ශ්‍රී ලංකාවේ තරම් ජාතික වීරයන් සිටින රටක් ලොවෙත් නැත. වීරයා ද්‍රෝහියා වී ද්‍රෝහියා වීරයා වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. ‘කන්න ඕනෑ වුණාම කබරගොයා තලගොයා වෙනවා’ යැයි කතාවක් තිබේ. ජාති ද්‍රෝහියා අසුරු සැණින් ජාතික වීරයා ලෙස බවුතීස්ම කොට සමාජයට හඳුන්වා දීම, කිසිදු හිරිකිතයක් නැතිව කළ හැකි දේශපාලකයෝ මෙහි සිටිති. එවැනි එක් නාටකයක් මේ දිනවල කරළියට පැමිණ තිබේ.
වර්තමානයේ රට තුළ ගොඩනැඟෙන ජාතික සමඟිය ජාතිවාදීන්ට වහ කදුරු වී තිබේ. සිංහල ජනතාව අතර ජාතිවාදය වපුරා, රට ලේ විලක් කිරීමට කැසකැවූ අන්තවාදීන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති හමුවේ දැඩි ලෙස කලබල වී ඇත. ඔවුන් කලබල වන්නේ අන් කවරක් නිසා හෝ නොව; දේශපාලන බලය ඩැහැගැනීම සඳහා රට තුළ ජාතිවාදි කුමන්ත්‍රණ ඇටවූ අන්දම හෙළි වෙමින් තිබෙන නිසාය.
බලයේ සිටි ආණ්ඩු විසින් වසර විස්ස තිහ යට ගසා තිබූ මනුෂ්‍ය ඝාතන, මූල්‍ය වංචා, අපරාධ, නීතිය හමුවට ගෙනෙන බවට වර්තමාන ආණ්ඩුව ජනතාවට පොරොන්දුවක් දී තිබේ. ඉතිහාසයේ ප්‍රථම වරට කිසිදු දේශපාලන අතපෙවීමකින් තොරව යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය ඉදිරියට යෑමට අවශ්‍ය පසුබිම ආණ්ඩුව විසින් සකස් කර දී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් නඩු පැවරීම වේගවත් කර ඇත.
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නැඟෙනහිර නායකයකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහාය.
පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ විපක්ෂයේ දේශපාලකයෝ භීතියටත් කලබලයටත් පත් වූහ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක මඟින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට කතා කරන ලද බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ වෙන කිසිවකුට නොව සීඅයිඩියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකුටය. රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියා ඉල්ලා ඇත්තේ හිටපු ජනාධිපති රනිල්ට පිල්ලෙයාන්ට කතා කිරීමට අවශ්‍ය බැවින් දුරකතනය පිල්ලෙයාන් අතට දෙන ලෙසය.
පිල්ලෙයාන් සැකකරුවකු ලෙස රඳවා සිටින්නේ විශේෂ රැඳවුම් නියෝග යටතේය. තමා හිටපු ජනාධිපති බැවින් රැඳවුම් නියෝග යටතේ සිටින සැකකරුවකු හා දුරකතනයෙන් සංවාදයක නිරත වීමට තමාට කිසි බාධාවක් නැතැයි හිටපු ජනාධිපතිවරයා කල්පනා කර ඇති බව පෙනේ.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග යටතේ සීඅයිඩියේ තබාගෙන ප්‍රශ්න කරන්නේ බරපතළ චෝදනා රැසකටය. විශ්වවිද්‍යාල උපකුලපතිවරයකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු එකම කාලයක සිදු වූ අපරාධ වැළක් සම්බන්ධව රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටී.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොලිස් නිලධාරියකු මාර්ගයෙන් කතා කරන්න උත්සාහ කළේ එවැනි චෝදනා එල්ල වූ සැකකරුවකුටය. ඇමතුම ලැබුණු විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඊට කිසි සේත්ම අනුකූලතාව දක්වා නැත. ආරංචි මාර්ග පවසන අන්දමට ඔහු පෙරළා ප්‍රශ්න කර තිබුණේ “මම මගේ නිල ලාංඡනය, ගිනි අවිය සහ විශ්‍රාම වැටුපත් පිල්ලෙයාන්ට භාර දිය යුතුද?” කියාය. මිනීමැරුම් සැකකරුවකුට පෞද්ගලික ජංගම දුරකතනය දීම නීත්‍යනුකූල නොවන බව ඉතා බුද්ධිමත්ව පැහැදිලි කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
පසුගිය අප්‍රේල් 8 වන දින මඩකලපුවේදී පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලැබුවේ 2006දී නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ එවකට උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනා එල්ල වීම නිසාය.
