වසර 128ක පසු ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් සඳහා ක්‍රිකට් කීඩාව ඇතුළත් කිරීමට පසුගිය සතියේදී රැස් වූ අන්තර්ජාතික ඔලිම්පික් කමිටු (IOC) විධායක සභාව තීරණය කර ඇති අතර, ඒ අනුව විස්සයි20 අන්තර්ජාතික ක්‍රිකට් ආකෘතියට අනුව පිරිමි හා කාන්තා ක්‍රිකට් තරග ඉසවු දෙකම ඇතුළත් කිරීමට ඔලිම්පික් බලධාරීන්ගේ අනුමැතිය ලැබී තිබේ. තවද, ක්‍රිකට් ක්‍රීඩාව ඊළඟ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ඇතුළත් වන නව ක්‍රීඩා පහෙන් එකක් වන අතර, බේස්බෝල්/ සැහැල්ලු පන්දු, ෆ්ලෑග් ෆුට්බෝල්, ලැක්‍රෝස් සහ ස්කොෂ් යන ක්‍රීඩා ඉසවු හතරද ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උලෙළට ඇතුළත් කිරීමට මේ රැස්වීමේදී තීරණය විය.
ක්‍රිකට් ක්‍රීඩාව ඔවුන් හඳුන්වා දීමට කැමැති ක්‍රීඩා ලැයිස්තුවේ ඇති බව ලොස් ඇන්ජලීස් ඔලිම්පික් (2028) සංවිධායක කමිටුව 2023 ඔක්තෝබර් 9 දින, නිවේදනය කළ අතර, 2023 ඔක්තෝබර් 14 සිට 16 දක්වා මුම්බායිහිදී පැවති 141 වැනි අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සැසියේදී 2028 ඔලිම්පික් උලෙළට ක්‍රිකට් ඇතුළත් කිරීම අවසන් කිරීම සඳහා ඉදිරිපත් කළ ලංසුව පිළිගෙන ඡන්දය ප්‍රකාශ කළ බව අයිඕසීය නිවේදනය කළේය. තවත් විධියකින් කිවහොත් 2028 ඔලිම්පික් උලෙළට ක්‍රිකට් ඇතුළත් කරන බවට මූලික වශයෙන් තීන්දු කළේ 2023 ඔක්තෝබර් 16 දින මුම්බායිහිදීය.
එහෙත් මේ අතර 2024 පැරිස් උලෙළට සාපේක්ෂව තවත් පදක්කම් ඉසවු 22ක් එකතු කිරීමත් ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට අදාළව ඉසවු වැඩසටහන සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කෝටා අනුමත කළේ පසුගියදා (අප්‍රේල් 9) පැවැති අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලය හමුවේදීය. ඒ අනුව 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී විස්සයි20 පිරිමි හා කාන්තා ක්‍රිකට් වශයෙන් ක්‍රීඩා ඉසවු දෙකම ඇතුළත් කර ඇති අතර, විස්සයි20 අන්තර්ජාතික ක්‍රිකට් ආකෘතිය තුළ ඉදිරියෙන්ම සිටින පිරිමි සහ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම් හයක් බැගින් සහභාගි කරවීමට සැලසුම් කර ඇතැයි පැවසේ.
එනම්: පිරිමි හා කාන්තා ක්‍රිකට් අංශ දෙක සඳහාම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනකු සඳහා කෝටා වෙන් කර ඇති බැවින් සෑම කණ්ඩායමකටම සාමාජිකයන් 15කගෙන් යුත් සංචිතයක් නම් කිරීමට හැකි වනු ඇත. ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නවසීලන්තය, පකිස්තානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ යන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලබා ඇති රටවල් 12 අතුරින් අන්තර්ජාතික විස්සයි20 තරග ආකෘතියේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 5ක් සහ අයිසීසී ආශ්‍රිත සාමාජික රටවලින් කාන්තා-පිරිමි එක් කණ්ඩායමක් බැගින් ඔලිම්පික් තරගාවලියට ඇතුළත් කරනු ඇත.
ඒ අනුව, 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ නිර්ණායක තවමත් තහවුරු කර නැති නමුත්, 2028 ඔලිම්පික් උලෙළේ සත්කාරක රට ලෙස අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමට අනිවාර්ය ස්ථානයක් ඇත. කෙසේ වෙතත් සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලිය හරහා කණ්ඩායම් පහකට පමණක් ඍජුවම තරගාවලියට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමි වන අතර, එසේ තෝරාගන්නා ක්‍රමවේදය හෝ නිශ්චිත කඩඉම් දිනයක් තවමත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර නැති නමුත්, ඊට අදාළ සුදුසුකම් මේ වසරේදී සිදු කිරීමට අපේක්ෂා කෙරේ. තවද අයිසීසී ශ්‍රේණිගත කිරීම්වල ඉහළම සිටින කාන්තා හා පිරිමි කණ්ඩායම් පහක් බැගින් සුදුසුකම් ලබනු ඇතැයිද පැවැසේ.
