පසුගිය දිනවල විපක්ෂය කවර අන්දමේ චෝදනා ආණ්ඩුවට එල්ල කළත්, ජනතාවට අවුරුදු සමරන්න මුදල් නැහැ කිවුවත් රටේ මිනිස්සු මෙදා හොඳින් අවුරුදු සැමරුවා, ගමන්-බිමන් ගියා. කිසි අඩුවක් තිබුණේ නැහැ නේද?
මේ ආණ්ඩුව මිනිසුන් ගැන කොච්චර හිතුවද කිවුවොත්: මහ පාරේ, කඩමණ්ඩියට ගියා නම් ඒ බව දැනගන්න තිබුණා. මිනිසුන්ගේ අතේ සල්ලි නැතුව එළියට යන්න බැරිව ඉන්න අවුරුද්දක් බවට මේ අවුරුද්ද පත් වුණා. මේ ආණ්ඩුව පොරොන්දු වුණ දේවල් කඩ කරපු බවට හොඳ ම සාධකය මේ අවුරුද්ද. අපේ රටේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඉතා වැදගත් සාධකයක්. ගම්වල මිනිසුන් කොයි තරම් අසරණභාවයට පත් වෙලාද? අද හාල් කිලෝවක මිල කීයද? කිරිබත් ටිකක්වත් හදාගෙන කන්න පුළුවන් අවුරුද්දක් නෙවෙයි මේ අවුරුද්ද. ආණ්ඩුව පුරාජේරු ගැහුවට වැඩක් නැහැ. මොනවද ජනතාවට වෙලා තියෙන්නේ කියලා අද පැහැදිලිව පේනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථික මොඩලයම මේ අය හොඳින් කරගෙන යනවා. අලුත් දෙයක් නැහැ.
ඔබ එහෙම කිවුවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු වී තිබුණා. වැටුප් වැඩි කළ නිසා අවුරුදු සමරන්න මිනිස්සු අතේ සල්ලි තිබුණා…
වැටුප් වැඩි කළේ කාගෙද? රාජ්‍ය සේවකයන්ගේ පමණයි. රාජ්‍ය සේවකයෝ කියන්නේ කීයද?. දෙකෝටි විසි ලක්ෂයක් ඉන්න රටේ රාජ්‍ය සේවකයෝ ඉන්නේ ලක්ෂ දාහතරක් වැනි ප්‍රමාණයක්. ඒ අයට වැඩි වුණෙත් කීයද? ඒක ජීවත් වෙන්නවත් ඇතිද? මැතිවරණ කාලසීමාවේ මේ අය කියපු සියලු දේවල් බොරු වෙලා ඉවරයි. ඒ අය රට භාර ගන්න කොට තිබුණේ ඩොලර් මිලියන 20යි කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුව දීලා යනකොට ඩොලර් බිලියන 5කට වැඩි ප්‍රමාණයක් සංචිත ඉතිරි වෙලා තිබුණා. මැතිවරණ කාලයේ කියපු බොරු වගේම බොරු මේ අය කියනවා. බලය ලබාගැනීමට මෙන්ම බලයේ රැඳී ඉන්නත් මේ අය බොරු කියනවා. එහෙම නැති නම් කියපු බොරු පුරුද්දට වගේ කියනවා. අපට හිතාගන්න බෑ මේ අය මේ මොකක්ද කරන්නේ කියලවත්. දැන් ජනතාව ඉන්නේ අවබෝධයෙන්.
ජනාධිපතිවරණයෙන් අනතුරුව මහමැතිවරණයෙදී ජනතා ප්‍රසාදය තවත් වැඩි වුණා. එළඹෙන පළාත් පාලන මැතිවරණයත් ඒ වගේම වෙයි කියලයි බොහෝ අය කියන්නේ…
ජනාධිපතිවරණයෙන් මාසයක් ඇතුළත ඒ ඡන්දය තිබුණ නිසා ඡන්ද වැඩි වුණා. ඒත් දැන් ජනතාව තේරුම් අරගෙන ඉන්නවා. ඒ ඡන්දය ඉක්මනින් තියන්න හේතුවත් බොරු අතේ පත්තු වෙන නිසයි. ජනතාව දැන් ඉන්නේ කොතැනද කියලා පළාත් පාලන මැතිවරණයේදී අනිවාර්යයෙන් බලා ගන්න පුළුවන් වෙයි කාටකාටත්.
