සිරි දළදා වන්දනාව ආරම්භක දිනය වූ පෙරේදා (18) ලක්ෂයකට ආසන්න බැතිමතුන් පිරිසකට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව හිමි වූ බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ පැවසීය.
පොදු ජනතාව වෙනුවෙන් සිරි දළදා වන්දනාව එදින පස්වරු 3.30ට ආරම්භ කිරීමට නියමිතව තිබුණත්, මහා සංඝරත්නයේ සහ සංවිධායක මණ්ඩලයේත් පොලීසිය ඇතුළු සෙසු ආරක්ෂක අංශවලත් කැප වීම නිසා පස්වරු 2.45 වන විට ජනතාවට දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව සලසා දීමට හැකි වූ බවද ඒ මහතා කීය.
සිරි දළදා වහන්සේ සියැසින් දැක වන්දනා කිරීම සඳහා පොදු මහජතාවට අවස්ථාව සලසා දෙමින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින කුටියෙන් පෙරේදා (18) දහවල් පිටතට වැඩම කරනු ලැබුවේ 16 වසරකට පසුවය. එහි සමාරම්භය සලකුණු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක දළදා වහන්සේ උදෙසා පුෂ්පෝපහාර දැක්වූවේය.
මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම ප්‍රමුඛ උභය මහා විහාරීය අනුනායක හිමිවරු ඇතුළු සංඝ සභාව නියෝජනය කරන මහා සංඝරත්නයද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සහ නාථ හා පත්තිනි දේවාල බස්නායක නිලමේවරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.
කරඬු 7ක් තුළ ආරක්ෂිතව තැන්පත් කර තිබෙන දළදා වහන්සේ මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් විසින් පිටතට වැඩම කර මල්වතු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත භාර දීම චාරිත්‍රයකි. අනතුරුව මල්වතු මහනාහිමියන් විසින් දියවඩන නිලමේතුමන් අත තිබෙන වජ්‍රමය කරඬුවේ දළදා වහන්සේ තැන්පත් කරනු ලබති. දියවඩන නිලමේවරයා දළදා වහන්සේ වැඩ සිටින කුටියෙන් පිටතට වඩමවාගෙන පැමිණ පිරිත් මණ්ඩපයේ තැන්පත් කරනු ලබන්නේ ඉන් පසුවය.