Home » අධ්‍යාපනයේ බෙදීම නතර වන්නේ කවදාද?

අධ්‍යාපනයේ බෙදීම නතර වන්නේ කවදාද?

by Mahesh Lakehouse
April 19, 2025 12:28 am 0 comment

අප අධ්‍යාපනය ලැබුවේ මිශ්‍ර පාසල්වලය. එනිසා අපට ස්ත්‍රීභාවය හෝ පුරුෂභාවය හෝ අපභ්‍රංශයක් නොවීය. එසේම ඔවුනොවුන් සමානව සැලකූ අතර අන්‍යෝන්‍ය ගෞරවයද ආරක්ෂා විය. නමුත් පසුකාලීනව වර්ධනය වූ බාලක බාලිකා පාසල් ක්‍රමය නිසා වර්තමානයේ සමාජ ගැටලු රාශියක් පැන නැඟී තිබේ. උදාහරණයක් ලෙස මෙම පාසල්වල අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනා සමාජ ජීවිතයේදී සාර්ථක වන අවස්ථා මෙන්ම විවිධ මානසික රෝගවලට ගොදුරු වන අවස්ථාද විරල නොවේ. හිස්ටීරියාව, විශාදය හා කාංසාව වැනි රෝගී තත්ත්වයන්ට මේ අය පහසුවෙන් ගොදුරු වෙති. එක් දරුවකු සිටින පවුලක දරුවකු මෙවැනි පාසලක ඉගෙන ගත් අයකු නම් බොහෝ විට පසුකාලීනව මෙම රෝගී තත්ත්වයන්ට ගොදුරු වන බව පෙනීයයි. එසේම පවුල් ජීවිත අසාර්ථක කර ගන්නා පිරිසද බෙහෙවින් වැඩිය. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුනොවුන් අතර අවබෝධය අවම වීමය.

ලොව සියලුම රටවල පාසල් පද්ධතිය තුළ මේ වෙන් කිරීම අද දක්නට නොමැති අතර ජාතිය ආගම මත පදනම්ව වෙන් කිරීමද දක්නට නොලැබේ. එහෙත් අවාසනාවකට යටත් විජිත සංකේතයක් ලෙස අප රට තවමත් මේ ක්‍රමය පවත්වාගෙන එයි.

මේ ක්‍රමයෙන් වෙන්ව ඇති වූ මිශ්‍ර පාසල්වල මොහොමඩ්ලා, ගෞරිලා රාමචන්ද්‍රන්ලා දැකිය හැකි වුවද අද පාසල්වල ඒ අය නොමැතිය. අද අප ස්ත්‍රී පුරුෂ වශයෙන් පමණක් නොව ජාතිවාදීව, ආගම්වාදීව, උසස් පහත් ලෙස පාසල් පද්ධතිය බෙදා අවසානය.

මෑතකදී කොළඹ කිතුනු උසස් බාලිකා පාසලකට දියණියක ඇතුළත් කිරීමට ගිය විට පියා බෞද්ධ වීම මත පාසලට ඇතුළත් කිරීමේ ගාස්තුව ලෙස ලක්ෂ නවයහමාරක් ඉල්ලා තිබුණි. ඒ එම දරුවාගේ වැඩිමහල් සොයුරිය පාසලේ ඉගෙන ගන්නා අතරම, මව එම පාසලේම ආදි ශිෂ්‍යාවකව සිටියදීය.

මේ රටේ 30 වසරක් පුරා පැවති යුද්ධයට පදනම දැමූ බීජ මේ ගැටලුකාරී අධ්‍යාපන ක්‍රමවේදය තුළම පැවතිණි. එනිසා පාලකයින්ට තම අවශ්‍යතාව අනුව එවැනි තත්ත්වයන් නිර්මාණය කිරීම පහසු විය.

ජාතිවාදය ආගම්වාදය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය නියෝජනය කරන සියලු දෙනාට ගෞරවනීයව එකසේ ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ අරමුණ වී තිබේ. එය සාක්ෂාත් කිරීමට නම් මේ බෙදා වෙන් කළ අධ්‍යාපන රටාව වහා වෙනසකට ලක්කළ යුතුමය.

එහිදී ඊට එදිරිව විවිධ බලවේග නැඟී සිටියද අාණ්ඩුව ඊට යටත් නොවිය යුතුය. එහිදී මේ රටේ බහුතර ජනතාව ආණ්ඩුව සමඟ එක මිටට සිට ගනිති. මන්ද ඔවුන් මේ බෙදීම නිසා ඕනෑවටත් වඩා වන්දි ගෙවා ඇත. තම දරුවන්ට ඒ ඉරණම අත්වනවාට ඔවුන් අකමැතිය.

අධ්‍යාපන අමාත්‍යතුමිය ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍යතුමියත් ආණ්ඩුවත් මේ පිළිබඳ අවධානය යොමු කරනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.

සමාජ ප්‍රගමණය උදෙසා 
ජනතා සංවිධානය – කොළඹ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division