විපක්ෂය කියන්නේ බඩු මිල වැඩි නිසා මිනිස්සුන්ට අවුරුදු කන්න බැරි වුණා කියලා…
අපි නිතරම ජනතාව එක්කයි ඉන්නෙ. ජනතාව නම් එහෙම කියන්නෙ නැහැ. ඔවුන් පුදුම සතුටකින් ඉන්නෙ. ඒකට හේතුව බඩු මිල අඩු වීම වගේම රටේ තියෙන සාමකාමී බව. අවුරුදු සමයේ ගමනාගමනය ඉතා හොඳින් සිදු වුණා. කවුරුත් බස්වල පෝලිම්වල හිටියෙ නැහැ. ඒ නිසා මේ පාර කරදරයක් නැතිව අවරුද්ද සමරන්න පුළුවන් වුණා කියලා ආගිය හැම තැනකදිම ජනතාවගෙන් අහන්න ලැබුණා. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වීම ඔවුන්ට තවත් සතුට දනවන කාරණාවක් වෙලා තිබුණා. අපි කියන්නේ නෑ, සීයට සීයක් හැම දේම සම්පූර්ණ වෙලා තියෙනවා කියලා. ඒත්, පහුගිය අවුරුදු ගානට සාපේක්ෂව ඔවුන් ඉතා සතුටින් ඉන්න බව ජනතාව අපට කියනවා.
ඒත් විපක්ෂ නායකතුමා නම් කියන්නේ ජනතාව තුන්වේල කන්න නැතුව හාමතේ ඉන්න බවයි…
අපි විපක්ෂයෙන් බලාපොරොත්තු වන්නේ සාධනීය අදහස් වුණාට විපක්ෂයේ තත්ත්වය ඕකයි. අවුරුදු ගානක් තිස්සේ බලයේ හිටපු එයාලා හිතුවේ සමස්ත රටම එයාලගේ කියලා. එහෙත් ජනතාව ගත් තීන්දුව නිසා බලාපොරොත්තු නොවුණු විදිහට බලය අහිමි වීම දරාගන්න බැරි වුණා. ඒ නිසා ඇති වුණු ඊර්ෂ්‍යාවයි, දේශපාලන කුහකකමයි තමයි ඔය ප්‍රකාශවලින් එළියට එන්නෙ. එයාල කරපු නීති විරෝධී දේවලුත් දැන් ක්‍රමයෙන් සමාජගත වෙමින් තිබෙනවා. ඒ වගේම, පහුගිය කාලේ එයාලට කරන්න බැරි වුණු දේවල් අපි දැන් කරනවා. ඒ නිසා විපක්ෂයට දැන් වෙලා තියෙන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්. මේ හේතු නිසා ඇති වුණු බය, ඊර්ෂ්‍යාව සහ දේශපාලන කුහකකම විපක්ෂයේ හැම ප්‍රකාශයකින්ම එළියට එනවා. මම හිතන්නෙ ඒක මනෝ විද්‍යාත්මක කාරණයක්. ඒ නිසා ඔය වගේ ප්‍රකාශ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.
ඔබට හිතෙන්නෙ නැද්ද මීට වඩා වැඩි වෙනසක් ජනතාව වර්තමාන ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණා කියලා?
මේ වෙද්දි අපි කාරණා තුනක් ඉෂ්ට කරලා තියෙනවා. අවුරුදු හැත්තෑ ගාණක් තිස්සේ කිසිම ආණ්ඩුවකට කරන්න බැරි වුණ දේවල් මාස 6ක් ඇතුළත අපි කළා. පළමු කාරණාව, අපේ රට ලෝකය ඉස්සරහ ලේබල් වෙලා තිබුණේ සිංහල ජාතිවාදී රාජ්‍යයක් විදිහටයි. උදාහරණයක් කියනවා නම්: ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වෙලා රුවන්මැලි සෑය ඉස්සරහදි කිවුවා මම බිහි වුණේ සිංහල බෞද්ධ ඡන්දවලින් කියලා. 83 කළු ජූලිය වගේ සිදුවීම් අපේ රටේ දිගින් දිගටම පැවති ස්වභාවයත් එක්ක ඒ මතය ලෝකෙ පුරා ගිහින් තිබුණා. අපේ ආණ්ඩුවට පුළුවන් වුණා ඒ මතය වෙනස් කරලා, මේක ශ්‍රී ලාංකික රාජ්‍යයක් බවට පත් කරන්න. දෙවැනි කාරණය, රාජ්‍ය නායකයන් පවා මහබැංකුව කොල්ලකන, දේපළ අවභාවිත කරන, පිරටටින් එන ආයෝජකයගෙන් පවා පගාව ඉල්ලන, අන්ත දූෂිත රාජ්‍යයක් විදිහටයි ලෝකය අපේ රට දැනගෙන හිටියෙ. ඒ වගේම රාජ්‍ය පාලකයාම අමුඅමුවේ නීතිය කඩන, නීතියක් නැති රටක් විදිහට ලෝකේ ප්‍රසිද්ධ වෙලා තිබුණා. මේ කාරණා තුන නිසා ලෝකය ඉදිරියේ අපේ රටට ඔළුව උස්සන්න බැරි තත්ත්වයක් තිබුණා. පහුගිය මාස 6 ඇතුළත අපි ඒ නරක ප්‍රතිරූපය වෙනස් කරලා හොඳ ප්‍රතිරූපයක් ගොඩනඟලා තියෙනවා. ඒ නිසා ලෝක නායකයෝ අපේ රට එක්ක සුහද ගනුදෙනුවලට ඇවිත් තියෙනවා.
