පාස්කු ඉරුදින ප්‍රහාරයේ 6 වැනි වසර සිහි කිරීමේ වැඩසටහන හෙට (21 සඳුදා) කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික නායකයන්, තානාපතිවරුන් සහ වින්දිත ජනතාවගේ සහභාගිත්වයෙන් කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී පෙරවරු 8.30ට ආරම්භ වේ.
එදින උදෑසන 7.00ට කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැඳුරෙන් ඇරඹෙන යැදුම් පා ගමන කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානය වෙත ගමන් කෙරෙන අතර, උදෑසන 8.45ට සියලු ආගමික ස්ථානවල සීනු නාද කිරීම සහ මිනිත්තු 2ක නිශ්ශබ්දතාවක් රැකීම සිදු කෙරේ.
එහිදී වින්දිතයන්ගේ විශ්වාසයේ අත්දැකීම් ඇසුරෙන් මාධ්‍යවේදිනි සුරේකා නිල්මිණි ඉලංකෝන් විසින් සම්පාදිත ‘පාස්කු යාගය ලෙයින් පිදූ විරුවෝ’ කෘතියද එළිදැක්වෙන අතර, එදින උදෑසන 8.15ට කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වෙන්නේ අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා සහ ජේ.ඩී. ඇන්තනි හිමිපාණන්ලාගේ ප්‍රධානත්වයෙනි.
එදින සවස 4.30ට කාදිනල් හිමිපාණන්ගේ සහ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වින්දිත පවුල් 10කට නිවාස පිරිනැමීමේ උත්සවය කටුවපිටියේදී පැවැත්වෙන අතර, සවස 5.30ට වතිකානයේ ශුද්ධාසනය විසින් ප්‍රහාරවලින් මියගිය පුද්ගලයන් ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස පිළිගැනීම කාදිනල් හිමිපාණන් විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දේව මෙහෙය පැවැත්වේ.