කලාව වූ කලි සේපියන්ස්ලාගේ අපූරු සොයා ගැනීමකි. වෙනත් විදියකින් කිවහොත්: සේපියන්ස් විශේෂය සතු ප්‍රබන්ධ යථාර්ථකරණය නමැති මානසික ගුණයේ ප්‍රබල සන්ධිස්ථානයකි. මිනිසුන් කලාව ඔස්සේ යම් යම් ජීවන විමුක්තීන්ද පසක් කරගන්නා මාධ්‍යයක් බවට පත් කරගත්තේ මීට වසර දහස් ගණනකට පෙරය.
නාට්‍යයක් නරඹා හුදු විවේක සුවයක් සහ කතාවක් දැන හඳුනාගැනීමට එහා ගිය භාව විරේකයක් දක්වා සියුම්ව කලාව හැසිරවූ මිනිස්සු පුරාණ ග්‍රීසියෙන් හමු වෙති. එනම්: සැබෑ ජීවිතයේදී, ඔබට මිනිසකු ලෙස අත් නොවිඳිය යුතු සිදුවීම් කෙරෙහි ආසක්ත වී, ඒවායින් ඔබට සිදු වන බලපෑම ගැන සහකම්පනයෙන් විඳදරා ගනිමින්, එවැනි දේ සිදු නොවීමේ උත්තුංග පරිචයක් ඇති කරගැනීම දක්වා එකී ප්‍රවේශය ගමන් කර තිබේ.
එය නම් අපූරු දෙයකි. කතාසිස් (Catharsis), නැති නම්, ට්‍රැජඩියෙන් සමාජය විශුද්ධියට පත් කිරීම හෙවත්, භාව විශෝධනය නමැති සංකල්පය එවැනිනකි. එය වූ කලි හෝමෝ සේපියන්ස් මානවයා සතු අතිසියුම් වූ ප්‍රබුද්ධ මානසික කුසලතාවකි. එය, ක්‍රි.පූ. 384-322 දී ග්‍රීසියේ මහාප්‍රාඥයකු වූ ඇරිස්ටෝටල් නමැති දාර්ශනික පඬිරුවන විසින් කලාව කුමටද? යන්න ගැන ගොඩනැඟූ එක්තරා දාර්ශනික අදහසක විස්තර වන්නකි.
කතාසිස් ලෙස උච්චාරණය කරන වදන, ග්‍රීක බසින් ඉංගිරිසියට ගෙඩිය පිටින්ම ආවා වූ හෙවත් තත්සම වදනකි. වදනේ ඇති සංකල්පයද අතිශයින්ම අපූරු දෙයකි. අතිශය සියුම් කලාභාවිතාවක් ඇසුරෙන් අපේ මනස හෙවත් විවිධාකර අහිතකර මනෝභාවයන් සුද්ධ පවිත්‍ර කිරීම නැතහොත් විශුද්ධියට පත් කිරීම මෙහි සරල අරුත ලෙස ගත හැකියි; නැතහොත්, චිත්තවේගීය තත්ත්ව ප්‍රතිසංස්කරණයට බඳුන් කර, ඒවා මනාව ප්‍රතිෂ්ඨාපනය කර ගැනීම ලෙසද හැඳින්විය හැකියි.
වෙසෙසින්ම, යටි සිතෙහි ඔද්දල් වූ බිය සහ යමකු කෙරෙහි වූ සානුකම්පිත තැවීම (Fear and Pity) වැනි භාවමය හැඟීම් සහ සිතිවිලි සමඟ සම්බන්ධ වී, ඒවා සමඟ පොරබදමින්, ඉන් අත්මිදී මනස ශෝධනය කර ලිහිල් කරවීමත්, ඒ ක්‍රමවේදයත් කතාසිස් නමින් හඳුනාගත හැකියි.
තවදුරටත්, මෙය විග්‍රහ කළ විට, කලා කෘතියක් විසින් සිය රසිකයා, ප්‍රේක්ෂකයා නැති නම් ශ්‍රාවකයා ඒ කෘතියේ කිසියම් චරිතයක් සමඟ සියුම්ව සමපාත කරවමින් කෘතියේ කොටසක් බවට පත් කරගනු ලබයි. මෙය සමාරෝපණය, ස්වාත්මීකරණය, තදාත්මීකරණය ආදී නම්වලින් හඳුන්වනු ලැබේ.