කෙසේ වෙතත් ලබන 2026 වසරේ පෙබරවාරි-මාර්තු මාසවලදී ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ සම-සත්කාරකත්වයෙන් පැවැත්වෙන අයිසීසී විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව සකස්වන අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට අනුව ඔලිම්පික් උලෙළට අදාළ පිරිමි කණ්ඩායම් පහ තීරණය කිරීමට ඉඩ ඇත. එහෙත් මේ වන විට නිකුත් කර ඇති අයිසීසී විස්යසි20 ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම 8 වැනි ස්ථානයේ පසු වන අතර, කාන්තා කණ්ඩායම සිටින්නේ 7 වැනි ස්ථානයේය. ඒ නිසා එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම එම ලැයිස්තුවේ ඉහළම ස්ථාන පහට ඇතුළත් වීමට නම් විශේෂ දක්ෂතා පෙන්වා ලොකු වෙනසක් කළ යුතුමය.
ඒ අනුව 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී යොජිත විස්සයි20 පිරිමි හා කාන්තා ක්‍රිකට් තරග ඉසවුවලට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකාව පැත්තෙන්ද සෑහෙන උත්සාහයක් දැරිය යුතු බවක් පෙනෙන්නට ඇත. කෙසේ වෙතත් වර්ධනය වන ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ආකර්ෂණය පිළිබිඹු කරමින් පිරිමි සහ කාන්තා විස්සයි20 තරග ඉසවු දෙකම 2010, 2014 සහ මෑතකදී 2023දී ආසියානු ක්‍රීඩා උලෙළ වැනි බහු-ක්‍රීඩා උලෙළ සඳහා ඇතුළත් කර තිබිණි. එපමණක්ද නොව, බර්මින්හැම් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී කාන්තා විස්සයි20 තරගාවලියට කණ්ඩායම් අටක් සහභාගි කරවූ අතර, පිරිමි කණ්ඩායම් 14ක් සහ කාන්තා කණ්ඩායම් නවයක් 2023 හැංෂෝහි පැවති ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වූහ.
මින් පෙර ඔලිම්පික් උලෙළකට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කළ බවට ඉතිහාසයේ සඳහන්ය. 1896දී ඇතන්ස්හි පැවති පළමු නූතන ඔලිම්පික් උලෙළේදී ක්‍රිකට් පදක්කම් ක්‍රීඩා ඉසවුවක් ලෙස ඇතුළත් කිරීමට සැලසුම් කර තිබුණත්, ප්‍රමාණවත් කණ්ඩායම් සංඛ්‍යාවක් ඉදිරිපත් නොවීම නිසා ඒ සැලසුම ක්‍රියාත්මක නොවීය. එහෙත් 1900දී පැරිස් ඔලිම්ක් උලෙළට, කණ්ඩායම් හතරක් ඇතුළත් විය. මහා බ්‍රිතාන්‍යය (එය ප්‍රචාරය කරන පෝස්ටර්වල එංගලන්තය ලෙස ලැයිස්තුගත කර ඇති අතර, ඩෙවොන් සහ සමර්සෙට් වොන්ඩරර්ස් විසින් නියෝජනය කරන ලදි), ප්‍රංශය, බෙල්ජියම සහ නෙදර්ලන්තය ඒ කණ්ඩායම්ය. කෙසේ වෙතත්, මහ බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය අතර එක් තරගයක් පමණක් පැවති අතර, ඒ දින දෙකක තරගය මහා බ්‍රිතාන්‍යය විසින් ජයග්‍රහණය කරන ලදි. කෙසේ වෙතත් මේ තරගය දැන් නිල නොවන ටෙස්ට් තරගයක් ලෙස පිළිගැනේ.
තවද, 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් වැඩසටහන සඳහා අයිඕසීය විසින් වාර්තාගත පදක්කම් ඉසව් 351ක් අනුමත කරන ලදි. මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කෝටාව 10,500ක් ලෙස පවතින අතර, බේස්බෝල්/ සැහැල්ලු පන්දු, ක්‍රිකට්, ෆ්ලෑග් ෆුට්බෝල්, ලැක්‍රෝස් සහ ස්කොෂ් යන අතිරේක ක්‍රීඩා පහ සඳහා අමතර කෝටා ස්ථාන 698ක් වෙන් කර ඇත. එසේම, ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ පළමු වතාවට, සියලු කණ්ඩායම් ක්‍රීඩා සඳහා පිරිමි කණ්ඩායම්වලට සමාන කාන්තා කණ්ඩායම් සංඛ්‍යාවක් ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උලෙළට ඇතුළත් කර තිබීමද විශේෂත්වයකි.