විපක්ෂ නායකතුමා ඈත ගම්වලට ගිහින් පුංචි කණ්ඩායම් එකතු කරගෙන මිනිස්සුන්ට තුන්වේල කන්න නෑ කියලා කියනවා. ඒත් එහෙම තත්ත්වයක් රටේ නෑ කියලා ජනතාව කියනවා…
ජනතාව පාරට බැහැලා ගියේ ගෙවල්වල යන්න මිස, සතුටු වෙලා අවුරුදුවලට බඩු ගන්න නොවෙයි. මේ තත්ත්වය උඩ රටේ ජනතාවට තුන් වේල තියා එක වේලක්වත් කන්න බැහැ. ගොවි ජනතාවට, ධීවර ජනතාවට මොකද වෙලා තියෙන්නේ? කරවල බිස්නස් කරන අයට ලුණු නැහැ. ධීවර සහනාධාරය එක එක අයට එක එක විදියට ලැබෙන්නේ. අස්වැසුම ගන්න අයගේ දරුවන්ට විතරයි රුපියල් 6000 ලැබෙන්නේ. වෙන මොනවද මේ අය කළේ? වී ඇටයක් රටින් ගෙන්නන්නේ නෑ කිවුවා. එක දිගටම හාල් රටින් ගෙන්නුවා. ගොවීන්ට හොඳ මිලක් දෙනවා කිවුවා. ගොවීන් ආණ්ඩුවට හාල් දුන්නේ නැහැ. පෞද්ගලික අංශයේ වී මෝල්කාරයන්ටයි හාල් ටික දුන්නේ.
ඔබ එහෙම කිවුවාට ආණ්ඩුවක් බලයට පත්වුණ ගමන් වී වපුරලා අස්වනු ලැබෙන්නේ නැහැ නේද?
වී වපුරන්න නොවේ අපි ආණ්ඩුවට කියන්නේ. එක පෑන් පාරින් හාල් මාෆියාව නැති කරනවා කිවුවා, අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවවට ගෙන්නනවා කිවුවා. උගන්ඩාවේ සල්ලි ගේනවා කිවුවා. දැන් ඒ අයට ඒවා මතකත් නෑ වගේ.
ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණය ළඟ තබාගෙන වැඩ පෙන්නන්න අවස්ථාව ලැබීම දේශපාලන වශයෙන් ලොකු වාසියක් කියා හිතෙන්නේ නැද්ද?
මොනවද ආණ්ඩුව පෙන්නපු වැඩ? ඒ අය මොනවද කළේ ජනතාව වෙනුවෙන්? කිසිදු දෙයක් කරලා නැහැ. රනිල් මහත්තයාගේ වැඩපිළිවෙළම කරගෙන යන එකද වැඩ පෙන්වනවා කියන්නේ.
ආණ්ඩුව පළාත් පාලන ඡන්දවලදී බහුතරය දිනාගත්තොත් විපක්ෂයේ ඇඩ්‍රස් නැති වෙනවා නේද?
ඇඩ්‍රස් නැති වෙන්නේ විපක්ෂයේද ආණ්ඩුවේද කියලා බලන්න පුළුවන්. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලනවා කිවුවා පැය විසිහතරෙන්. මේ වගේ එක පෑන් පාරින් කරනවා කියපු කිසිම දෙයක් කළේ නැහැ. ආණ්ඩුව සූර්ය බලශක්තියට තැන දෙනවා කිවුවා. දැන් මොනවද කරන්නේ. තාප විදුලිය, ගල් අඟුරු විදුලිය මඟින් විදුලිය නිෂ්පාදනය කරන කොට සූර්ය බලශක්තිය නිෂ්පාදන කරන ඒකක ගණනට ගෙවන මිල අඩු කළා. ඒ පමණක් නොවෙයි; අවුරුද්ද කාලයේ සූර්ය බලශක්තියෙන් නිෂ්පාදනය වන විදුලිය මිල දී ගන්නෙ නැතිව කපාහැරියා. හිලව්වට තාප සහ ගල් අඟුරු බලාගාරවලින් විදුලිය අධික මිලකට ලබා ගත්තා. මාෆියාව නතර කරන්න ආව අය මාෆියාව එක්ක එකතු වෙලා කියලා සමාජයේ මතයකුත් ගොඩනැඟිලා තියෙනවා. ඇඩ්‍රස් නැති වෙන්නේ කාටද කියලා බලාගන්න පුළුවන්.
