ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් අයිපීඑල් එරට දේශීය ක්‍රිකට් තරගාවලියක් වුවත්, ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් හත්දෙනකුගේද සහභාගිත්වය ඇතිව ගෙවී ගිය අලුත් අවුරුදු සතියේත් අපට ඇඟට දැනෙන යමක් සිදු වූ තරගාවලියක් ලෙස ඒ පිළිබඳව මෙවරත් සටහනක් තබන්නට අදහස් කළෙමි.
තවත් මාස දෙකක් පමණ ගත වන තුරු ශ්‍රී ලංකා ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අන්තර්ජාතික මට්ටමින් දක්ෂතා පෙන්වීමට අවකාශයක් නොතිබෙන පසුබිමක ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනකුට ඉන්දීය අයිපීඑල් තරගාවලියටත් පසුගියදා ආරම්භ වූ පාකිස්තාන් සුපර් ලීග් (පීඑස්එල්) තරගාවලියටත් සහභාගී වීමට අවස්ථාව උදා වී ඇත.
ඒ අනුව කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් යන කුසල්ලා දෙදෙනා පීඑස්එල් තරගාවලියට ක්‍රීඩා කරද්දී වනිඳු හසරංග, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, කමිඳු මෙන්ඩිස්, ඒෂාන් මාලිංග, දුෂ්මන්ත චමීර හා නුවන් තුෂාර යන හත්දෙනා ඇතුළු විදෙස් ක්‍රීඩකයින් 100කගේ පමණ දායකත්වයෙන් පැවැත්වෙන අයිපීඑල් තරගාවලියේ දක්ෂතා ගැන මුළු ක්‍රිකට් ලොවේම අවධානය දැන් යොමු වී ඇත. ඒ අතරිනුත් අපේ ක්‍රීඩකයන් සහභාගී වන තරග පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ වැඩි අවධනයක් යොමු වී තිබුණද පසුගිය ඉරිදා (13) වන විට නිමා වූ තරග 29 සලකා බැලීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගැන සෑහීමකට පත් විය නොහැකිය. නිමා වූ තරග 29 තුළ වනිඳු හා තීක්ෂණ ක්‍රීඩා කරන රෝයල්ස් පිල ක්‍රීඩා කළ තරග 6න් 4ක්ම පරාජයට පත් වී ඇති අතර, කමිඳු සහ මාලිංග අයත් හයිද්‍රාභාද් කණ්ඩායමද සහභාගි වූ තරග 6න් 4ක්ම පරාජයට පත් වී ඇත. ඔවුන් ප්‍රථම තරගයෙන් පසු එක දිගට තරග 4ක් පරාජය වී පසුගියදා 2 වැනි ජයග්‍රහණය ලබා ගත්තේ පන්ජාබ් කිංස් කණ්ඩායමට එරෙහිවය. එසේම ක්‍රීඩා කළ පසුගිය තරග පහම පරාජයට පත් වෙමින් ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම නියෝජනය කරන්නේ මතීෂ පතිරණයි. චෙන්නායි කණ්ඩායම තරග කළ 6න් 5ක්ම පරාජයට පත් වන්නට තරම් මෙවර ඇදවැටුණේ ඔවුන්ගේ පිතිකරණ අංශයේ දුර්වලතාව හේතුවෙනි.
කණ්ඩායම් 10න් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් 20 දෙනා අතර චෙන්නායි පිලේ කිසිවකු නොසිටින අතර, ඔවුන්ගේ පන්දු යවන්නන්ගෙන් මෙතෙක් සාර්ථක වී ඇත්තේ දඟපන්දු යවන නූර් අහමඩ් සහ වේග පන්දු යවන කලීල් අහමඩ් පමණි. වෙනදා චෙන්නායි පන්දු බලඇණියේ ප්‍රබලයකු වන මතීෂ පතිරණ මෙවර අසාර්ථක බවක් පෙන්නුම් කිරීම දෝනිලාගේ පිලට මහත් හිසරදයක් වී ඇත.
චෙන්නායි පිලේ එකම සාර්ථක පිතිකරුවා මෙන්ම නායකයාද වූ ගයෙක්වාඩ් ආබාධයකට ලක් වී මෙවර තරගාවලියෙන්ම ඉවත් වීමට සිදු වීමත් සමඟ කණ්ඩායමේ වගකීම දෝනිට පැවැරුණද මතීෂ පතිරණ නැති වෙනස්වීම් කිහිපයක්ද සමඟ මුහුණ දුන් ඊළඟ තරගයද නයිට් රයිඩර්ස්ලාට එරෙහිව පැරදුණේ 5 වැනි පරාජය සටහන් කරමිනි. වනිඳුලාගේ රෝයල්ස් පිල පසුගිය ඉරිදා 4 වැනි පරාජය මෙන්ම පිට පිට ලැබූ 2 වැනි පරාජය උරුම කර ගත්තේ කෝලිලාගේ බැංගලෝර් කණ්ඩායමට එරෙහිවය. මේ තරගයේදී බැංගලෝර් කණ්ඩායම කඩුලු 9ක පහසු ජයක් අත් කර ගත්තේ ඉන් පෙර තරගයට ක්‍රීඩා නොකළ වනිඳුට මෙන්ම තීක්ෂණටද කිසිදු කඩුල්ලක් නොදෙමිනි. තීක්ෂණ චෙන්නායි පිලේ තරග 6ටම ක්‍රීඩා කොට දවාගත්තේ කඩුලු 6ක් පමණක් වන අතර, වනිඳු තරග 4කදී දවාගත්තේද කඩුලු 6කි.
