන් විට හොටින් තද කර ගත් කෘමීයෙක් දෙන්නෙක් රැගෙන කැදැල්ලේ පහළට වන්නට තනා ඇති දිගු දොරටුවෙන් ඇතුළු වෙයි. කිරිල්ලියගේ සිත ගන්නට රැඟුම් පානා නව යොවුන් වියේ පසුවන ආගන්තුකයින්ද ඔය අතරේ තැනු කැදැලි මත සිට ගී ගයයි. අවට පරිසරයට සජීවී බවක් රුක් වඩු කුරුලු ජනාවාසය හරහා කාන්දු වෙමින් ඇති හැඩය.
කුරුලු කැදැලි සහිත ගස පාමුලට වන්නට බිමට වැටුණු පැරණි කැදැලිද එක දෙක හමුවේ. ඒවා බිම පතිත වී අවට පවත්නා දැඩි වියළි තත්ත්වය හමුවේ තව තවත් දිරාපත්ව ඇත. එසේ දිරාපත් වූ කැදැල්ලක් ගෙන මා එහි ඇතුළත තත්ත්වය කෙබඳුදැයි විමසිලිමත් වුණෙමි. කැදැල්ල තුළට පිවිසෙන දිගු දොරටුව ගසේ කැදැල්ල ඇති විට දිස්වන්නේ පහතට යොමු වූ පිට්ටු බම්බුවක් හා සමානවය. දිගු දොරටුවට පසුව හමු වන්නේ කැදැල්ල පිහිටා ඇති ගෝලාකාර වූ කොටසයි. එහි කිරිල්ලට බිජුලෑමට සුදුසු පරිදි සුවපහසු ආකාරයට විවිධ අමුද්‍රව්‍ය භාවිත කර ගෝලාකාර වූ ඇතුළත කැදැල්ලත් සකසා ඇත. එසේම අවට බිත්ති මත්තේ ඇලවූ මැටි බෝලද නිරීක්ෂණය කළ හැකිය. ඉන් යම් බරක් කැදැල්ල වෙත ලබා දෙයි. මා මේ ගැන විමසිලිමත් වනු පිණිස යළිත් ගස මුල ආවරණය තුළට ගියෙමි. මෙතුවත් මා අවධානය යොමු කළේ කැදැලි අමුද්‍රව්‍ය වන ගෙතුම්, වියමන් සඳහා දිගු රැහැන් පත්‍ර රැගෙන පියඹා එන කුරුල්ලන්ගේ හැසිරීම් කෙරෙහිය. කුරුල්ලා විසින් කැදැල්ල තනා අවසන් වූ පසුව බිජුලෑම සඳහා තමා තෝරා ගත් කිරිල්ලට කැදැල්ල භාර කරයි. කිරිල්ල ඉනික්බිති කැදැල්ල තුළට ගොස් එය පිරික්සා අනතුරුව පිටව යයි. අවස්ථා කිහිපයකදී කැදැල්ලෙන් පිටතට සහ යළිත් කැදැල්ල තුළටත් ඇය පැමිණෙන අතර හොඳින් නිරීක්ෂණය කළ විට කිරිල්ල හොටින් රවුම් කළ මැටි බෝල රැගෙන එන සැටි නිරීක්ෂණය කළ හැකිය. එසේ රැගෙන එන මැටි බෝලකර කැදැල්ලේ ඇතුළත අලවයි. රුක් වඩු කූඩු පිහිටන්නේ උස් ගස් මුදුන්වල අගිස්සට වන්නට පිහිටා ඇති අතුවල බැවින් වියළි කලාපයේ හමා යන සුළඟට මේවා ඔරොත්තු දිය යුතුය. සුළඟින් කැදැලිවලට සිදු වන හානිය අවම කර ගැනීම සඳහාත්, අවු රශ්මියෙන් ඇති වන දාහය අවම කරගැනීම සහ වර්ෂාවෙන් කැදැල්ලේ ඇතුළත තෙමීම ආවරණය සඳහාත් මෙබඳු වූ ආකාරයට මැටි කැදැල්ලේ ඇතුළත ඇලවීමට කිරිල්ල පෙලඹෙයි.