මේ වන විටත් ඔබේ පක්ෂය ඇතුළෙත් සංවිධායකවරුන් පත් කරන්න ගිහින් අර්බුදයකට ලක් වෙලා තියෙනවා නේද?
එහෙම අර්බුද අපේ නැහැ හොරකම්, වංචා ගැන කතා කරන්න ආව ආණ්ඩුව මේ සූර්ය බලශක්ති හොරකම ගැන කතා කරන්නෙ නැත්තේ ඇයි? ආණ්ඩුව නිශ්ශබ්ද මේ ආණ්ඩුවේ අයත් මේවාට සම්බන්ධයිද කියලා අපට ගැටලුවක් තියෙනවා.
ඔබ හැමදාමත් පාස්කු ඉරුදින ඛේදවාචකය ගැන කතා කළා. එහෙත් ඔබ බලයේ සිටි ආණ්ඩුවේදිත් ඒ සම්බන්ධයෙන් කිසිවක් කෙරුණේ නෑ නේද?
මේ ආණ්ඩුව තරම් පාස්කු ප්‍රහාරයේ සුලමුල හොයනවා කියලා පොරොන්දු දුන්න කිසිදු ආණ්ඩුවක් නැහැ. ඒත් කිසිම දෙයක් කළේ නැහැ. ගෝඨාභය රාජපක්ෂලටත් ගෙදර යන්න වුණේ පාස්කු ප්‍රහාරය ගැන යමක් කරනවා කියලා නොකරපු නිසා. මේ ආණ්ඩුවටත් මේ පොරොන්දු ඉෂ්ට නොකරන නිසා වෙන්නේ ඒ ටිකම තමයි. පාස්කු ප්‍රහාරය ගැන කොහෙද සාධාරණයක් ඉෂ්ට කරලා තියෙන්නේ? අඩුම තරමින් ජනාධිපති පැමිණිලි කොමිසමෙන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශවත් ක්‍රියාත්මක කර තියෙනවාද?
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ පරිදි පාස්කු ඉරුදින විමර්ශන වේගවත් කර තිබෙනවා නේද?
කොහෙද වේගවත් කරලා තියෙන්නේ? මොනවද වේගවත් වෙලා කරලා තියෙන්නේ? මොන බොරුවක්ද? ඇයි පාර්ලිමේන්තුවට ඇවිත් මේ ගැන කතා කරන්න බැරි? ජාතික ආරක්ෂාව ගැන බංකු අරන් ඇවිත් ඉගෙනගන්න කියලා අපට කියපු නියෝජ්‍ය ඇමැතිලා මොනවද කරලා තියෙන්නේ? ආරක්ෂක ඇමැති ඇයි පාස්කු ප්‍රහාරය ගැන කරුණු පැහැදිලි කරන්නේ නැත්තේ?
හිටපු මහඇමැති පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාස්කු විමර්ශන නොසිතූ දිශානතියකට ගමන් කරමින් තිබෙන බව වාර්තා වුණා…
පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ මහාචාර්යවරයකු අතුරුදන් වීම මතයි. ඇත්තටම මේක කොහොමද වෙනත් දිශානතියකට ගමන් කරන්නේ? පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ ගැන මුකුත් ප්‍රකාශ කළේ නැහැ නේ.
