දහසය වසරකට පසු සිරි දළදා වහන්සේ සියැසින් දැක බලාගැනීමේ දුර්ලභ අවස්ථාව පෙරේදා (18) මෙරට ජනතාව හිමි විය. සිරි දළදා වන්දනාව ආරම්භ වීමට පැය 48කටත් පෙර සිටම බැතිමතුන් මහනුවරට පැමිණ පෝලිම්වලට එක්ව සිටියේ මෙවර මිලියන 2කට වැඩි ජනතාවක් පැමිණෙනු ඇති බවට ඉඟි කරමිනි.
ජනපති අනුර කුමාර දිසානායක මහතාගේද සහභාගිත්වය ඇතිව සිරි දළදා වන්දනාව පෙරේදා (18) දහවල් ආරම්භ වූ අතර, මේ අවස්ථාවට මහජන නියෝජිතයන් මෙන්ම විදේශීය තානාපතිවරුන් ඇතුළු ප්‍රභූ පිරිසක් එක්ව සිටියහ.
සාමාන්‍ය ජනතාව සඳහා පස්වරු 2.45ට දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව හිමි වූ අතර, ඒ වන විටත් කිලෝ මීටර් 5කට වැඩි දුරකට පෝලිම් දිගු වී තිබුණේ දිවයිනේ සතර දෙසින් කල්වේලා ඇතිව පැමිණි බැතිමතුන් ඉඩ වෙන් කරගැනීම හේතුවෙනි.
මහනුවර රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත ඔස්සේ වැව රවුම වටා එක් පෝලිමක්ද මහනුවර අවන්හල දෙස සිට වැව රවුම දිගේ උල්පැන්ගේ ඉදිරිපිටින් එක් පෝලිමක්ද මහනුවර ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය හා දේව වීදිය ඔස්සේ තවත් පෝලීමක් ද බැතිමතුන් වෙනුවෙන් ස්ථාපිත කර තිබේ. මේ පෝලිම් තුනේම පැමිණෙන බැතිමතුන් මහ මළුවට පැමිණි පසු එක් පෝලිමක් ඔස්සේ ගමන් ගෙන ශ්‍රී දළදා මාලිගාවට ප්‍රවිෂ්ට වීමෙන් අනතුරුව ඉහළ මාලයේදී දළදා වහන්සේ වැඳපුදාගත යුත්තේ යළිත් පෝලිම් තුනක් ඔස්සේ ගමන් ගැනීමෙනි.
එකවර වැඩි පිරිසකට දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව සලසා දීම සඳහා මේ පියවර ගෙන තිබෙන අතර, විනාඩියකට 8-10 අතර පිරිසකට දළදා වන්දනාව සඳහා අවස්ථාව සැලසීම මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ සහ දියවඩන නිලමේවරයාගේ අරමුණ බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ පවසයි. ඒ අනුව සිරි දළදා වන්දනාව පැවැත්වෙන දින 10ක කාලය තුළ ලක්ෂ 15-20 අතර පිරිසකට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව ලබාදීමට හැකිවනු ඇති බවද ඒ මහතා කීය.
පසුගිය සිකුරාදා (18) පස්වරු 2.45ට පමණ සාමාන්‍ය ජනතාවට දළදා වහන්සේ දැකබලා ගැනීමේ අවස්ථාව හිමි වූ අතර, ඉතිරි දින 9 දී දෛනිකව දහවල් 12.30 සිට ප.ව. 5.30 දක්වා දළදා වන්දනාව සඳහා ජනතාවට අවස්ථාව සලසා දීමට තීරණය කර තිබෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පැවසීය.
දළදා වහන්සේ වන්දනා කිරීමේ අරමුණින් පෝලිම්වලට වී රැය පහන් කරන බැතිමතුන් වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව මඟින් විශේෂ දන්සලක් ක්‍රියාත්මක කර තිබේ. එමඟින් දෛනිකව 30,000-35,000 අතර පිරිසකට රාත්‍රි ආහාරය පිරිනැමීමට නියමිතය. මීට අමතරව පුද්ගලයන් හා විවිධ සංවිධාන 330ක් දන්සල් ලබාදීම සඳහා මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබේ.