ආණ්ඩුව හෙමින් හෙමින් අඩිය තියද්දි, විපක්ෂය අළු ගසාදාලා නැඟිටින බවක් පේන්න තියෙනවා කිවුවොත්…
ඒක නැඟිටීමක් නෙවෙයි, ඝෝෂාවක් විතරයි. ගැඹුරු මුහුදේ ඝෝෂාව නැහැ නෙ. ඝෝෂාව එන්න එන්න මුහුදෙ ගැඹුර අඩු වනවා. එදා දවසේ රෝල ගහන්න, මොකක්හරි කෑල්ලක් අරගෙන කතා කරලා එදා දවසින් ඒක ඉවර වෙන, ටීවී චැනල් කිහිපයක උදවුවෙන් ඒවා ප්‍රචාරය කරගන්න විපක්ෂයක් නෙ දැන් තියෙන්නෙ. ඒත් ජනතාව ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිසංස්කරණ ගැඹුරින් තේරුම් අරගෙන තියෙන බව හරිම පැහැදිලියි. රජයේ සේවකයෝ වෙනදට වඩා උනන්දුවෙන් සහ වේගයෙන් වැඩ කරනවා. ජනතාව අපෙන් අහනවා ඔවුන් මොනවද කරන්න ඕනෑ කියලා. පිටරට ඉන්න අය අපෙන් අහනවා, එයාලගේ මුදල් කොහොමද ලංකාවට යොදවන්නෙ කියලා. විපක්ෂය මොන මොන සෙල්ලම් දැම්මත්, ඇත්ත කතාව තියෙන්නෙ එතැන.
අනුරට කරන්න බැරි නම් මට දෙන්න කියලා නාමල් රාජපක්ෂ ඉල්ලනවා…
ඕවට කියන්න තියෙන්න ‘සභාවේ සිනා’ කියලා.
‘ලොකු ප්‍රසිද්ධියක් දීලා අත්අඩංගුවට ගත්තට, ප්‍රමාණවත් පරිදි කරුණු ඉදිරිපත් වෙලා නැහැ කියලා ගෙදර යවනවා,’ කියලා ආණ්ඩුවට චෝදනාවක් නැඟෙනවා නේද?
අත්අඩංගුවට ගැනීමක් තුළ කරුණු කිහිපයක් සිදු විය යුතුයි කියලා මම හිතනවා. වැරදි කරපු අයට දඬුවම් දීලා යුක්තිය පසිඳලීම වගේම නීතිය සහ නීතිය භාවිත කරන ආකාරය සර්ව සාධාරණ විය යුතුයි. ඒ වගේම ඒ ක්‍රියාවලිය හරහා අනාගතය ආරක්ෂිතයි කියලා ජනතාවට දැනෙන්න ඕන. ඔය කරුණු තුනම එකට එන්නෙ නැතුව එකක් විතරක් ස්ථාපිත කරලා වැඩක් නැහැ. දඬුවම් දෙනවා කියලා නිකම් රිද්දලා වැඩක් නැහැ. වරදක් නොකළ අයකුට දඬුවම් දීමක් වරදක් කියන නීතියේ පදනම බිඳින්නේ නැතුවයි අපි වැඩ කරන්නේ. හරියට නඩු අහලා තොරතුරු හොයාගෙන ක්‍රියාත්මක වෙනවා. ඒ සමස්ත ක්‍රියාවලිය තුළ ජනතාවට දැනෙන්න ඕන මේක ඇතුළෙ වැරදි කරලා නිදහසේ ඉන්න බැහැ කියලා. ඒක ඉදිරි අනාගත පරම්පරාවටම දෙන පණිවිඩයක්.