එපමණක් නොව, 1990දී නැඟෙනහිරදී නිරායුධ පොලිස් නිලධාරීන් 700ක් පමණ සමූහ වශයෙන් ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද පිල්ලෙයාන් විමර්ශනයට ලක්ව සිටී. එවකට කරුණා අම්මාන්ද, පිල්ලෙයාන්ද විමුක්ති කොටි සංවිධානයේ නැඟෙනහිර නායකයෝය. රනිල් වික්‍රමසිංහ ද එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ කැබිනට්ටුවේ ඇමැතිවරයෙකි.
මේ අතර පිල්ලෙයාන් හමු වීමට ඉඩ දෙන ලෙස ඉල්ලා උදය ගම්මන්පිලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරිය වෙත විද්‍යුත් ලිපියක් යවා ඇත. ඔහු පිල්ලෙයාන්ගේ ‘නීතිඥයා’ ලෙස කටයුතු කරන බව එහි සඳහන් කර තිබිණි. අප දන්නා තරමින් සාමාන්‍යයෙන් නඩු කතා නොකරන උදය ගම්මන්පිල හදිසියේම පිල්ලෙයාන්ගේ නීතිඥයා වීම තුළ පෙනී යන්නේ අපරාධ රැසක් පිළිබඳ අවුල් ජාලයක් ලෙස පැටලී තිබුණු නූල් බෝලය ලිහෙන්න පටන් ගෙන ඇති බවයැයි නලින්ද ජයතිස්ස ඇමැතිවරයා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබිණි.
අත්අඩංගුවේ සිටින සැකකරුවකුට සිය නීතිඥයා හමු වීමට අයිතියක් ඇති බැවින් පසුගිය 13 දා ගම්මන්පිලට පිල්ලෙයාන් හමු වීමේ අවස්ථාව සලසා ඇත. දෙමළ ජනතාවට විරුද්ධවත්, මුස්ලිම් ජනතාවට විරුද්ධවත් ජාතිවාදී උසිගැන්වීම් කරමින් දේශපාලනයේ යෙදුණු මොවුන් හදිසියේම අංශක 180ක් ආපස්සට හැරී, පිල්ලෙයාන් සමඟ හිටගැනීම පිළිබඳව රජයේත් ජනතාවගේත් දැඩි අවධානය යොමු විය යුතුය.
ජාතිවාදයට උඩගෙඩි දෙන නරුම දේශපාලන හැසිරීම නිසා මේ රට වාර ගණනාවක් ලෙයින් තෙත් වී තිබේ. ඔවුන් මාධ්‍ය හමු තබමින් සාවඥ ලෙස සිනා සෙන්නේ රටේ ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් බව අප අමතක නොකළ යුතුය. මේ රටේ නැවත කිසි දිනෙක ජාතිවාදි ගිනි ඇවිළවීමට ඉඩ නොතබන බවත්, ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයන්ගේ ආණ්ඩුවක් බිහි වී ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක දින දෙකකට පෙර යාපනයේදීත්, මන්නාරමේදීත් ප්‍රකාශ කළේය.