කෙසේ වෙතත් හයිද්‍රාභාද් කණ්ඩායමේ යළි නැඟිටීමට ආරම්භක පිතිකරුවන් වන ට්‍රැවිස් හෙඩ් සහ අභිෂේක් ෂර්මාගේ ආරම්භය ඉවහල් වූ අතර, පන්ජාබ් කණ්ඩායමට එරෙහිව ඔවුන් දෙදෙනා තැබූ ලකුණු 171ක සබඳතාව මෙවර අයිපීඑල් තරගාවලියේ පළමු කඩුල්ල සඳහා වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. තවද, තම මංගල අයිපීඑල් ශතකය පන්දු 40කින් ලබා ගත් අභිෂේක් ෂර්මා අයිපීඑල් තරග ඉතිහාසයේ වාර්තා කළ 6 වැනි වේගවත්ම ශතකයට හිමිකම් කී අතර, එම 5 වැනි වේගවත්ම ශතකය වාර්තා කළේ පන්ජාබ් කිංස් කණ්ඩායමේ ප්‍රියාන්ෂ් ආර්යාය. ඔහු ඒ දස්කම කළේ චෙන්නායි කණ්ඩායමට එරෙහිව පන්දු 39කදී ශතකයක් ලබා ගනිමිනි. තවද ඊට සමාන පන්දු ගණනකින් ශතකයක් ලබා ගත් හයිද්‍රාභාද් පිලේ ට්‍රැවිස් හෙඩ් ප්‍රියාන්ෂ් සමඟ සම තත්වයේ සිටින අතර, හෙඩ් මේ දස්කම කළේ පසුගිය වසරේ තරගාවලියේදී බැංගලෝර් කණ්ඩායමට එරෙහිවය.
පන්ජාබ්ට එරෙහිව පන්දු 55 කදී අභිසේක් රැස් කළ ලකුණු 141 අයිපීඑල් තරග ඉතිහාසයේ පිතිකරුවකු ලබා ගත් තුන්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර, ඔහුට ඉහළින් සිටින්නේ 2013දී ලකුණු 175ක් ලබාගත් ක්‍රිස් ගේල් සහ 2008දී ලකුණු 158ක් ලබාගත් බ්‍රෙන්ඩන් මැකලම්ය. තවද, අයිපීඑල් ඉතිහාසයේ ඉන්දියානුවකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට අභිෂේක් හිමිකම් කියන අතර, හයිද්‍රාභාද් පිතිකරුවකු මෙතෙක් ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යා ලෙසද එම ලකුණු 141 සටහන් වනු ඇත. මින් පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2017 වසරේදී නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 126ක් හයිද්‍රාභාද් පිල වෙනුවෙන් ලබා ගත් ඩේවිඩ් වෝනර්ය.
මේ අතර අභිෂේක් වාර්තා පිට වාර්තා පිහිටුවමින් හයිද්‍රාබාද් පිලට මෙවර දෙවැනි ජයග්‍රහණය ගෙන දුන් පසුගිය 12 දා පැවැති තරගයේදී ශ්‍රී ලංකාව පැත්තෙන් තවත් සුවිශේෂ සිදුවීමක් වාර්තා විය. එනම්: ශ්‍රී ලංකා වේග පන්දු යවන්නකු වන ඒෂාන් මාලිංග මංගල අයිපීඑල් වරම් ලබා ගැනීමයි. හයිද්‍රබාද් පිල වෙනුවෙන් එදින අයිපීඑල් වරම් ලැබූ මාලිංග පන්ජාබ් පිලට එරෙහිව පන්දුවාර 4ක් යවා ලකුණු 45කට කඩුලු 2ක්ම දවාගත් අතර, මෙවර අයිපීඑල් සඳහා කැඳවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හත්දෙනාගෙන් මෙතෙක් තරගයකට සහභාගි කරවා නොගත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නුවන් තුෂාර හා දිල්ලි කැපිටල්ස් සංචිතයේ සිටින දුෂ්මන්ත චමීර පමණි.