බොහෝ විට දුෂ්ටයාට එරෙහිව අදුෂ්ටයාගේ පැත්තේ සිට ගනිමින්, ප්‍රේක්ෂකයා කතාව නමැති මඟ ඔස්සේ සෙමෙන් සෙමෙන් අභ්‍යන්තරයට ගමන් කරයි. එහිදී, එකී පාත්‍රවර්ගයා (චරිත) සමඟ ඒඒ චරිතවල හැඟුම් සිතිවිලි ගුණාංග දැන හඳුනාගනිමින්, ඔවුනොවුන්ගේ අන්තර් ක්‍රියාකාරකම් හරහා විවිධ හැලහැප්පීම් ගට්ඨන මැද්දෙන් තුෂ්ණීම්භූතව, ඊළඟට කුමක් සිදු වේද යන විමසිල්ලෙන් රසිකයා කෘතිය තුළ සැරි සරයි. මේ අපූර්ව රසික චාරිකාව ඔස්සේ, රසිකයා විමුක්තියට පත් කිරීමට දක්ෂ නාට්‍යකරුවා සමත්ය. සැබවින්ම එය රසිකයාගේ ආත්මය අවදි කරවීමකිය.
ඇරිස්ටෝටල්ට අනුව මෙය සිදු කරලීමට උචිතම ඖෂධය වූයේ, දුක්ඛාන්ත හෙවත් ට්‍රැජඩි නාට්‍ය කෘතිය. එහෙත්, නාට්‍යයට පමණක් නොව සෙසු කලාවන්ටද මේ කටයුත්ත ආදේශ කළ හැකිය.
එහිදී, මනුෂ්‍යයන්ට සිදු විය හැකි, අතිශයින්ම සිදු නොවිය යුතු සංසිද්ධි කලාකෘති මඟින් ඉදිරිපත් කරති. ප්‍රේක්ෂකයන් ඒ චරිත සිතුම් පැතුම් සමඟ සහකම්පනය කර, ඒ වධ වේදනා අනුප්‍රාණය කර, සිය ආත්මයෙන්ම එකී හැඟීම් ඉතා සමීපව ඉපදුණු ලෙස දැනෙන ආකරයට තාදාත්මීයව පුබුදුවන්නට ඉඩ හරිනු ලැබේ.
එමඟින් එවැනි දෑ සැබවින්ම සමාජයේ සිදු නොවීමට යම් අදහසක් ගොඩනඟා ගැන්මට රුකුලක් වන්නේ, එහි හොඳ, නරක, සීමා, අනතුරුදායක තැන් ආදී සියල්ල ගැන ප්‍රේක්ෂක මනස ඉබේම දැල්වෙන්න ගන්නා නිසාය. සැබවින්ම, තමාට සිදුව නැතත්, කලාව ඔස්සේ දැඩිව ඒ හැඟීම සිය ආත්මයම සහකම්පනය කර, ඒ මොහොත වින්දනය කර, එහි වූ ත්‍රාසය, බිය, සංකාව, වරදකාරි බව, සානුකම්පිතව තැවීම වැනි භාවමය හැඟීම් නග්නව ස්පර්ශ කරන්නට ඉඩහැරීම ඊට අවශ්‍ය මනෝශක්ති අමුද්‍රව්‍ය සපයයි. එහෙත් එය නාට්‍යයක් හෝ කලාකෘතියක් බව සුළු මොහොතකින් පසු ප්‍රේක්ෂකයා දැන ගනියි. එනම් නැවත, ප්‍රේක්ෂකයා යම් සැනසීමක් ලබන්නේ, තමා ඒ හැඟීම වින්දත්, සැබවින්ම තමාට එය සිදු නොවූ බවට වටහා ගැනීමෙනි.
එවකට ග්‍රීසියේ ඇතන්ස්හි වැසියන් අතර ට්‍රැජඩි හෙවත් දුක්ඛාන්ත නාට්‍ය කලාව අතිශයින්ම ප්‍රචලිතව තිබේ.
