Home » පවුලේ දුක් ගිනි නිවන්නට මහ වන මැද දුම්මල කඩන්නෝ

පවුලේ දුක් ගිනි නිවන්නට මහ වන මැද දුම්මල කඩන්නෝ

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment
අහස සිප­ගන්නා දුම්මල ශාක

විද්‍යාව කොතරම් දියුණු වුවද අදටත් විවිධ ශාන්තිකර්ම ඇතුළු ගුප්ත විද්‍යා ක්‍රමවලට ඇත්තේ ඉහළ සමාජ ඉල්ලුමකි. එය එක් අතකින් මිනිසා ආධ්‍යාත්මික අතින් කොතරම් අසරණ වී ඇත්ද යන්න පෙන්නුම් කරන දර්ශකයක් බඳුය. ඒ කෙසේ වෙතත් මේ ශාන්තිකර්ම සඳහා නැතිවම බැරි ද්‍රව්‍ය අතුරින් දුම්මලවලට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. කොතෙක් භාවිතයට ගත්තත් මේ දුම්මල හැදෙන්නේ කොහේද? ඒවා අප අතට ලැබෙන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන් බොහෝ පිරිසකට ඇත්තේ අනවබෝධයකි. දුම්මල වගතුග සොයා බැලීම වෙනුවෙන් මේ ලිපිය වෙන් වෙයි.

දුම්මල වගතුග සොයා අප ගියේ දුම්මල හටගන්නා ‘හල්’ ගස සුලබව හමු වන මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි දුම්මල කන්දටය. ‘දුම්මල කන්ද’ හෙවත් ‘දුම්රග්ගල’, එසේත් නැති නම් ‘නිකුල කන්ද’ (අතීතයේ දූමකාට පබ්බත) තරණය සඳහා ඍජු මෙන්ම දළ බෑවුම් ඔස්සේ කි.මී. 8ක් නැති නම් සැතපුම් 12ක් පමණ දුරක් ඉතා ආයාසයෙන් අසීරු ගමනක යෙදිය යුතුය. වර්ෂා සමය හේතුවෙන් ගමන් මඟේ ඇති ගල් බුරුල් වී ගැලවී යෑමේ දැඩි අවදානමක් පවතිද්දී ඒ අවදානම මැද අපට මඟ පෙන්වූයේ වැලමිටියාව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් පැතුම් ජයසිරි, නිකුල ප්‍රදේශයේ පදිංචි මද්දුම බණ්ඩාර සහ හුංගන්වෙල පදිංචි මංජුල ජයරත්නය.

ඓතිහාසික පුවත් රැසක් සඟවාගත් මේ යෝධ පර්වතය වනාහි සොබා දහමේ අපූරු නිමැවුමකි. බැලු බැලූ තැන ඝන කළුවරකින් යුතු මේ වනාන්තරය දැඩි නිහැඬියාවකින් යුක්තය. වනය තුළට කි.මී. 3ක් පමණ ගිය තැන කොළ-අතු එල්ලන ලද ස්ථානයක් වූ හෙයින් අපේ මඟ පෙන්වන්නෝ සිය පාවහන් ගලවා කුඩා කොළ-අතු එල්ලා වැඳ නමස්කාර කර, යන ගමනට ආරක්ෂාව ඉල්ලූහ. ඔවුන් අනුගමනය කරමින් මමද එසේ කළෙමි. වරෙක ඉතා අපහසු බෑවුම් තරණය කරමින්, ගල් පර්වත මතට නඟිමින් ගමන් ගනිද්දී බිම ඇති පැරණි කොළ තට්ටුවලට අනුව ඉහළ බලද්දී වසර සිය ගණනක් පැරණි, ඉතා උස්ව වැඩුණු අඹ ශාක විරාජමානව පවතින අයුරු දැකගත හැකිය. මිනිස් පයකට නොපෑගුණු ස්වාභාවික දිය කඳුරු හැම තැනම ඇත. “ඔතනින් පොඩ්ඩක් දුර ගියාම තමයි අපට දුම්මල තියෙන හල් ගස් හම්බ වෙන්නේ” අපේ ගමන් සගයකු වූ මද්දු කියා සිටියේය.

වම් පසින් බේලිය කන්දත්, දකුණතින් කාඩිගලටත්, පිටුපසින් මැණික් දෙන රක්ෂිතයත් මායිම් කරගත් නිකුල කන්ද සෙසු කඳු අතුරින් විශේෂ වන්නේ බෙහෙත් නෙල්ලි, ගොරකා මෙන්ම දුම්මල ද බහුලව පවතින කන්දක් වන බැවිනි. අතීතයේ ඇටි කෙසෙල්, වල් අන්නාසි, වීර, ඇටඹ, අඹ, පේර වැනි පලතුරු රැසක්ද පැවති බව මද්දු අපට පැවසූ අතර, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ම ඉහත සඳහන් කළ පලතුරු ශාකවලින් කිහිපයක්ම අද වන විට වඳ වී ගොසිනි.

කුරුලු කූජනයන් මැද නිසොල්මනේ ගලා බසින කුඩා දිය කඩිති පසු කර ඉදිරියට ගමන් ගන්නා අපට අහස සිපගන්නා තරම් උස ඇති හා පුද්ගලයකුට දෑතින් බදාගත නොහැකි තරමේ රූස්ස ගස් විශේෂයක් හමු විය. බැලු බැලූ තැන ඇති මේ ගස් විශේෂය හල් ශාකය බවත්, ඒවායේ දුම්මල පවතින බවත් අපේ ගමන් සගයෝ කියා සිටියහ.