මෙවර දළදා වන්දනාව වෙනුවෙන් කිසිදු විශේෂ අවසර පත්‍රයක් නිකුත් නොකරන බවත්, මහා සංඝරත්නය හා ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පමණක් විශේෂ ප්‍රවේශ පහසුකම් සැලසීමට තීරණය කර තිබෙන බවත් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේය.
මේ අතර, සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා මහනුවර නගර සීමාවේ සහ ඉන් පිටත රථගාල් 25ක් ස්ථාපිත කර තිබෙන අතර, මහනුවර නගරාසන්නයේ රථගාල් 12ක් සහ ඉන් පිටත 13ක් ලෙස මේවා ස්ථාපිත කර තිබෙන බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ කීය. දළදා වන්දනාව සඳහා බැතිමතුන් පැමිණෙන වාහන නගරයට ඇතුළු කර නොගන්නා බවත්, ඒ වාහන කටුගස්තොට, තැන්නකුඹුර, පේරාදෙණිය, පොල්ගොල්ල, මහයියාව, පල්ලේකැලේ හා ගුරුදෙණිය ඇතුළු ස්ථාන කිහිපයක නතර කර, බැතිමතුන් බස් රථවලින් නගරය කරා රැගෙන ඒමට සැලසුම් කර තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
දෛනික අවශ්‍යතා සඳහා මහනුවරට පැමිණෙන ජනතාවගේ වාහන නගරයේ නවතා තැබීමට අවසර නොදෙන බැවින් ඔවුන්ට වේවැල්පිටිය ක්‍රීඩාංගණය, සහස් උයන රථගාල, ගැටඹේ මහානාම ක්‍රීඩාංගණය, මහයියාව සුසාන භූමිය ඉදිරිපිට මාර්ගය, මහනුවර නාගරික රථගාල, බෝගම්බර ක්‍රීඩාංගණය ඇතුළු ස්ථාන 12ක් වෙන් කර තිබෙන බවද මාසිංහගේ මහතා කීවේය.
නගරයට ඇතුළු වන සියලු මාර්ග ආවරණය වන පරිදි මාර්ග බාධක යෙදීමට පියවර ගෙන තිබෙන බවත්, දළදා මාලිගාවේ සහ බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ 10,000ක් සේවයේ යොදවා තිබෙන බවත් ඒ මහතා කීය. දළදා මාලිගා පරිශ්‍රයේ පමණක් සිවිල් නිලධාරීන්ද සමඟ පොලිස් නිලධාරීන් 1,060ක් සේවයේ යොදවා ඇතැයිද හෙතෙම පැවසුවේය. විශේෂ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් පැමිණෙන්නාක් මෙන් නම ගිය ගැට කපන්නන් ද මෙවැනි අවස්ථාවක නගරයට පැමිණෙන බව අත්දැකීමෙන් දන්නා බවත්, ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන මට්ටමින් විමසිලිමත්ව තොරතුරු රැස් කර තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
සිරි දළදා වන්දනාව සඳහා මහනුවර පැමිණෙන බැතිමතුන්ගේ පහසුව පිණිස පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය මඟින් පොලිස් නිල වෙබ් පිටුව ඔස්සේ සේවා රැසක් ක්‍රියාත්මක කර තිබෙන බවද, මහනුවරට පැමිණීමට පෙර එය පරිශීලනය කර අවබෝධයක් ගැනීමෙන් බැතිමතුන්ට අපහසුතා රැසක් මඟහරවාගත හැකි බවද පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ වෙබ් පිටුවට පිවිසීමෙන් පසු සිරි දළදා වන්දනාව ලෙස නම් කර තිබෙන අයිකනය ඔස්සේ දළදා වන්දනාව හා සම්බන්ධ සියලු තොරතුරු ගැනීමට හැකි බවත් කීය. දළදා වන්දනාව සඳහා මහනුවර පැමිණෙන ජනතාවට සපයා තිබෙන උපදෙස් හා සේවා මොනවාද යන්න මෙන්ම අදාළ දිනයේ රථ වාහන ගාල් කිරීම සඳහා රථගාල්වල පවතින ඉඩකඩ සම්බන්ධ තොරතුරුද මෙමඟින් ලබාගත හැකි බව හෙතෙම අවධාරණය කළේය.

පෝලිමේ සිටි වන්දනාකරුවන්ට සංඝරත්නය විසින්
ආහාරපාන (දන්සලකින්) පිරිනැමූ අවස්ථාව

මහ මඟ දිගටම දිගු පෝලිම්

දළදා මැඳුරු පරිශ්‍රයේ රැස්ව සිටි අතිවිශාල ජනකායෙන් කොටසක්