එස්කලස්, යුරොපිඩීස්, සොපොක්ලිස් වැනි නාට්‍යකරුවන්ගේ කෘති අතිශයින්ම ජනාදරයට පත්ව තිබූ බව කියැවේ. විශිෂ්ට නාට්‍ය කෘතියක් කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඇරිස්ටෝටල් විසින් ලියා තිබේ:
“අපේ ජීවිතවලට ස්වාභාවිකව බොහෝ ප්‍රශ්න ඇති වේ
අනුකම්පා විරහිතවම.
සමහර විට අපි තැවුණේ නැති වුණත්, තැවෙන්ඩම ඕනෑ ඒවාය. එක්කො අප භීතිය අධිරංගයෙන් වැඩි කර දෙනවා හෝ කිසිදු බියක් නැතැයි පෙන්වයි.
අප ඇතුළු යහපත් මිනිසුන්ට ඉතා බියකරු දේ සිදු විය හැකි බව දුක්ඛාන්ත අපට මතක් කර දෙයි.
ඉතා කුඩා දෝෂයකින් සමස්ත ජීවිතයම දිගඇරිලා විනාශ වෙලා යන්න පුළුවන්.
·එහිදී අපට බොහෝ අනුකම්පාව/ කරුණාව සහ සහකම්පනය අවශ්‍ය වේ.
කාගේ හෝ වැරදි ක්‍රියාවලියක් විනාශකාරි ලෙස බලපායි.”
මෙවන් තීරණාත්මක සත්‍යය ගැන, දිනපතා එක්ව යළි සිතා බැලිය හැකි ක්‍රමවේදයක් ගොඩ නඟාගැනීමේ ප්‍රබල අවශ්‍යතාවක් තිබේ. ඒ අනුව ඇරිස්ටෝල් පවසනුයේ, අපේ ජීවිතය හා සබැඳි මනස සම්බන්ධ මේ ගැඹුරු සත්‍යය නිර්මාණය කිරීමේ කාර්යභාරය කලාවට තිබෙන බවයි.
නිදසුනක් ලෙස සොපොක්ලීස්ගේ ඊඩිපස් රජු නාට්‍යය දෙස බලමු: එහිදී ඊඩිපස් රජු සිය පියා මරා දමයි. ඉන් පසු සිය මව විවාහ කරගනී. මෙය මහා ව්‍යභිචාරී කතා වස්තුවක් වුවද, නාට්‍ය පෙළ තුළ එය සිද්ධ කරන්නේ ඊඩිපස් හෝ ඇයගේ මව ඒ කිසිවක් නොදැනය. නාට්‍යකරුවාගේ විශිෂ්ටත්වය එයය. සියල්ල හෙළි වීමත් සමඟ එම ජීවිත විනාශයට පත් වෙයි.
දුක්ඛාන්ත රසවින්දනය මඟින් එවැනි වැරදි සමාජය තුළ වීම අවම කරගැනීමට මිනිසාව සංවේදි කරයි; දැනුම්වත් කරයි; ප්‍රඥාවන්ත කරයි.
“අපොයි ඔය බටහිර මඟුල් අපට වැඩක් නෑ. අපේ බෞද්ධ සාහිත්‍යය තුළ ඔයිට වැඩිය හුඟාක් දියුණු දේ තියෙනව…” යැයි ඔබට මඳකට සිතිය හැකිය. එක්තරා දුරකට එහිද සත්‍යයක් තිබේ. පටාචාරා, සෝපාක, අංගුලිමාල, අජාසත්ත සහ බිම්බිසාර මෙන්ම ජාතක කතා ද ඊට කදිම නිදසුන්ය. ඒවායෙන්ද යම් කැතාසිස් පන්නයේම චිත්ත විශුද්ධියක් කරා මානව ප්‍රජාව හසුරුවතැයි ඉඳුරාම සේපියන්ස් ගොයියාද විශ්වාස කරයි. අවසානයේ එහිදී ජීවිතයේ අනිත්‍ය, සංසාර බිය ඇති කර, ත්‍රිවිධ රත්නයේ සරණින් සසර අහෝසි කරගැනීමේ ක්‍රමවේදයකට ගෙන යයි.