ඝන කොළ තට්ටු අතරේ කුඩා දුම්මල කැබලි කිහිපයක් අහුලාගත් මා මිත්‍රයෝ ඒවා දල්වා සුවඳ විහිදෙන යුරු පෙන්වූහ. හිතන තරම් සුන්දර නැති මේ ගමනේදී දුම්මල සෙවීම පහසු කාර්යයක් නොවන බව ගමන් සගයෝ කියා සිටියහ. ඊට හේතුව කොළ තට්ටුවලට යට වී සහ රූස්ස ගස් මුදුනේ පවතින දුම්මල කැඩීම පහසු කාර්යයක් නොවන බැවිනි.

කෙසේ වෙතත් අපේ ගමන් සගයෝ වැඩිහිටි පිරිස් අතරින් ඉතා සුළු පිරිසක් මේ වනයට පැමිණ දුම්මල අහුලාගෙන යන බව කියා සිටියහ. හුරු පුරුදු පිරිස් හැර ආධුනික පිරිස් හට මේ වනාන්තරය තරණය කිරීම ඉතා අපහසු මෙන්ම වචනයෙන් කිව නොහැකි තරමේ අවදානම් ගමනකි.

කෙසේ වෙතත් අපේ ගමන් සගයන් පැවසූ පරිදි වලගම්බා රජු සැඟව සිටි කඳු අතර නිකුල කන්දද එකකි. එය තහවුරු කිරීම පිණිස මේ ගිරිදුර්ග පිහිටි මඟේ අප තවදුරටත් ඉදිරියට කැටුව යමින් රජු දිය නෑමට භාවිත කළ පොකුණක් වැනි ස්ථානයක් මෙන්ම ගල්වැටි හා ගල් කණු යොදා සැකසූ මණ්ඩපයක් වැනි ස්ථානයක්ද ඔවුහු මට පෙන්වූහ. අතීත ගඩොළු රැසක්ද එහි විය. “අපි කුඩා කාලේ මෙතෙන්ට එනකොට මේ පොකුණේ වතුර පිරිලා තිබ්බා. දැන්නම් පස්වලින් යට වෙලා තියෙන්නේ මෙතන…” මද්දු සිය හඬ අවදි කළේ නිදන් හොරුන් විසින් සිදු කරන ලද කැණීම් කිහිපයක්ද අපට පෙන්වමිනි. යාබදව වත්මන් මැණික්දෙන පුරාවිද්‍යා රක්ෂිතය ආශ්‍රිතව භික්ෂූන් වැඩ සිටි හෙයින්, මේ ස්ථානය පැන් පහසුව සඳහා භාවිත කරන්නට ඇති බවටද ප්‍රවාද පවතී.

කෙසේ වෙතත් අහස සිපගන්නා හල් ශාක සමූහයක් පසු කරමින් අපි ඉදිරියටම ගමන් කළෙමු. දහවල් කාලයේද ඝන කළුවර පැවතීම හා කොළ තට්ටු කිහිපයක් පොළොව මත වැටී තිබිම හේතුවෙන් මේ වනාන්තරයේ ගමන් කිරිම ඉතා අවදානම් කටයුත්තක් බව හැඟිණි. කෙසේ වෙතත් අහස සිපගන්නා මේ දුම්මල පවතින හල් ශාක සොයා ආ අවදානම් සහිත ගමන අප නිමා කරන විට පැය අටක පමණ කාලයක් ගත වී තිබිණි.

සොබාදහමේ අපූරු තක්සලාවක් වූ මේ නිකුල කන්දේ දුම්මල සොයා යන්නෝ ඉතා අල්ප පිරිසකි. ඔවුහු කිසි විටකත් පරිසරයට කිසිදු හානියක් සිදු කිරීමට නොපෙලඹෙති. අඩුම තරමේ දිරාගිය දර කැබැල්ලක් පවා වනයෙන් රැගෙන නොයෑමට ඔවුහු වගබලා ගනිති. දිරාගිය රූස්ස ගස් පොළොවටම පස් වී ඇති අයුරු දැකීමෙන්ම එය අපට පසක් විය.

කෙසේ වෙතත් කනගාටුවට කරුණක් වූයේ ඇතැම් ස්ථානවල හිස් බීර බෝතල් සහ ගිනි ගොඩවල් ගසා ඉතිරි වූ අඟුරු සහ දර කොටස් දැකගත හැකි වීමය. දැඩි නිහැඬියාවකින් යුතු නිකුල කන්ද අවලස්සන කරන මෙවැනි ක්‍රියාවලින් වළකින ලෙස සංචාරක ඔබගෙන් කාරුණිකව අවසන් වශයෙන් ඉල්ලා සිටිමි.

මේ දුෂ්කර ගමනේදී සහාය දැක්වූ මංජු, මද්දු සහ දිනේෂ් සොහොයුරන් මහත් ආදරයෙන් සිහිපත් කරන්නේ ඔවුන් නොසිටින්නට මේ දුම්මල කන්ද පිළිබඳව ඔබට ලියන්නට නොහැකි වන බැවිනි.

නිකුල කන්දේ (දුම්ර­ග්ගල) දුම්මල ශාක (හල් ගස්) ව්‍යාප්ත වී ඇති අයුරු

නිකුල කන්දේ (දුම්ර­ග්ගල) දුම්මල ශාක (හල් ගස්) ව්‍යාප්ත වී ඇති අයුරු

 

ඉන්දික අරුණ කුමාර-නාඋල සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division