පාස්කු ඉරුදින ප්‍රහාරය විතරක් නොවෙයි, බටලන්දත් දැන් කරළියට ඇවිත්. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බේරාගැනීමට සජබ නායකයනුත් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරන බව පේනවා…
බටලන්ද වධකාගාරය විතරයිද මේ රටේ තිබුණේ? අනෙක් වධකාගාර ගැන හොයන්න ඕනැ නැද්ද? එහෙම වධකාගාර තිබුණා නම්, ඒ වධකාගාර ඇති වෙන්න හේතුව කුමක්ද? ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බේ, ෆැක්ට්‍රි ගිනි තිබ්බේ කවුද? තේ ෆැක්ට්‍රි එකසිය ගණනක් ගිනි තිබ්බා. බස් ගිනි තිබ්බා. මේවා කරපු අය හොයන්න අවශ්‍ය නැද්ද? අතුරුදන් වුණ අය ගැන වගේම, විජය කුමාරතුංග මැරුවේ කවුද? ප්‍රේමකීර්ති ද අල්විස් මැරුවේ කවුද? මේ රටේ 88-89 කාල සීමාවලදී ආගමික නායකයන්, පූජකයන්, රාජ්‍ය නිලධාරීන් මැරුවේ කවුද? තරුණ ජීවිත නැති කළේ කවුද? හොයන්න අවශ්‍යයි. උඩ බලාගෙන කෙළ ගහනවා වගේ වැඩක් මේක. කවුරු කවුරු කරපුවත් හොයන්න අවශ්‍යයි.
ආණ්ඩුව ශ්‍රී ලංකාව ඉන්දියාවට පාවා දුන්නා කියා පසුගිය දිනවල කළ චෝදනාව බොරුවක් බව දැන් ජනතාව දන්නවා…
ලංකාව ඉන්දියාවට පාවලා දෙනවා කියලා කවුද කිවුවේ? මුලින්ම ඉන්දීය විරෝධය ඇති කළේ කවුද? මයිසූර් පරිප්පු, බොම්බයි ලූනු කන්න එපා කියලා ජනතාවට භීතියක් ඇති කළේ කවුද? ඉන්දියාවට විරුද්ධව, පළාත් සභා එපා කියලා අවි ගත්ත අය කවුද? මේ දේවල් කළේ අපි නෙවෙයි. අපි කියන්නේ නැහැ; ඉන්දියාවට ලංකාව පාවලා දෙනවා කියලා. අපි අහන්නේ ඉන්දියාවත් සමඟ අත්සන් කරපු ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒවා අපි දැනගන්න අවශ්‍යයි. එහෙම පැහැදිලි කර කියන්නේ නැති නම් අපි හිතනවා ඒවා හොර ගිවිසුම් කියලා. අපේ ආසන්නතම රට නිසා අපි ඉන්දියාවට ගරු කරනවා. මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඉන්දියාත් සමඟ රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කළ යුතුයි කියලා.
ආණ්ඩුව විවේචනය කිරීමට මෙවැනි සිල්ලර කතා උපයෝගි කර නොගෙන, නිශ්චිත ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න සජෙබට බැරි ඇයි?
මේ දේවල්වලට ‘සිල්ලර කතා’ කියලා හිතනවා නම් අපට කමක් නැහැ. එහෙත් භයානක දේවල් කළේ ඒ අය: මිනීමැරුවේ, වධහිංසා දුන්නේ, මිනිසුන්ට හිරිහැර දුන්නේ, රටේ ආර්ථිකය විනාශ කළේ. ඒ අය. රට පුරා උද්ඝෝෂණ, වැඩවර්ජන කරපුවාට වග කිව යුතු මේ අයත්. අහිංසක ජීවිත හැට දහසක් බිලි ගත්තේ ඒ අයගේ වැඩ නිසා. අපි කියන දේවල් ‘සිල්ලර’ නම්, ඒවා චෝදනාත්මකව භාර ගෙන අපි අපේ දේශපාලනය කරගෙන යනවා. අපි ඉදිරිපත් කරන්නේ අපේ අදහසයි. අපි අපේ රට ගැන හිතලා ජනාධිපතිවරයාගෙන් සර්ව පාක්ෂික සාකච්ඡාවක් ඉල්ලුවා. ඒ සර්ව පාක්ෂික හමුවෙන් රටේ ආර්ථිකයට බලපාන දේවල් ගැන කතා කරන්නයි අපේක්ෂා කළේ. අපි කරන දේවල් සිල්ලර කියලා හිතුවාට ප්‍රජාතන්ත්‍ර විරෝධී දේවල්වලට අපි ඉඩ දෙන්නේ නැහැ.