එහෙත්, ඇරිස්ටෝටල් ගෙ කැතාසිස්හිදී, එලෙස සසර කෙළවර කිරීමකට වඩා, පවතින ජීවිත යථාර්ථයන් තුළ, මානව සමාජය, වඩා හොඳින් පවතිමින්, එවාට සංවේදි මනුෂ්‍යයන් ලෙස මුහුණ දෙන ආකාරය ගැන කතා කරතැයි පෙනේ.
කොතරම් සියුම් දර්ශන ඇතත්, කිසිදු සංවේදනයක්, සහකම්පනයක් නැති ජනසමාජයක් බිහිව ඇති නම්, එය ආපසු හරවා, නැවත, සහකම්පනයෙන් අනූන, ජීවිතයේ යථාර්ථයන් සමඟ වඩාත් යහපත් මානව පරිසරයක් ගොඩනංවා ගැනීමට කලාව දියුණු මානයකින් යොදාගත යුතුය.
ලොව වැඩිම ළමා අතවර, කාන්තා අතවර සිද්ධ වන ජනසමාජයක් බවට මෙරට පරිවර්තනය වී ඇති නම්, ඊට වඩා ට්‍රැජඩියක් තවත් නැතිය. එසේම, විවිධ ආබාධිත මෙන්ම ලිංගිකත්වය අනුව අවමානයට හිංසාවට පාත්‍ර කෙරෙන ජනසමාජයක් ගොඩනැඟී ඇති නම් සංවේදී සහකම්පනයෙන් යුක්ත, ජනසමාජයක් ගොඩ නඟා ගැනීමේ වගකීමක්ද තිබේ.
කලාකරුවන්, බුද්ධිමතුන් ඇතුළු සෑම වගකිව යුත්තෙක්ම මේ සඳහා පියවරගත යුතුය. කලාවට අනුග්‍රාහකත්වය දක්වන ව්‍යාපාරවල වාණිජ්‍ය පරමාර්ථද යහපත් සමාජයක් ගොඩ නඟා ගැනීම පිණිස කතාසිස් ක්‍රමවේදය තම තමන්ටද අදාළ කරගනිමින්, සිතිවිලි දියුණු සේපියන්ස් මනස් ගොඩනැඟීමට පෙළ ගැසිය යුතුව ඇත. මක්නිසාද යත්: දකුණු ඉන්දීය බොහෝ කලා නිර්මාණ, හුදු අපරාධ හැඟීම් අවුළුවමින් සමාජ අසාධාරණයට එරෙහිව ඕනෑම අපරාධයක් කරන, අපරාධ වීරචරිත උත්කර්ෂයට නංවමින් සිටිතැයි පෙනේ. ඒ ජනප්‍රිය රැල්ල වෙනස් කිරීමට, දියුණු සේපියන්ස් මනසක් ගොඩනඟාගැනීමට කලාකරුවන් ඇතුළු වගකිව යුතු සැමද දැනුමෙන්, අත්දැකීමෙන් සහ ප්‍රඥාවෙන් සන්නද්ධ විය යුතුව තිබේ.
එනිසාම, සමාජයේ හිතන්න හැකි සියුම් බුද්ධියක් ඇති ප්‍රජාව කලාව සාහිත්‍ය ආදී සියලු දේ ගැන දාර්ශනිකවත් බුද්ධිමත්වත් හිතන්න අවශ්‍යය. කුමන හෝ ක්‍රමවේදයකින්, තම තමන් විසින්, සිය චිත්ත පාරිශුද්ධියට පත්ව විනය ගරුකව හැඩගැසීම දියුණු සේපියන්ස්ලාගේ ග්‍රහලෝකය ආදරණීය ස්ථානයක් බවට පත් කරගැනීමකි.
එලෙස සිතන පතන ආකාරය පිළිබඳව දැන ඉගෙනගන්නට බුදු දහම, කිතු දහම ආදි ආගම දහම් වගේම බටහිර දාර්ශනික ප්‍රවේශත් ස්පර්ශ කිරීම සුපිරි සුසංයෝග හරහා සිද්ධ වන සුන්දර භාව විරේචනයකි; නැතහොත් කතාසිස් එකකි.