රුක් වඩු කැදැල්ලේ ඇතුළත අලවා ඇති මැටි මත්තේ යම් යම් කෘමින්ගේ යැයි සැලකිය හැකි දිරාපත් වූ සැකිලිද ඇලවී ඇති සැටියක් ද නිරීක්ෂණය කළ හැකිය. කැදැල්ලේ බාහිර පෙනුම අනුව කැදැල්ලට ඇතුළුවීම සඳහා යටින් එල්ලෙන දිගු දොරටු විවරය විනා අන් බාහිර විවරයක් පිහිටන්නේ නැත. කැදැල්ල මැද ගෝලාකාර පිහිටීම තුළ බිජුලන කැදැල්ල පිහිටා ඇත. ඉන් ඔබ්බට කැදැල්ලේ ඉහළට ගමන් කළ නොහැකිය. එනම් ගසේ අත්තට සවි වන ආකාරයට සවිමත් වූ බැලුම් සහිත වූ කොටස මුළුමනින්ම ගෙතුම්වලින් ඇවිරි ඇත. මෙබඳු පසුබිමක් තුළ ඇතුළත කැදැල්ල අඳුරු කුටියක් බඳු වනවාට සැක නැත. එසේනම් බිජු රකින කිරිල්ලියගේ අඳුර මකනු පිණිස අඳුරේ එළි විහිදුවන විවිධ කෘමීන්, විශේෂයෙන්ම කණා මැදිරියන් බඳු කෘමින් රැගෙනවිත් ඇතුළත මඩ ආවරණයක් මත අලවනවා වන්නට ද හැකිය. අවස්ථා කිහිපයකදී එසේ ඇලවූ විවිධ කෘමී සැකිලි දිරාපත්ව බිමට වැටුණු කැදැලි අභ්‍යන්තරයේ තිබෙනු නිරීක්ෂණය කළ හැකිය. කුරුල්ලා විසින් විවිධ අවස්ථාවන්හීදී තනා නිමවා කිරිල්ලට භාර දුන් කැදැලි තුළට විවිධ කෘමීන් හොටින් අල්ලා රැගෙන යනු මා අවස්ථා ගණනාවකදීම හොඳින් නිරීක්ෂණය කළෙමි. එහි ඇති සත්‍ය අසත්‍යතාව තෙබඳුදැයි යන්න අවැසි අයෙකුට විවරණයට ඉඩ තබා, සොබාදහමේ රහස් ගොන්නටම එකී රහසක් මම එකතු කරමි.
ධාන්‍ය, බීජ හා කෘමි භක්ෂණයට රුසි වඩු කුරුල්ලා ව්‍යාප්තව සිටිනා භූගෝලීය කලාපයන්හී වනබද පෙදෙස් මෙන්ම ජනාවාසීකරණයට සමීප වගුරු සහ කුඹුරු ගොවිතැන් බිම්වලට යාබදවද දිවි ගෙවයි. ගොවිතැනට හානිදායක කෘමීන් භක්ෂණයෙන් ගොවියාට යහපතක් කරනා වඩු කුරුල්ලා, විසල් රැළ සැදී ධාන්‍ය වර්ග, බීජ වර්ග ආහාරයට ගැනීම නිසා ගොවිතැනට හානී පමුණුවන පසුබිමක් ද නිර්මාණය වී ඇත. ඒ සඳහා මෙබදු පක්ෂීන් ගොවිබිම් මතින් පලවා දැමීමට විකල්ප පරිසර හිතකාමී ක්‍රමෝපායයන් අනුගමනය කළ හැකිය. සොබාදහමේ සොඳුරු බව නිබඳවම කැටි වූ ‘රුක් වඩු කුරුල්ලා‘ රැක ගැනීමට අවැසි නීතිමය පසුබිම වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ කෙටුම්පත්ව ඇත. මෙබඳු කුරුල්ලන්ගේ ජීවිතයට හානි වන ක්‍රියාවන් සිදු කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. එසේම වඩු කුරුල්ලාගේ වාසස්ථානයන්ට මෙන්ම කැදැලිවලටද හානි පමුණුවන කිසිම හෝ ක්‍රියාවක් සිදු නොකිරීමට ද වග බලා ගත යුතුය. වනජීවිත සැබැවින්ම අහිංසකය. බිරියගේ අඳුර මකන්නට නිෙවසේ කණාමැදිරි එළි දල්වන ‘රුක් වඩුවාගේ’ ජීවිත කතාව ඊට කදිම නිදසුනකි.
සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික
ඡායාරූප – දර්ශන් බෙන්ජමින්