ඔබ පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව නියෝජනය කරනවා. ඒ මඟින් හෙළි වූ මහා පරිමාණ දූෂණවලට සම්බන්ධ මූල්‍ය අපරාධකරුවන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද?
අපරාධකරුවන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය සඳහා අපි ඒ තොරතුරු රහස් පොලීසිය, අල්ලස් කොමිසම ඇතුළු ඒ පිළිබඳ විමර්ශනය කරන අංශවලට යොමු කරනවා. අපට ඉතා හොඳ විගණකාධිපති දෙපාර්තමේන්තුවක් තියෙනවා. විශාල මුදලක් වැය කරලා මහන්සි වෙලා හදන විගණකාධිපතිගේ වාර්තා මෙතෙක් කල් ජනතාව අතරට ගියේ නැහැ. එහෙත් දැන් අපට පුළුවන් වෙලා තියෙනවා ඒ වාර්තා ජනගත කරන්න. ඒ මඟින් අපරාධකරුවන්ට නීතියෙන් දඬුවම් කරනවා වගේම, ඔවුන්ට සමාජය තුළ නිරුපද්‍රිතව හැසිරෙන්න තියෙන ඉඩකඩත් නැති කරනවා. කෝපා කමිටුව අපි රූපවාහිනියට විවෘත කරලා තියෙන නිසා ජනතාවගේ හිතේ විශ්වාසයක් හැදෙනවා, ජනතා බදු මුදලින් නඩත්තු වන ආයතන දැන් ජනතාවට සේවය කරන ආයතන බවට පත් වෙලා තියෙනවා කියලා.
ඒත් ආණ්ඩුව කරලා තිබෙන සාධනීය වැඩ පිළිබඳව ජනතාව තුළ තිබෙන අවබෝධය අඩුයි නේද?
ජනතාව දැනුවත් කරනවා කියන්නේ මාධ්‍ය මඟින් කරන කියන දේවල් විතරක් නෙවෙයි. ජනතාව දැනුවත් වෙන්නේ වැඩත් එක්ක. ගමේ පුරන් කුඹුරු ටික අස්වද්දන කොට, මීට කලින් කවුරුවත් බලපු නැති පාරවල් ටික හැදෙන කොට, මෙතෙක් කල් කවුරුවත් සැලකුවේ නැති පහළම මට්ටමේ පවුල්වල පාසල් දරුවන්ට පොත් ටික ගන්න, සපත්තු ගන්න සල්ලි දෙන කොට ඒ දේවල් ගැන ජනතාව දන්නවා. ඒක දිගුකාලීන ක්‍රියාවලියක් මිස, දවසින් දෙකෙන් වැනල්වල වීව්ස් ගන්න නෙවෙයි අපි වැඩ කරන්නේ. අපේ වැඩපිළිවෙළ දීර්ඝකාලීනයි; ස්ථාවරයි. පහළම මට්ටමේ ඉන්න පිරිස පෝෂණය කරමින් තමයි අප මේ ගමන යන්නේ. ඒ මාර්ගය තමයි අපට වැඩියෙන්ම වැදගත්.
ආණ්ඩුව අසමත් කියලා විපක්ෂය කෑගහනවා. ඇත්තටම ආණ්ඩුව අසමත්ද?
කෑගහන, ඝෝෂා කරන එක විතරයි නේ දැන් විපක්ෂයට කරන්න තියෙන්නෙ. ආණ්ඩුව අසමත් නම් විපක්ෂය දිනන්න ඕනැ නේ. හැබැයි විපක්ෂයෙන් කවුද දිනන්නේ? කොහොමද දිනන්නේ? ඇහුවම ඒවාට උත්තර නැහැ. එයාලගේ තියෙන්නේ නිකම් සන්දර්ශන විතරයි. අපේ ගමන නිහඬයි; දීර්ඝකාලීනයි; ස්ථාවරයි.