මේ අතර, පසුගිය දිනක මධ්‍ය හමුවක් තබා උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ: “මේ ආණ්ඩුවේ නායකයන් රටේ නීති අමුඅමුවේ උල්ලංඝනය කරමින් නැඟෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ඉන්නවා. මම පිල්ලෙයාන් සමග විනාඩි 30ක් පමණ කතා කළා. පිල්ලෙයාන්ගේ ඇස්වලින් කඳුළු කඩාවැටෙද්දී මට කිවුවා මම කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළා. රට බේරාගන්න උදවු කළාට මට මෙහෙමද සලකන්නේ කියලා. හරි නම් මේ රට කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න ඔහු කළ තීරණාත්මක කාර්යභාරයට ඔහුට ජාතික වීරයකුට ලෙස සලකන්න ඕන. පිල්ලෙයාන් කියන්නේ අවුරුදු 14දී කොටි සංවිධානයෙන් බලහත්කාරයෙන් බඳවාගත් ළමා සොල්දාදුවෙක්. කොටි සංවිධානය ළමා සොල්දාදුවන් බඳවාගත්තා කියන එකට ජීවමාන උදාහරණය පිල්ලෙයාන්.”
නැඟෙනහිර පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය, අරන්තලා භික්ෂු ඝාතනය පමණක් නොව, යුද්ධය අවසන් වූ පසුවත්
නිල නොවන ඝාතන කල්ලි පවත්වාගෙන ගිය බවටත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට විරුද්ධ මත සමාජය තුළ පැතිරී තිබිණි. අවුරුදු 26ක් කොටි සංවිධානයේ ඉදිරිපෙළ නායකයකු ලෙස ක්‍රියා කරමින් මනුෂ්‍ය ඝාතන සිදු කරද්දී අකාලයේ මරුමුව හෙළූ මිනිසුන්ගේ ඇස්වල කඳුළු, ඔවුන්ගේ අඹුදරුවන්ගේ ඇස්වල කඳුළු නුදුටු අන්ධයන් අද පිල්ලෙයාන්ගේ කඳුළු ගැන අඬන්න පටන් ගෙන තිබේ.
පිල්ලෙයාන්ට එල්ල වන සියලු චෝදනා පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු කිරීම ආණ්ඩුවට පැවරී ඇති වගකීමකි. එහිදී ආණ්ඩුවට උපදෙස් දෙන ගොඩ පෙරකදෝරුවන් පිළිබඳ තැකිය යුතු නැත.
ඔවුන් “පිල්ලෙයාන් කොටියා” කියන විටත් ජනතාව පිළිගත යුතුය; “පිල්ලෙයාන් කොටියා නොවෙයි, ජාතික වීරයාය” කියන විට එයත් ජනතාව පිළිගත යුතුය. මෙවැනි කඩප්පුලි කතා කියූ ලන්දේසියාට දෙවැනි රාජසිංහ රජ්ජුරුවන් කිවුවේ “මේ බල්ලා බැඳ දමනු!” කියාය.
වර්තමාන ආණ්ඩුව ජනතාවට ප්රජාතන්ත්රවාදි ලෙස අදහස් පළ කිරීමට උපරිම අවකාශය සලසා දී තිබේ. මොවුන් ඒ අවකාශය යොදාගන්නේ ගිනි ඇවිළීමටය. ඔවුන් සිතා සිටින්නේ දිය බොර වූ විට මසුන් මරාගත හැකිය කියාය.
මේ සිදුවීම් පිටුපස ඇති දේශපාලනය හඳුනාගැනීම අතිශයින් වැදගත්ය. නිශ්චිත දේශපාලන වැඩපිළිවෙළක් නැති මේ කණ්ඩායම් ආණ්ඩුවේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීම සඳහා විවිධ කුමන්ත්‍රණ දියත් කරමින් සිටී. මේ නාටක ආවාට ගියාට මතු වෙනවා නොවේ. රෑට රෑට රහසේ හමු වී කරන කුමන්ත්‍රණවල ප්‍රතිඵල බව ජනතාව තේරුම් ගැනීම වැදගත්ය.
ආණ්ඩුව පිල්ලෙයාන්ට ගහන්නේ බෙදුම්වාදීන් සතුටු කරන්න බව කියන විට රජයේ පරීක්ෂණාංශ සොයා බැලිය යුත්තේ
මේ නාටකය රඟ දැක්වීම සඳහා ඔවුන්ගේ සාක්කුවලට බෙදුම්වාදීන්ගෙන් කොපමණ ඩොලර් වැටෙනවාද යන්නය.
මන්ද යත්: මේ සියල්ල එදාවේල බලාගෙන ගසන ගේම් වන බැවිනි.
– දේශපාලන ලියුම්කරු විසිනි