ගම්වල ජනතාව මහජන දිනයේදී මන්ත්‍රීතුමා හමු වෙලා ප්‍රශ්න කියන සම්ප්‍රදායක් මේ රටේ තිබුණා. ඒත් මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු මහජන දින පවත්වන්නේ නැති බවටත් චෝදනාවක් තියෙනවා…
සෑම සඳුදා දිනකම මහජන දිනය පවත්වන්න අපි යෝජනා කරලා තියෙනවා. පහුගිය කාලයේ අය-වැය සහ වෙනත් විශේෂ විවාදවලට සහභාගි වීම වෙනුවෙන් සියලු මන්ත්‍රීවරුන්ට දිගටම පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට සිදු වුණා. ඒ නිසා මහජන දිනය පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලුවක් මතු වුණා. ඒ නිසයි මන්ත්‍රීවරු ගමට ආවේ නැහැ කියලා මතයක් ඇති වෙන්න ඇත්තේ. ඒත් සතියේ සෑම සඳුදා දිනයකදීම මහජන දිනය පැවැත්විය යුතුයි කියන දැඩි ස්ථාවරයේ අපි ඉන්නවා. නුදුරේම එය එයාකාරයෙන් සිදු වේවි.
බොහෝ දුෂ්කර ප්‍රදේශවලින් සමන්විත ගාලු දිස්ත්‍රික්කයේ හිනිදුම ආසනය නියෝජන කරන මන්ත්‍රීවරයා ලෙස ඒ සම්බන්ධයෙන් ඔබේ ඉදිරි වැඩපිළිවෙළ කුමක්ද?
හිනිදුම ආසනයට තියෙන ලොකුම ප්‍රශ්නය මහා මාර්ග දුෂ්කරතා. ඒවාට විසඳුම් දෙන්න හොඳ නඩත්තු ඒකකයක් ආරම්භ කර, සියලු මාර්ග ගැටලු අවුරුදු 3-4ක් ඇතුළත අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගාලු දිස්ත්‍රික්කය කියන්නේ කෘෂි, ධීවර සහ සංචාරක කර්මාන්ත සිදු කෙරෙන ප්‍රදේශයක්. මේ දිස්ත්‍රික්කයේ වැවිලි කර්මාන්ත ඇමැතිලා ඉඳලා තියෙනවා. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිලා, මන්ත්‍රීවරුන් විදිහට තාමත් ඉන්නවා. ඒ අය කරපු දේවල්වල ප්‍රතිඵල නිසා තේ කර්මාන්තය ක්‍රමයෙන් බිඳවැටිලා තියෙනවා. දැන් ලංකාවේ තේ අක්කරයකින් ගන්න පුළුවන් දලු කිලෝ 250-300යි. අපි දන්න අතීතයේ දලු කිලෝ 700-800ක් ගත්තා. අපට තියෙන අභියෝගය තේ කර්මාන්තය නැවත ගොඩනැඟීමයි. ඒ වගේම දැන් සංචාරක කර්මාන්තය විශාල වශයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. මෙතෙක් කල් අපි ඉලක්ක කළේ මුහුද අයිනේ ප්‍රදේශ ටික විතරයි. ඒත් දැන් අපි ඉලක්ක කරනවා මෙහෙ තියෙන ඝර්ම කලාපීය සදාහරිත වනාන්තර, ඒ කියන්නේ කන්නෙලිය, සිංහරාජය, බෙන්තර ගඟ, ගිං ගඟ ආශ්‍රිත ප්‍රදේශවලටත් සංචාරක කර්මාන්තය ව්‍යාප්ත කරන්න. ඒ සඳහා අපි රුහුණු සංචාරක කාර්යාංශය, සංචාරක මණ්ඩලය සමඟ එකතු වෙලා පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුවේ අනුග්‍රහය මත සංචාරක කර්මාන්ත ගොඩනැඟීමේ දැවැන්ත ව්‍යාපෘතියක් මේ දිනවල සැලසුම් කරමින් සිටිනවා.
කොහොමද පළාත් පාලන මැතිවරණයට සූදානම?
රට දූෂිතයන්ගෙන් තොර කළා වගේම ප්‍රාදේශීය සභාත් දූෂණයෙන් තොර නොකර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න බෑ. ඒ සඳහා ප්‍රාදේශීය සභාවල පිරිසුදු, කාර්යක්ෂම දායකත්වය අත්‍යවශ්‍යයි. විශේෂයෙන් ගාලු දිස්ත්‍රික්කයේ සියලුම නගර සභා, මහා නගර සභා සහ ප්‍රාදේශීය සභා මහ මැතිවරණයේදීටත් වඩා විශාල බහුතරයකින් ජයග්‍රහණය කරයි කියලා අපට විශ්වාසයි.